මීයන් පිළිබඳ කාගෙන් හෝ විමසුවහොත්, ඒ බොහෝ දෙනෙක් පවසන්නේ ඔවුන් කරදරකාරී සත්ත්ව විශේෂයක් බව යි. නිවෙස් වල විවිධ දෑ විනාශ කරමින්, ගබඩාවල අස්වැන්න සහ වගා පාළු කරමින් දිවි ගෙවන මේ මීයන් නිසා ලොව පුරා සිදු වන දේපළ හානිය අති මහත් බැව් ඔවුන් වැඩි දුරටත් පවසනු නොඅනුමාන යි. ඔවුන් නිසා සමහර ලෙඩ රෝගත් පැතිරෙන බැව් සැලකිය යුතු පිරිසක් පවසනු ඇති.
කෙසේ නමුත් මීයන් අපේ ජීවිතවලට සුබදායී ලෙසත් කටයුතු කරන බැව් මෙනෙහි කරන්නේ අතළොස්සක් පමණ යි. මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා කෙරෙන ඖෂධ අත්හදාබැලීම වැනි පර්යේෂණවල දී විද්‍යාගාර තුළ මීයන් සෑහෙන ප්‍රමාණයක් විවිධ ගැහැටවලට ලක් වෙනවා. මෙලෙස ඔවුන් පර්යේෂණයට ලක් වන්නේ සෞඛ්‍ය පර්යේෂණ සඳහා පමණක් නොවේ.
මීයන් හා සබැඳි සුබවාදී පුවතක්
මීයන් සබැඳි, මානව වර්ගයාට සුබවාදී පුවතක් පසුගියදා කරළියට පැමිණියා. ඒ ‘ජීවිතාරක්ක්ෂක’ කටයුත්තකට විද්‍යාඥයන් පිරිසක් මීයන් පුහුණු කරවීම සම්බන්ධයෙනු යි. ඔවුන් මෙම මීයන්, භූමිකම්පා වැනි හේතු නිසා සිදුවන ගොඩනැඟිලි කාඩා වැටීම් වැනි දේවල දී, අබලි ද්‍රව්‍ය තුළ සිරවන මිනිසුන් බේරාගැනීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට එම පර්යේෂණ සාධනීය මට්ටමක ඇති බවට වාර්තා වෙනවා.
සුන්බුන් අතර සිරවූවන් සොයා ගැනීමේ අපහසුව වලකන මීයෝ
භූමි කම්පාවක් හෝ වෙනයම් හේතුවක් නිසා ගොඩනැඟිල්ලක් හෝ පතලක් වැනි යමක් කඩාවැටුණු විට ඒවායේ සුන්බුන් අතර මිනිසුන් සිරවීම සිදුවෙනවා. මින් සමහරක් දෙනා එතැන ම මිය ගිය ද, තවත් සමහරුන් මේවා අතර සිරවෙනවා. ජීවිතාරක්ෂක භටයන්ට මොවුන් සොයා ගැනීම අතිශය අපහසු වන අතර, සමහරෙක් පසුව මිය යන්නේ දින ගණනාවක් සුන් බුන් අතර සිර වී සිට ආහාර සහ ජලය නොමැති කම නිසා යි.
සමහර විටෙක, යමෙක් මෙලෙස මියයන තුරු කිසිවකුට ඔවුන් ඒවා අතර සිර වී සිටින්නේ ද යන්න පවා සොයා ගැනීමට නොහැකි වෙනවා. ඊට හේතුව සුන්බුන් අතරින් ඔවුන් සොයා යෑම මිනිසුන් වැනි ශරීර ප්‍රමාණ දරන අයට අතිශය අපහසු නිසා යි. කෙසේ නමුත් මීයන් වැනි කුඩා ශරීර දරන, ඕනෑම සුන්බුන් ගොඩක් හාරා, ඒවාට රිංගිය හැකි සත්ත්ව කොට්ඨාසයකට මේ කර්තව්‍යය සිදුකළ හැකි බැව් විද්‍යාඥ කණ්ඩායමක මතය වී තිබෙනවා.
පුහුණු කිරීම් සඳහා සුදුසු බුද්ධි මට්ටමක්
මෙම මීයන් ජීවිතාරක්ෂණ කර්තව්‍යයන් සඳහා පුහුණු කරවන විද්‍යාඥ කණ්ඩායම මෙහෙයවන අචාර්ය ඩොනා කීන් පවසන පරිදි මේ පුහුණු කිරීම් සඳහා සුදුසු බුද්ධි මට්ටමක් මීයන්ට තිබෙනවා. මෙම මීයන්ගේ කරේ ඉතා කුඩා පසුම්බියක් එල්ලන අතර, එහි කුඩා මයික්‍රොෆෝනයක්, වීඩියෝ ආම්පන්න හා යමෙක් සිටින ස්ථානය හඳුනාගත හැකි උපකරණයක් ද අන්තර්ගත වෙනවා.
මෙම පසුම්බිය මීයන් ඔස්සේ යමෙක් සිර වී සිටින ස්ථානය වෙත යැවිය හැකි අතර, ඒවා මඟින් ආපදාවට ලක් වූ තැනැත්තා සමඟ පහසුවෙන් සන්නිවේදනය කරන්නට මෙන් ම ඔහු සිටින ස්ථානය සොයා ගන්නට ද ජීවිතාරක්ෂක කණ්ඩායමට හැකි වෙනවා. මේ සඳහා පර්යේෂණ ආරම්භ වී ඇත්තේ ටැන්සානියාවේ මොරොගොරෝ හී දී යි.
සාර්ථක වෙමින් ඉදිරියට ඇදෙන පර්යේෂණ
ජීවිතාරක්ෂක මීයන් පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥ කණ්ඩායම පවසන පරිදි, මේ වන විට ඔවුන් මුලින් සිතුවාටත් වඩා පර්යේෂණ සාර්ථක වී තිබෙනවා. මූලික අදියරේ දී ඔවුන් මුහුණපෑ ප්‍රධානත ම අභියෝගයක් වූයේ, මීයන්ගේ කරෙහි ගෙන යා හැකි ප්‍රමාණයේ කුඩා සන්නිවේදන උපකරණ සහ, ස්ථානය පෙන්වන උපකරණ සොයා ගැනීම යි. ඔවුන් එම අභියෝගය ඉක්මනින් ම ජයගෙන තිබෙන අතර, ඉන් අනතුරු ව පර්යේෂණ ඉක්මණින් ඉදිරියට ඇදී ගොස් තිබෙනවා.
කීන් පවසන ආකාරයට මීයන් යනු ඉතා අපිරිසුදු සත්ත්වයන් පිරිසක් යන්න හුදු වැරදි, මිත්‍යා මතයක් පමණ යි. ඇයට අනුව ඔවුන් පිරිසුදු, බුද්ධිමත් මෙන් ම සමාජශීලී සත්ත්වයන් පිරිසක් වෙනවා.මීයන් සතු ‘යමක් උකහාගැනීම සහ ඉගෙන ගැනීමේ බුද්ධි මට්ටම’ පිළිබඳ ව ඇය හා ඇගේ කණ්ඩායම පුදුමයට පත් වී තිබෙනවා.
ඇය දිගින් දිගට ම මීයන් පිළිබඳ ව පර්යේෂණ පවත්වා ඇති අතර, ඇයට අනුව මීයන් බිම් බෝම්බ සොයා ගැනීම, ක්ෂය රෝගය වැනි රෝගකාරක සොයා ගැනීම වැනි දේටත් යොදා ගත හැකි යි. ඇය මේ වන විට විවිධ කටයුතු සඳහා මීයන් 170ක් පමණ පුහුණු කර ඇති අතර, මෙම මීයන්ට සාමාන්‍යයෙන් එවන් පුහුණුවක් සඳහා ගතවන්නේ සති දෙකක කාලයක් පමණක් බැව් ඇය පවසනවා.
ඩොනා කීන් ගේ ඉදිරි සැලසුම්
ඩොනා කීන් සහ ඇගේ කණ්ඩායම, සුන්බුන් අතර සිරවූවන් සොයාගැනීම සඳහා උපකාර කරන මීයන් පිරිසෙහි හැකියාව පිළිබඳ තවමත් අත්හදා බලා ඇත්තේ කෘත්‍රිම ව සකසන ලද සුන්බුන් අතර පමණ යි. නමුත් ඇගේ බලාපොරොත්තුව ඉක්මනින් ම ඔවුන් සැබෑ පරිසරවල අත්හදා බැලීම යි. මේ සඳහා ඇය තම මීයන් නිතර භූ කම්පන දී වලට ලක් වන තුර්කිය වෙත ගෙන යාමට සූදානම් වී සිටිනවා. මේ සඳහා ඇයට අත දීමට තුර්කියේ පර්යේෂක කණ්ඩායමක් ද ඉදිරියට පැමිණ තිබෙනවා. ඔවුන් සිතන ආකාරයට ඩොනා ගේ පර්යේෂණ ඉතා සාධනීය වන අතර, තුර්කිය වැනි රටකට අනාගතයේ දී එය ඉතා ප්‍රයෝජනවත් විය හැකි යි.
බී.බී.සී ආයතනට අනුව යම් පුද්ගලයෙක් සුන්බුන් ගොඩක සිරවුවහොත් එම පුද්ගලයා නිරුපද්‍රිතව සිටීනම්, දින දෙකේ සිට සති දෙකක පමණ කාලයක් ජීවත් විය හැකි වෙනවා. මෙය එම පුද්ගලයා සිර වී සිටින ස්ථානයේ ඇති වාතය, මොනයම් හෝ තුවාල වීමකට ලක් වී ඇත්නම් එම තත්ත්ව, සහ ජලය සොයා ගැනීමේ හැකියාව මත වෙනස් වෙනවා. හයිටි හි එක් පුද්ගලයෙක් සති ගණනාවක් මෙලෙස සිරවී සිට, අවසන දිවි බේරා ගෙන තිබෙනවා. ඒ ජල අපවහන පද්ධතියක ජලය පානය කිරීම මඟිනු යි. ඩොනා තම පර්යේෂණය මඟින්, මෙලෙස සිරවී සිටින මිනිසුන් සොයා ගැනීමට යන කාලය අවම කර, ජීවිත රැසක් බේරා ගැනීමට තමන්ට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා.