මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පසුගිය කාලය තුළ ලොව පුරා සිටින මිනිසුන් පීඩාවට පත්වන ආකාරය දක්නට ලැබුණා. වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල් ඉතාමත් වේගයෙන් නව තාක්ෂණයත් සමඟින් ඉදිරියට යමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් හරිතාගාර වායූන් වායුගෝලයට එක් වීමේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. එය දේශගුණික විපර්යාස ඇතිවීමට ප්‍රධාන හේතුවක් වනවා. එයත්, තවත් විවිධ හේතූන් ද මත සිදුවන දේශගුණික විපර්යාස නිසා අනාගතයේ දී බොහෝ ස්වභාවික විපත් ඇති විය හැකි බවට අනාවැකි පළ වී තිබෙනවා.
දේශගුණික විපර්යාස යනු මොනවාද?
දේශගුණික වෙනස්වීම් යනුවෙන් අදහස් කරන්නේ කිසියම් භූගෝලීය ප්‍රදේශයක දීර්ඝ කාලයක් තිස්සේ පවතින උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළං, වායුගෝලීය තෙතමනය, වායු පීඩනය වැනි කාලගුණික අංගයන්ගේ සාමාන්‍ය තත්ත්වය වෙනස්වීමට යි. පෘථිවි ඉතිහාසයේ සෑම කාලපරිච්ජේදයක් තුළ දීම දේශගුණික විපර්යාස සිදුවුණත් වර්තමානයේ දී අප දකින දේශගුණික විපර්යාස මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු ව ඇති විපර්යාස යි. එලෙස මානව ක්‍රියාකාරකම් නිසා දේශගුණය වෙනස්වීම මඟින් සිදුවෙමින් පවතින ස්වභාවික ව්‍යසනයන් ඉදිරියේ දී මිනිසාගේ පැවැත්මට බරපතල තර්ජනයක් විය හැකි යි.
හරිතාගාර වායු
වායුගෝලයේ ස්වාභාවිකව ම ඇති, එමෙන් ම කෘත්‍රිම ව නිපදවා ඇති, හිරුගෙන් මුදාහැරෙන හෝ පෘථිවි පෘෂ්ඨයෙන් පරාවර්තනය වන විකිරණ අවශෝෂණය කිරීමට සහ ඒවා නැවත පරිසරයට මුදා හැරීමට හැකියාව ඇති වායුන්, හරිතාගාර වායුන් ලෙස හැඳින්විය හැකි යි. ගෝලීය උණුසුම වැඩිවීම සඳහා හරිතාගාර වායුන් කිහිපයක් දායක වන බවත් එම වායුන් මිනිසා විවිධ ක්‍රම හරහා පරිසරයට මුදා හරින බවත් අනාවරණය කරගෙන තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ ප්‍රධානත ම හරිතාගාර වායු කිහිපයක්.
1) කාබන් ඩයොක්සයිඩ් ( CO2 )
2) මීතේන් ( CH4 )
3) නයිට්‍රස් ඔක්සයිඩ් ( N2O )
4) හයිඩ්රොෆ්ලෝරෝ-කාබන් ( HFC ),
5) ක්ලෝරොෆ්ලෝරෝ-කාබන් ( CFC )
6) සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් ( SF6 )
7) නයිට්‍රජන් ෆ්ලෝරයිඩ් ( NF3 )
කාබන්ඩයොක්සයිඩ් (CO2), මීතේන් (CH4), නයිට්‍රස් ඔක්සයිඩ් (N2O), ක්ලෝරොෆ්ලෝරො-කාබන් (CFC), හයිඩ්‍රොෆ්ලෝරො-කාබන් (HFC) දැනට හඳුනාගෙන ඇති වායුගෝලයට විමෝචනය වීම පාලනය කළයුතු ප්‍රධානත ම හරිතාගාර වායුන් බවට පත්ව තිබෙනවා.
හරිතාගාර ආචරණය
සූර්යයාගෙන් ලැබෙන සූර්යය විකිරණ (කෙටි තරංග) පෘථිවිය මඟින් අවශෝෂණය කර, ඉතිරිය දිගු තරංග ලෙස නැවත ඉහළ වායුගෝලයට නිකුත් කරයි. හරිතාගාර වායුවල බලපෑම හේතුවෙන් ඉහළ යන භූ විකිරණ පෘථිවි වායුගෝලයේ රදවා ගැනීමේ ක්‍රියාවලිය හරිතාගාර ආචරණය ලෙසින් හඳුන්වනවා. හරිතාගාර ආචරණය මිහිතලයට අහිතකර ක්‍රියාවලියක් වන්නේ නැහැ. පෘථිවියේ දේශගුණික සමතුලිතතාව රඳාපවතින සාධකයක් ලෙසින් එය හැඳින්විය හැකියි. හරිතාගාර ආචරණය සිදු නොවුණොත් පෘථිවියේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක තරම් පහළ අගයක් ගන්නා බව විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා. එය මිහිමත ජීවීන්ට ජිවත්වීම සඳහා සුදුසු උෂ්ණත්වයක් නොවන නිසා ජීවින්ගේ පැවැත්ම සඳහා හරිතාගාර ආචරණය සිදුවිය යුතු යි.
හරිතාගාර ආචරණ ක්‍රියාවලිය හුදෙක් ස්වභාවික ක්‍රියාවලියක් ම පමණක් නොව, C02 පරිසරයට මුදා හැරීම මඟින් මිනිසා ද එයට සක්‍රිය ව දායක වන බව 1895 වසරේ දී ස්වීඩන් ජාතික රසායන විද්‍යාඥයකු වුණු ස්වන්ටේ ඇරීනියිස් විසින් පෙන්වා දුන්නා. හිරුගෙන් පිටවන කිරණවලින් වැඩි කොටසක් ආලෝකය ලෙසින් පොළවට පතිත වනවා. පෘථිවි පෘෂ්ඨයෙන් එම ශක්තිය නැවත වායුගෝලයට පරාවර්තනය කරන්නේ අධෝරක්ත කිරණ ලෙස යි.
මෙය සමතුලිත ලෙස සිදුවිය යුතු ක්‍රියාවලියක්. වර්තමානයේ දී මිනිසා විසින් සිදු කරන අහිතකර ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල නිසා වායුගෝලයේ හරිතාගාර වායු අණු ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. එම නිසා පෘථිවි පෘෂ්ඨයෙන් පරාවර්තනය වන අධෝරක්ත කිරණ ඒවා මඟින් රඳවා ගෙන ශක්තිය නැවත පෘථිවි වායුගෝලයට ම මුදා හැරීම නිසා පහළ වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම සිදුවෙමින් පවතිනවා. පසුගිය කාලයේ ගෝලීය උණුසුම විශාල ලෙසින් ඉහළ ගියේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට හරිතාගාර වායු වැඩි වශයෙන් එක් වීම නිසා යි.
මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට හරිතාගාර වායු එක්වන හැටි
වර්තමානය වන විට ලෝකය කාර්මීකරණයට ලක් ව තිබෙන නිසා මිනිසා සොබාදහමට පටහැනිව ක්‍රියා කරනවා. එම නිසා හරිතාගාර වායු වැඩි වශයෙන් පරිසරයට එකතු වන්නේ පහත සඳහන් ආකාරවලට අනුව යි.
1) බලශක්‌ති උත්පාදනය
බලශක්‌තිය, විදුලිය හා තාපය උත්පාදනය සදහා ගල් අගුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් වායුගෝලයට CO2 වායුව විශාල වශයෙන් එකතු වනවා.
2) භුමි පරිභෝජනය සහ වනාන්තර විනාශය
මිනිසුන් සංවර්ධන කටයුතු සඳහා වනාන්තර විනාශ කරන ආකාරය පසුගිය කාලයේ දී බහුලව ම දක්නට ලැබුණා. එලෙස වනාන්තර විනාශ කිරීම නිසා පරිසරයේ තිබෙන CO2 වායු ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහළ නැගීම සිදුවනවා.
3) කර්මාන්තශාලා මඟින්
කර්මාන්තශාලාවලට අවශ්‍ය බලශක්‌තිය උත්පාදනය සදහා ෆොසිල ඉන්ධන දහනය මඟින් ද, ශක්‌තිය ජනනය නොවන රසායනික, ලෝහමය හා ඛනිජමය ක්‍රියාවලීන් මඟින් ද හරිතාගාර වායු විමෝචනය සිදුවනවා.
4) ප්‍රවාහනය හා ගමනාගමනය
ප්‍රවාහන ක්ෂේත්‍රයේ දී ප්‍රධාන වශයෙන් හරිතාගාර වායු මුදාහැරෙන්නේ ෆොසිල ඉන්ධන දහනය නිසා යි. එය මහා මාර්ග, ගුවන් සහ නැව් මාර්ග යන ප්‍රවාහන අංශ සියල්ල ම මඟින් සිදුවනවා. ලෝකයේ ප්‍රවාහනයට අවශ්‍ය ශක්‌තිය වැඩි වශයෙන් ලබා ගන්නේ පෙට්‍රෝලියම් ඉන්ධන මූලාශ්‍ර ලෙස යොදා ගෙන යි.
5) කෘෂිකර්මාන්තය
කෘෂිකර්මාන්තයේ දී නයිට්‍රජන් අඩංගු පොහොර අධික ලෙස භාවිතා කරනවා. එමඟින් N2O වායුව වායුගෝලයට එකතු වනවා.
6) අපද්‍රව්‍ය හා අප ජලය
වගුරු බිම්වලින් පිටවන මීතේන් (CH4) හා අපජලයෙන් පිටවන නයිට්‍රස් ඔක්‌සයිඩ් (N2O) වායු හරිතාගාර ආචරණයට ප්‍රධාන ලෙස ම දායක වනවා. කැලිකසළ ගොඩගැසීම සහ දහනය මඟින් මීතේන් (CH4) සහ කාබන්ඩයොක්‌සයිඩ් (CO2) යන වායු පිටවීම සිදුවනවා.
හරිතාගාර වායු විමෝචනය ශීඝ්‍රයෙන් ඉහළට
අද වන විට බලශක්ති උත්පාදනය, කර්මාන්තශාලා, ප්‍රවාහනය සහ ගමනාගමනය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩිපුර හරිතාගාර වායු විමෝචනය වීම සිදුවනවා. ගෙවුණු දශක කිහිපය තුළ චීනය, අමෙරිකාව, යුරෝපා සංගමයේ රටවල් සහ ඉන්දියාව හරිතාගාර වායු විමෝචනයට වැඩිපුර දායක වුණා. එහි දී වැඩිපුර විමෝචනය වුණු කාබන්ඩයොක්සයිඩ් වායුව නිසා ගෝලීය උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවට කාලගුණ විද්‍යාඥයන් පසුගිය කාලයේ දී අනතුරු ඇඟවීම් කළා. එනිසා වර්තමානය වන විට බොහෝ රටවල් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වීම අඩු කිරීම සඳහා විවිධ පියවර ගෙන තිබෙනවා. එහි දී යුරෝපා සංගමයට අයත් ඇතැම් රටවල් ප්‍රවාහනය සහ ගමනාගමනය හේතුවෙන් සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම පිළිබඳ ව අවධානය යොමුකර තිබෙනවා.
විවිධ වාහන වර්ග කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කරන ප්‍රමාණ
ගෙවුණු දශක කිහිපය තුළ ප්‍රවාහන සහ ගමනාගමන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති වුණා. එනිසා බොහෝ රටවල් දෛනික ව ප්‍රවාහන සහ ගමනාගමන කටයුතු සඳහා භාවිත කරන වාහන ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එහි දී රටවල් අතර ගමන් කරන ගුවන් යානා ප්‍රමාණයේ විශාල වැඩිවීමක් සිදු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය කාලයේ දී වාහනවලින් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. පහත රූපයේ දැක්වෙන්නේ විවිධ වාහන වර්ග මඟින් විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය යි.
CO2 විමෝචනය අඩු කරන්න ආරම්භ කළ ව්‍යාපෘතිය
ඉහත රූපයේ දක්වා ඇති දත්තවලින් පැහැදිලිව ම ගුවන් යානා මඟින් වැඩිපුර කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයක් විමෝචනය වන බව යි. එසේ ම රටවල් අතර සිදුවන දුම්රිය ගමන්වල දී අඩුම කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයක් පිටවන බව එහි සඳහන් වනවා. එම කරුණ සැලකිල්ලට ගෙන ඔස්ට්‍රියානු දුම්රිය සේවය 2016 දෙසැම්බරයේ දී ‘නයිට්ජෙට්’ නමින් රාත්‍රී දුම්රිය සේවාවක් ආරම්භ කළා. එම දුම්රිය සේවාව මේ වන විටත් ස්විට්සර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ස්ලෝවේනියාව, ජර්මනිය, චෙක් ජනරජය බෙල්ජියම, ස්ලෝවැකියාව, හංගේරියාව, පෝලන්තය වැනි රටවල් අතර දුම්රිය ධාවන කටයුතු සිදුකරනවා.
එම ව්‍යාපෘතියේ මූලික අරමුණ වුණේ යුරෝපීය රටවල් අතර සිදුවන ගුවන් ගමන් වාර ප්‍රමාණය හැකි තරම් අඩු කරමින් රාත්‍රී දුම්රිය ගමන්වාර මඟින් රටවල් අතර ප්‍රවාහන සහ ගමනාගමන කටයුතු සිදු කිරීම යි. එමඟින් ප්‍රවාහන සහ ගමනාගමන කටයුතුවල දී සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීම ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වුණා. ඒ අයුරින් රටවල් අතර ක්‍රියාත්මක වන රාත්‍රී දුම්රියන්හි මගීන් සතු ව තිබෙන පුද්ගලික වාහන පවා රැගෙන යාමේ හැකියාව තිබෙනවා.
එම දුම්රිය ගමන් වාර සඳහා එක්වන මගීන්ට සුවසේ සිය ගමනාන්තය දක්වා ළඟා වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. එනිසා නයිට්ජෙට් දුම්රිය සේවාව පසුගිය කාලයේ දී යුරෝපය තුළ ජනප්‍රියත්වයට පත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සිය සේවාව තවත් පුළුල් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
යුරෝපා රාත්‍රී දුම්රිය සේවාව තවත් පුළුල් වෙයි
2021 වසර යුරෝපයේ දුම්රිය වර්ෂය ලෙසින් නම් කර තිබෙනවා. ඊට සමගාමී ව ඔස්ට්‍රියානු දුම්රිය සේවය සිය රාත්‍රී දුම්රිය සේවාව ඉදිරි වසර කිහිපය තුළ තවත් පුළුල් කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කළා. එම නව ව්‍යාපෘතියේ පළමු දුම්රිය ගමන් වාර ද්විත්වය 2021 දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වීමට නියමිත යි. ඒ අනුව තවත් මාස කිහිපයකින් ස්විට්සර්ලන්තයේ සුරිච් සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් දක්වා රාත්‍රී දුම්රියේ ගමන් වාර ආරම්භ වනු ඇති. පහත දක්වා තිබෙන්නේ ඉදිරි වසර තුන ඇතුළත එම ව්‍යාපෘතියට අනුව ආරම්භ වන දුම්රිය ගමන් වාර පිළිබඳව යි.
2022 දෙසැම්බර්- ස්විට්සර්ලන්තයේ සූරිච් සිට ඉතාලියේ රෝමය දක්වා
2023 දෙසැම්බර්- ජර්මනියේ බර්ලින් සිට ප්‍රංශයේ පැරිස් සහ බෙල්ජියමේ බ්‍රසල්ස් දක්වා
2024 දෙසැම්බර්- ස්විට්සර්ලන්තයේ සූරිච් සිට ස්පාඤ්ඤයේ බාර්සිලෝනා දක්වා
අනාගත අරමුණු
මිනිස් ක්‍රියාකාරකම් මඟින් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අවම මට්ටමකට පත් ව නොතිබුණොත් ගෝලීය උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාමට ඉඩ තිබෙන බවට පසුගිය කාලයේ දී කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීම් කළා. එනිසා ගෙවුණු වසර කිහිපය ඇතුළත රටවල් රැසක් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීම සඳහා අවධානය යොමු කළා.
යුරෝපයේ නයිට්ජෙට් දුම්රිය සේවාව ආරම්භ වුණේත් ඒ යටතේ යි. එය පවත්වා ගෙන යන ඔස්ට්‍රියානු දුම්රිය සේවයේ නිලධාරින් පවසන්නේ ඉදිරි දශකවල දී මෙම දුම්රිය සේවාව තවදුරටත් පුළුල් කරමින් යුරෝපය පුරා ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව යි. ඒ අනුව ඔවුන්ගේ එකම අනාගත අරමුණ වන්නේ වාහනවලින් සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනයට සිය උපරිම දායකත්වය ලබාදීම යි.