අමෙරිකා එක්සත් ජනපදයට අයත් ටෙක්සාස් ප්‍රාන්තයේ යුවැල්ඩි ප්‍රදේශය මේ වනවිට විශාල අවධානයකට පාත්‍ර වී තිබෙනවා. ඒ පසුගිය මැයි 24 වැනිදා යුවැල්ඩි හි පිහිටි “රොබ් ප්‍රාථමික පාසල” තුළ සිදු වූ සාහසික වෙඩි තැබීම නිසා යි. එදින උදෑසන අට පමණ වනවිට වයස අවුරුදු 7-10 වයස් කාණ්ඩයට අයත් සිසුන් 600 ක් පමණ පාසලට පැමිණෙමින් සිටි අතර, ළඟ එන ගිම්හාන නිවාඩුවට හොඳින් සූදානම් වීමේ උනන්දුවක් බොහෝ දෙනාට තිබුණා. එහෙත්, සැල්වදෝර් රමෝස් නමැති ඝාතකයා ක්ෂණයෙන් යුවැල්ඩි ප්‍රදේශයේ සාමකාමීත්වය උඩු යටිකුරු කර දැමුවේ ප්‍රාථමික පාසලේ සිටි සිසුන් 19 ක් සහ වැඩිහිටියන් දෙදෙනකු ඝාතනය කරමින්.
හුදෙකලා වූවකු සහ පිරිහී ගිය ගෘහ ජීවිතයක් මැද හැදී වැඩුණු රමෝස්, කථන අවහිරතාවක් හේතුවෙන් හිරිහැරයට ලක් වූ අයෙක් බව ද පැවසෙනවා. තීරණාත්මක දිනයේ දී ඔහු තුවක්කු සහ පතොරම් ඇති පමණ රැගෙන සිය මිත්තණියටත් වෙඩි තබා වාහනයක නැඟී යුවැල්ඩි වෙත පිටත් ව ගොස් තිබුණා. අවිධිමත් රිය පැදවීමකින් පසු පෙරවරු 11.30 ට පමණ “රොබ් ප්‍රාථමික පාසල” වෙත පැමිණි ඝාතකයා, වාහනය පාසල අසල වූ අගලකට හරවා නතර කළ විට අවට පිරිස සහයට පවා පැමිණියා. එවිට ම වාහනයෙන් පිටතට පැමිණි මේ 18 හැවිරිදි තරුණයා, සහායට පැමිණි මිනිසුන්ට වෙඩි තැබුවා. පාසලේ සේවය කරන පොලිස් නිලධාරියෙක් සහ යුවැල්ඩි පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් පෙරළා රමෝස්ට වෙඩි තැබූ නමුත්, ඝාතකයා නතර කිරීමට හැකි වුණේ නැහැ.
ආන්දෝලනාත්මක අයිතිය
ටෙක්සාස් මහජන ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පවසන පරිදි ඝාතකයා ඉන්පසු පාසලේ හතරවන ශ්‍රේණියේ පන්ති කාමරයකට ඇතුළු වී තිබෙනවා. පොලිසිය එම ස්ථානයට පැමිණෙන විට ඔහු පන්ති කාමරය අවහිර කළ අතර, පන්ති කාමරයේ සිරවී සිටි සිසුන්ට බිහිසුණු ලෙස වෙඩි තැබුවේ ඉන් පසුව යි. වෙඩි තැබීම ආරම්භ කළ වහා ම ඇතැම් ළමයින් ජනෙල්වලින් එළියට පැන ගොස් ආරක්ෂිත ස්ථාන කරා යෑමට සමත් වී තිබුණා.
සිරවී සිටි අනෙකුත් සිසුන් වෙඩික්කරු ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගුරුවරුන් මංමුළා සහගත උත්සාහයක් දරා තිබූ අතර, එයට දඬුවමක් වශයෙන් එක් ගුරුවරියක් මරා දැමීමට තරම් සැල්වදෝර් රමෝස් සාහසික වුණා. පස්වරු එක පමණ වනවිට දේශසීමා මුර සංචාරයේ නියුක්ත ව සිටි නිලධාරියෙක් රමෝස් ගේ හිසට වෙඩි තැබීමත් සමඟ අමෙරිකානු ඉතිහාසයේ තවත් එක ඛේදවාචකයක් අතීතයට එක් වුණා.
යුවැල්ඩි සිදුවීමෙන් හටගත් චිත්ත සන්තාපය තව ම අවසන් වී නැහැ. වෙඩි තැබීම් මඟින් එක්සත් ජනපදයේ සිදු කළ පළමු සමූල ඝාතනයත් මෙය නොවෙ යි. පසුගිය දශකය විපරම් කිරීමේ දී එක්සත් ජනපදය පුරා වෙඩි තැබීම් මඟින් සිදු කළ සමූල ඝාතන 25 ක් පමණ වාර්තා වෙනවා. එහෙත්, මෙවර සිදුවීම වඩාත් ආන්දෝලනාත්මක වී ඇත්තේ වෙඩික්කරුගේ ඉලක්කය කුඩා ළමයින් වීම යි. ඒ සමඟ ම එක්සත් ජනපද පුරවැසියන්ගේ ගිනි අවි ළඟ තබා ගැනීමේ අයිතිය නැවතත් විවාදයට සහ ආන්දෝලනයට භාජනය වෙමින් තිබෙනවා. සමාජය තුළ මෙම අයිතිය සම්බන්ධයෙන් නොසිතූ මට්ටමේ බෙදුම් රේඛා ඇඳී ඇති බවත් දැන් හෙළි වෙමින් පවතිනවා. විටෙක එම බෙදුම් රේඛා අතිශයින් දේශපාලනික වන අතර, ජන වාර්ගික මට්ටමෙන් එකිනෙකට වෙනස් අදහස් දරන කාරණයක් තරමට ම ආන්තික වී අවසාන යි.
දෙවන සංශෝධනය
එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනයට අනුව ආයුධ දැරීමේ අයිතිය අමෙරිකානුවන්ට ලබා දී තිබෙනවා. එක්සත් ජනපදයේ වෙසෙන වැඩිහිටියන් ගෙන් තුනෙන් එකකට පමණ පුද්ගලික ගිනි අවියක් තිබෙන්නේ ඒ නිසා යි. මෙම සංශෝධනය ස්වභාවයෙන් ම කොටස් දෙකකට බෙදී පවතිනවා. “පූර්ව හෝ මූලික වගන්තිය” ලෙස හඳුන්වන කොටසේ දී නිදහස් රාජ්‍යයක ආරක්ෂාව සඳහා හොඳින් නියාමනය කරන ලද හමුදාවක අවශ්‍යතාව ඉස්මතු කරන අතර, “ක්‍රියාකාරී වගන්තිය” ලෙස හඳුන්වන කොටසේ දී අවි ළඟ තබා ගැනීම සහ දැරීමට මිනිසුන්ට ඇති අයිතිය උල්ලංඝණය නොවිය යුතු බව ප්‍රකාශ කරනවා.
ගිනි අවි මිලදී ගැනීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය යන අංග නියාමනය කිරීම සම්බන්ධයෙන් පුළුල් විවාද සහ ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග කොතෙක් තිබුණත්, දෙවැනි සංශෝධනයෙන් ආරක්ෂා කරන අයිතිය කුමක්දැ යි පැහැදිලි නැහැ. එබැවින්, ප්‍රතිවිරුද්ධ තර්ක හමුවේ සංශෝධනයේ අරමුණු යම් ආකාරයකින් සරල කර තිබෙනවා.
ඉහත සඳහන් ආකාරයට ම සංශෝධනයේ මූලික වගන්තියේ අරමුණ රාජ්‍ය ආරක්ෂාව සඳහා හමුදාවක් පවත්වා ගෙන යෑම යි. ක්‍රියාකාරී වගන්තිය හරහා සාමාන්‍ය පුරවැසියන්ට ගිනි අවි භාවිතයට ඉඩ දීම මඟින් පුද්ගල ආරක්ෂාව තහවුරු කිරීම සිදු කරනවා. ඒ අනුව ගිනි අවි දැරීම රාජ්‍ය අයිතියක් සහ පුරවැසි අයිතියක් ලෙස දෙවැනි සංශෝධනයෙන් අවධාරණය වන බව පෙනී යනවා.
කාලය ගතවන විට එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රධාන නගරවල මිනිස් ඝාතන අගයන් ඉහළ ගිය අතර, සමූහ වෙඩි තැබීම් දක්වා මේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වුණා. නිදහස අන් කිසිදු කරුණකටත් වඩා අගයන ජාතියක් ලෙස අමෙරිකානුවන් පෙනී සිටියත්, නිදහස තහවුරු කර ගැනීම වෙනුවෙන් ඔවුන් පනවා ගත් ඇතැම් නිර්ණායක ම ඒ නිදහස උදුරා ගනිමින් තිබෙනවා. ඊට කදිම උදාහරණය වන්නේත් මේ දෙවැනි සංශෝධනය යි.
දේශපාලනයේ බෙදීම
වරින් වර හිස ඔසවන ගිනි අවි ප්‍රචණ්ඩත්වයට විසඳුම් සෙවීමට අමෙරිකානු රාජ්‍ය නායකයන් උත්සහ කළා. වර්තමාන ජනපති ජෝ බයිඩන් පවා ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ එක් ව ගිනි අවි ප්‍රවේශයට නව සීමා යෝජනා කිරීමට ප්‍රයත්න දැරුවා. මේ අයිතිය සම්බන්ධයෙන් අමෙරිකානුවන් අතර සමාජීය වශයෙන් පමණක් නොව දේශපාලනික ව පවා බෙදීම් දකින්න පුළුවන්.
පසුගිය දශකය තුළ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ බොහෝ නායකයන් ගිනි අවි අවසර රහිත ව රැගෙන යාමට පවා ඉඩ සලසන නීති සම්පාදනය කළ බැවින්, ගිනි අවි මිල දී ගැනීම සහ ප්‍රවාහනය ඉතා පහසු වුණා. මෙම ක්‍රියාව නිසා ප්‍රසිද්ධ ස්ථානවල ගිනි අවි සඟවා රැගෙන යන පුද්ගලයන් වැඩි වීමේ හැකියාවක් පැවතුණු අතර, පොලිස් නිලධාරීන් සහ ප්‍රජාවගේ ආරක්ෂාව එමඟින් අනතුරට ලක් විය හැකි බව ගිනි අවි භාවිතයට විරුද්ධ ක්‍රියාකාරීන් පෙන්වා දුන්නා.
සාමාන්‍යයෙන් රිපබ්ලිකන් පක්ෂය යනු ගිනි අවි භාවිතයේ නිදහසට සහයෝගය දක්වන දේශපාලන ප්‍රවාහයක්. ඩිමොක්‍රටික් පක්ෂය ඊට වඩා වෙනස් මුහුණුවරක් ගනිමින් ගිනි අවි භාවිතයේ දී සාමාන්‍ය ජනතාවයට ලබා දෙන නිදහස යම් සීමා කිරීමකට ලක් කළ යුතු බව පවසනවා. මේ බෙදීම ඒ ඒ පක්ෂවල පාක්ෂිකයන් අතරත් පවතින බැවින්, ගිනි අවි භාවිතයේ නිදහස අමෙරිකානු මැතිවරණවල දී තුරුම්පුවක් බවට පත් වෙනවා. ගිනි අවි භාවිතයේ නිදහස පුළුල් ලෙස පවත්වා ගෙන යෑමට කැමති බොහෝ පුරවැසියන් රිපබ්ලිකානුවන් වන්නේ ඒ නිසා යි. එම නිදහස සීමා කළ යුතු බව විශ්වාස කරන පුරවැසියන් ඩිමොක්‍රටික් පක්ෂය වටා එකතු වූ පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. කෙසේ නමුත්, මේ අවි හිතවාදී දේශපාලනයට ඔක්සිජන් සපයන තිරය පිටුපස බලවේගයකුත් තිබෙනවා. ඒ ජාතික රයිෆල් සංගමය යි.
NRA බලපෑම
ජාතික රයිෆල් සංගමය (NRA) යනු එක්සත් ජනපදයේ විශාලත ම සහ බලවත් ම ගිනි අවි හිමිකාරීත්වය දරන සංවිධානය යි. ඔවුන් ගිනි අවි භාවිතය පාලනය කිරීමේ නීතිවලට එරෙහි ව දැඩි බලපෑම් එල්ල කරන අතර, ඉතිහාසය පුරා ගිනි අවි භාවිතයේ නිදහසට බාධා එල්ල කළ රෙගුලාසිවලට සහාය නොදැක්වූ නීති සම්පාදකයන්ට මූල්‍යමය සහයෝගය පවා ලබා දී තිබෙනවා. NRA වටා මිලියන 5 කට අධික සාමාජිකයන් සංඛ්‍යාවක් ඒකරාශී වී සිටිනවා. ඔවුන් දෙවන සංශෝධනයේ සැබෑ ආරක්ෂකයන් ලෙස පෙනී සිටිමින් අමෙරිකානු දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කරන බැවින්, ගිනි අවි පාලනය කිරීමේ නීති රට තුළ පිහිටුවීම ඉතා දුෂ්කර යි.
NRA සතුව ඔවුන්ගේ ම දේශපාලන ක්‍රියාකාරී කමිටුවක් ඇති අතර, වාර්ෂික ව ඩොලර් මිලියන 250 ක අයවැයක් සහිත ශක්තිමත් සංවිධානයක් ලෙස පෙනී සිටිනවා. ඔවුන් අලුතින් ගෙන එන ගිනි අවි රෙගුලාසිවලට එරෙහි ව ඩොලර් මිලියන තුනක් පමණ වාර්ෂික ව වියදම් කරන බව පැවසෙනවා. මැතිවරණ සමයේ දී තමාගේ ප්‍රතිපත්තිවලට හිතකර ආකල්ප දක්වන නායකයන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට මූල්‍යමය සහයෝගය දක්වන ජාතික රයිෆල් සංගමය, සෙනට් සභාව තුළ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සභිකයන්ට මූල්‍යමය උපකාර ලබා දීමටත් පසුබට වන්නේ නැහැ. NRA සතුව දේශපාලනඥයින් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් ද තිබෙනවා. ගිනි අවි භාවිතයේ අයිතිවාසිකම් සඳහා ඔවුන් දක්වන මිත්‍රත්වය අනුව එම ශ්‍රේණිගත කිරීම් සිදු කරන බව පැවසෙනවා.
2017 දී “Pew” පර්යේෂණ මධ්‍යස්ථානයේ වාර්තාවකට අනුව එක්සත් ජනපදයේ ගිනි අවි හිමිකාරීත්වය දරන පුරවැසියන් ගෙන් 19% ක් NRA සාමාජිකයන් වෙනවා. එම සාමාජිකයන් ගෙන් 77% ක් පමණ රිපබ්ලිකන් පාක්ෂිකයන් වීම විශේෂත්වයක්. එමෙන් ම, ගිනි අවි හිමි බහුතරයෙන් 61% ක් රිපබ්ලිකන් පක්ෂයට සහාය දක්වන්නන් බව පැවසෙනවා.
ජනගහයනට වඩා ගිනි අවි!
ස්විට්සර්ලන්තය පදනම් කරගත් ස්වාධීන ගෝලීය පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කළ සමීක්ෂණයකට අනුව ලෝකයේ පුද්ගලික ව තබාගෙන සිටින ගිනි අවිවලින් අඩක් ම ඇත්තේ එක්සත් ජනපද තුළ යි.එම ගිනි අවි සංඛ්‍යාව එක්සත් ජනපදයේ මුළු ජනගහනය ඉක්මවා ඇති බවත් සොයා ගෙන තිබෙනවා. එක්සත් ජනපදයේ ජනගහනය මිලියන 328 ක් පමණ වන අතර, අමෙරිකානුවන් පුද්ගලික පරිහරණය සඳහා තබා ගෙන සිටින ගිනි අවි සංඛ්‍යාව මිලියන 393 ක් පමණ වෙනවා!
ස්ත්‍රී පුරුෂ භාවය සැලකීමේ දී පිරිමින් පුද්ගලික සන්තකයේ ගිනි අවියක් තබා ගැනීමේ සම්භාවිතාව වැඩි අගයක් ගන්නවා. ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන වැඩිහිටියන් ගෙන් 41% ක් පමණ එක් ගිනි අවියක හිමිකාරීත්වය හෝ දරන අතර, තදාසන්න ප්‍රදේශවල ජීවත් වන්නන් ගෙන් 29% ක් ගිනි අවි හිමිකාරීත්වය දරනවා. නගර මධ්‍යයේ ජීවත් වන අය සැලකීමේ දී සෑම දහ දෙනකුගෙන් දෙදෙනෙක් ගිනි අවි ළඟ තබා ගෙන සිටින බව හෙළි වී තිබෙනවා.
ගැටලුව පිළිගන්නා ස්වභාවය
ගිනි අවි හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය රටේ පවතින බරපතළ ගැටලුවක් ලෙස අමෙරිකානුවන් පිළිගන්නා ආකාරයේත් යම් වෙනසක් තිබෙනවා. එය වඩාත් ඉස්මතු ව පෙනෙන්නේ ජාතීන් අනුව ගැටලුව සැලකීමට උත්සහ කළ විට යි. ඒ අනුව ගිනි අවි ප්‍රචණ්ඩත්වය බරපතල ගැටලුවක් ලෙස දකින විශාලත ම කාණ්ඩය වන්නේ කළු අමෙරිකානුවන්. එය ප්‍රතිශතාත්මකව 82% ක් පමණ වෙනවා. හිස්පැනික් සම්භවයක් සහිත මිනිසුන් අතරින් 58% ක් ගිනි අවි ප්‍රචණ්ඩත්වය විශාල සමාජ ගැටලුවක් ලෙස දකින අතර, යුරෝපීය සම්භවයක් ඇති අමෙරිකානුවන් ගෙන් 39% ක් ගිනි අවි ප්‍රචණ්ඩත්වය ගැටලුවක් ආකාරයෙන් පිළිගන්නවා.
එක්සත් ජනපදයේ පුරවැසියෙක් මුහුණ දෙන දැවැන්තම ගැටලු ලැයිස්තුගත කළ විට ඉන් ප්‍රමුඛත්වය ලැබෙන්නේ සෞඛ්‍ය සේවාවේ දැරිය හැකි මිල සම්බන්ධ ගැටලුව යි. අමෙරිකානුවන් විශ්වාස කරන අන්දමට ඊළඟට ප්‍රබල ම ගැටලුව වන්නේ ෆෙඩරල් රජය තුළ පවත්නා අයවැය හිඟය යි. අපරාධ රැල්ල සහ අනවසර සංක්‍රමණය විශාලත ම ගැටලු ලෙස දකින කාණ්ඩ ඊළඟට හමුවන අතර, ගිනි අවි හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය විශාලත ම ගැටලුව ලෙස දකින කාණ්ඩය සිටින්නේ ඊටත් පහළින්.
නැවතත් මෙම ගැටලු මිනිසුන්ට කොතෙක් දුරට ප්‍රබල ව දැනෙනවාදැ යි යන සාධකය අනුවත් වර්ග කර තිබෙනවා. එහි දී ගිනි අවි ප්‍රචණ්ඩත්වය බරපතළ ගැටලුවක් ලෙස දකින්නේ 48% ක් පමණ යි. එය ගැටලුවක් වුවත්, අනෙක් ගැටලු තරම් ප්‍රබල නොවන බව විශ්වාස කරන පිරිස 24% ක් ලෙසත්, කුඩා පරිමාණයේ ගැටලුවක් ලෙස සලකන පිරිස 22% ක් ලෙසත්, ගිනි අවි ප්‍රචණ්ඩත්වය කිසිසේත් ම ගැටලුවක් නොවන බව විශ්වාස කරන පිරිස 6% ක් ලෙසත් දැක්වෙනවා. ඒ අනුව අමෙරිකානු සමාජය ආසන්න වශයෙන් අර්ධ ව මෙම ගැටලුළුව ඉදිරියේ බෙදී සිටිනවා. වෙඩි තැබීම් මඟින් සිදු කරන සමූල ඝාතන සිද්ධි කොතෙක් සිදු වුණත්, මෙවැනි බෙදුම් රේඛාවක් මධ්‍යස්ථ තැනක තිබීම විශාල අර්බුදයක් වන්නේ ඒ නිසා යි.
විසඳුම කුමක් ද?
මෙම සමාජ අර්බුදයට පැහැදිලි විසඳුම ඇත්තේ දෙවැනි සංශෝධනය තුළ බව ගිනි අවි භාවිතයට විරුද්ධ බොහෝ අමෙරිකානුවගේ මතය යි. 2021 දී සිදු කළ ජනමත විමසුමකට අනුව නීත්‍යානුකූල ලෙස ගිනි අවි ළඟ තබා ගැනීම දුෂ්කර කළහොත්, සමූහ වෙඩි තැබීම් අවම කරගත හැකි බව අමෙරිකානු වැඩිහිටියන් ගෙන් අඩක් පමණ විශ්වාස කරනවා. ඒ හා සමාන පිරිසක් නීත්‍යානුකූල ව ගිනි අවි භාවිතය දුෂ්කර කළ පමණින් ප්‍රචණ්ඩත්වයට විශාල බලපෑමක් සිදු නොවන බව පවසනවා.
නැවතත් පැහැදිලි බෙදීමක් ඇති බව ඔබට පෙනෙනවා ඇති. අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු දේශපාලනය තුළත් ප්‍රබල පරිවර්තනයක් සිදුවීමේ අවශ්‍යතාවක් තිබෙනවා. නමුත්, දෙවන සංශෝධයනයෙන් ඉස්මතු වන අපැහැදිලි අයිතිය අතිශයින් දේශපාලනික වී අවසාන යි. සමාජය තුළ පවතින බෙදීම් ස්වභාවයෙන් ම දේශපාලකයන් තම වාසියට හරවා ගන්නා නිසා විසඳුම් හැමදාට ම විවාද තුළ පමණක් සිරවී තිබෙනවා. යුවැල්ඩි ඛේදවාචකය සිදුවුණේ මෙවැනි පසුබිමක් මැද යි.
එම ඛේදවාචකයෙන් පසු ජනපති ජෝ බයිඩන් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී ප්‍රකාශයක් සිදු කළ අතර, ගිනි අවි ප්‍රචණ්ඩත්වය විසඳීම සඳහා අවි භාවිතයට එරෙහි නව සීමා කිරීම්වලට සහය දක්වන ලෙස තරමක ආවේගයෙන් සහ සංවේගයෙන් ඔහු ඉල්ලා සිටියා. ගිනි අවි නිෂ්පාදකයන් සහ ඔවුන්ට සහාය දක්වන කණ්ඩායම් නව නීති සම්පාදනයට එල්ල කරන බාධා බයිඩන්ගේ දැඩි දෝෂ දර්ශනයටත් ලක් වුණා.
“දෙවියන්ගේ නාමයෙන් අපි ගිනි අවි ප්‍රවර්ධනය කරන කාණ්ඩයට එරෙහි ව නැඟී සිටින්නේ කවදා ද? ඇයි අපි මේ ඝාතන සමඟ ජීවත් වීමට කැමති? ඇයි අපි දිගට ම මෙහෙම වෙන්න ඉඩ හරින්නේ?”
ප්‍රකාශය සිදු කරන අතරතුර ජෝ බයිඩන් ඔහු ගේ ජනතාව ගෙන් අසා සිටියා. එය ඔහුට තනි ව සිදු කළ නොහැකි බව මේ ලිපිය කියවූ ඔබටත් වැටහෙනවා ඇති. එක්සත් ජනපදයේ ගිනි අවි භාවිතයේ නිදහස පිටුපස ඇති යථාර්තය එතරම් ම අඳුරු යි.
ගිනි අවි ප්‍රචණ්ඩත්වයෙන් නොවුණත්, දරුවන් දෙදෙනකුගේ වියෝව අත්විඳ ඇති පියකු ලෙස යුවැල්ඩි වෙඩි තැබීම සම්බන්ධයෙන් යථාර්තවාදී ව කතා කිරීමට ජෝ බයිඩන් උත්සහ කර තිබුණා. ඉතින්, ආයුධ දරාගත් ජාතියක් තුළ පවත්නා පරස්පර අදහස් එක තැනකට ගෙන එන්න ඔහුටවත් හැකි වේවි ද?