රුමේනියානු ඒකාධිපති නිකොලායි සීසෙස්කු 1989 වසරේ අග භාගයේ දී බලයෙන් පහ කෙරුණා. ඒ වන විට වසර 24 ක කාලයක් ඔහු රුමේනියාව පාලනය කර තිබූ අතර, ඔහුගේ දූෂිත, අත්තනෝමතික සහ බල තන්හාවෙන් පිරී ගිය පාලනය නිසා එහි ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටියා.
ඔහු බලයෙන් පහ කරන්නට ජනතාව එකා වන් ව අවසානයේ එක්කාසු වුණා. ඔහුගේ අවසානයට පාර කැපුණු එම සිද්ධි දාමය ඇරඹුණේ ඉතා අහඹු ආකාරයට යි.
නිකොලායි සීසෙස්කු නම් ඒකාධිපතියා
නිකොලායි සීසෙස්කු රුමේනියාවේ බලයට පත් වූයේ 1965 වසරේදී යි. එදා පටන් ඒකාධිපතියෙක් බවට පත් වී ඔහු අත්තනෝමතික ලෙස එරට පාලනය කරන්නට පටන් ගත් අතර, කිසිවකුගේ කීමක් මායිම් නොකරමින් රුමේනියාවට අවාසි සහගත තීරණ රාශියක් ගන්නවා. විශේෂයෙන් රට සංවර්ධනයට යැයි පවසමින් විදේශ ණය ගෙන, ඉන් කොටසක් සොරකම් කර ගෙන සිය පවුල පෝෂණය කිරීම නිසා, ගත් ණයට සරිලන පලදායීතායක් ලබාගැනීමට රුමේනියාවට නොහැකි වුණා.
මෙයින් ඇති වූ ආර්ථික ගැටලු වසා ගැනීම සඳහා එහි අනාගත ශ්‍රම බළකාය වැඩි කළ යුතු යැයි තීරණය කළ ඔහු රට පුරා උපත් පාලනය සහ ගබ්සා කිරීම් තහනම් කළා. මින් සිදු වූයේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීම සහඅනාරක්ෂිත ගබ්සා ක්‍රමවලට යොමු වීමෙන් තරුණියන් රාශියක් මිය යාම යි.
ඉන් නොනැවතුණු ඔහු විදෙස් ණය ගෙවීමට විනිමය සොයා ගැනීම සඳහා එරට කෘෂිකාර්මික නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් විදේශවලට විකිණීමට සූදානම් කළා. මේ නිසා රට පුරා ආහාර හිඟයක් ඇති වී, විශාල පෝලිම් ඇතිවන තත්ත්වයක් නිර්මාණය වුණා.
මේ සිදුවීම් සමග සීසෙස්කු කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි වුණා. ඔවුන් විරෝධතා දක්වමින් පැවසුවේ ඔහුට බලයෙන් ඉවත් වන ලෙස යි. කෙසේ නමුත් ජනතාව තමන් සමඟ බැව් පවසමින් ඔහු දිගින් දිගට ම බලයේ රැඳී සිටියේ රටෙහි නියමිත මැතිවරණ පවා නොපවත්වමිනු යි. දිනෙන් දින වැඩි වන ජනතා උද්ඝෝෂණ නිර්දය ලෙස මර්දනය කරන්නට ඔහු ක්‍රියා කළ අතර, ඒවාට වෙඩි තබන්නටත් නියෝග කළා.
තමන්ගේ සහචරයන් යොදා ගෙන, ජනතාව බහුතරය තමන්ට දිගට ම බලයේ රැඳී සිටින ලෙස පවසන බවට මාධ්‍ය වෙත පුවත් හුවා දැක්වූවා. ඔහුගේ නියෝගයෙන් තිමිසෝරා නගරයේදී විරෝධතාකරුවන් පිරිසකට 1989 වසරේ දෙසැම්බර් 17 වැනි දා වෙඩි තැබුණු අතර, ඉන් බොහෝ පිරිසක් මිය ගියා. ඒත් සමඟ ජනතා උද්ඝෝෂණ උපරිම තත්ත්වයකට පත් වුණා.
ජනතාව අමතන්නට ගිය සීසෙස්කු
සීසෙස්කු,1989 වසරේ දෙසැම්බර් මස 21 වැනි දා බුකාරෙස්ට් හී දී ජාතිය අමතන්නට සූදානම් වුණා. ඒ වන විටත් ඔහු සිය බලය යොදා උපරිම ලෙස විරෝධතාකරුවන් මැඬපවත්වා තිබුණා. එහිදී ඔහු ලොවට පෙන්වන්නට උත්සාහ කළේ ජනතාව තමන් කෙරෙහි කිසිදු විරෝධයක් නොදක්වන බව යි. එම කතාව රූගත කරන්නටත් ඔහු ම මාධ්‍යවේදීන් යොදවා තිබුණා. තමන්ට ජයඝෝෂා නැඟීම සඳහා තම හිතෛෂීන් පිරිසක් ද ඔහු යොදවා තිබුණා. ඒ වන විට ජන අරගලය ඇරඹූ ජනතා නායකයන් සියලු දෙනා පාහේ ඔහු නිහඬ කරවා තිබුණා. ඒ නිසා ජනතාව පැත්තෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල නොවන බවට ඔහුට විශ්වාසයක් ඇති වී තිබුණා.
සීසෙස්කු, බුකාරෙස්ට් හි ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලක සඳළුතලය මතට වී තම කතාව ආරම්භ කළ අතර, ආරම්භයේදී ම, ඔහු යොදවා තිබුණු හිතෛෂීන්ගේ අත්පොළොසන් හඬෙන් සහ ජයඝෝෂාවලින්, වෙනසක් ඉල්ලා හඬ නඟන ජනතාවගේ හඬ යටපත් වුණා. මේ නිසා තමන් සෑහෙන පමණින් ජනතා නොසන්සුන්තාව මැඬ පවත්වා ගෙන ඇතැයි යන විශ්වාසයක් සීසෙස්කුට ඇති වුණා.
ඔහු කතාව ආරම්භ කරමින්, සමාජවාදී ජනරජයක් වන රුමේනියාවේ ස්වාධිපත්‍යය රැක ගත යුතු බවත්, විවිධ දේශද්‍රෝහී බලවේගවලින් බලපෑම් එල්ල වුව ද, තමන් ඒවා මැඬලමින් ඉදිරියට යන බවත් ප්‍රකාශ කළා. රට වැටී ඇති මොහොතක මෙලෙස තමන්ගේ ‘කෙරුවාව’ ගැන උදම් ඇනීමත්, රටේ ඇත්ත ස්වභාවය සඟවා, ජනතා නොසන්සුන්තාව ‘දේශද්‍රෝහී බලවේගයක්’ ලෙස හුවා දැක්වීමත් නගරයේ වීථිවල එක් රැස්ව සිටි ජනතාවගේ තරහට සහ කනස්සල්ලට හේතු වුණා. රැස්ව සිටි ජනතාවගෙන් කිහිප දෙනෙක් සීසෙස්කුට සිය විරෝධතාව දැක්වීම සඳහා මහ හඬින් සටන් පාඨ කීමට පටන්ගත්තේ ඒ අතර යි.
ආරම්භයේ දී වෙනසක් බලාපොරොත්තු වූ ජනතා හඬ, සීසෙස්කු හිතවාදීන්ගේ හඬට යටපත් වුණා. එහෙත් තමා වැනිම වූ සාමාන්‍ය ජනතාවගේ හඬ යටපත් වෙනවාට අනෙක් සාමාන්‍ය ජනයා කැමති වූයේ නැහැ. තමන් එකාවන් ව නැඟී සිටියහොත් වෙනසක් කරගත හැකි වේ යැයි විශ්වාසය කෙමෙන් කෙමෙන් ඔවුන් අතර පැතිරුණා. මිනිත්තු කීපයක් තුළ කෙමෙන් කෙමෙන් එක් එක් පුද්ගලයා සීසෙස්කුට් විරුද්ධ ව මහ හඬින් සඨන්පාඨ කීමටත්, ඔහුගේ කතාවට නොසතුට පළ කිරීමටත් පටන් ගත්තා. මෙය මහා හඬක් වූ අතර, සීසෙස්කුගේ කතාවට ඉන් බාධා පැමිණෙන්නට වුණා. විශේෂයෙන් ජනතාව ‘තිමිසෝරා’ යන්න කියමින් මහ හඬින් මොර දෙන්නට වුණා.
ඔහුගේ හඬ ජනතා හඬට යටපත් වුණා
සීසෙස්කු මෙම තත්ත්වය බලාපොරොත්තු වූයේ නැහැ. ඔහුගේ හඬ ජනතා හඬට යටපත් වුණා. මෙය රූගත වීම ද සිදුවෙමින් පැවතුණු නිසා ඔහු මෙය හුදු ජනතාවගේ හඬ නිසා සිදුවන බාධාවක් නොවන බවත්, තම මයික්‍රෆෝනයේ තාක්ෂණික දෝෂයක් නිසා සිදුවන දෙයක් බවත් හුවා දැක්වීමට ඔහු උත්සාහ කළා. කිහිප විටාක් ම ඔහු මයික්‍රෆෝනයට ‘හලෝ’ යනුවෙන් ආමන්ත්‍රණය කළේ එය ක්‍රියා විරහිත ව ඇති බැව් පෙන්වන්නට යි.
ඒත් සමඟ ම ඔහුගේ බිරිය එලෙනා සහා අනෙක් බලධාරීන් ජනතාවට නිහඬ වන ලෙස නියෝගාත්මක ස්වරූපයෙන් හඬ නැගුවත් කෙමෙන් කෙමෙන් එය මහ හඬක් බවට පත් වූයේ, සීසෙස්කු හිතවාදීන්ට කිසිවක් සිදුකිරීමට හැකියාවක් නොතබමින්. මෙය තැනින් තැන දහස් ගණනක් ජනකාය සිදුකිරීම නිසා එරට හමුදාවට ද කිසිවක් කරන්නට හැකියාවක් තිබුණේ නැහැ.
විප්ලවයේ ඇරඹීම සහ සීසෙස්කුගේ අවසානය
ජනතා හඬ පාලනය කරගත නොහැකි ව සීසෙස්කු කතාව අතරමඟ නවතා පසෙකට වුණා. අහඹු ලෙස අවස්ථාව ලද සැණින් එකමුතු වූ ජනතාවගේ හඬ පළමු වතාවට ඔහු පරාජය කර තිබුණා. එය යුරෝපා දේශපාලනික ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් වූ අතර, තම ඒකාධිපතීත්වය ජනතා බලය ඉදිරිපිට දියවන බැව් සීසෙස්කුට වැටහුණා.
පසෙකට වූ ඔහු හමුදාවට අණ කළේ තමන්ට විරුද්ධව හඬ නගන මිනිසුන් මරා දමන ලෙස යි. මෙහිදී හමුදාව ක්‍රියාත්මක වූ අතර, ජනතාව ද ඉක්මනින් සංවිධානගත වූ නිසා කෝලාහලයක් ඇති වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මරණ බොහෝ සංඛ්‍යාවක් සිදුවුණා. කෙසේ නමුත් පොලිසියේ සහ හමුදාවේ සැලකිය යුතු පිරිසක් ජනතාවගේ පැත්තේ ඉක්මනින් ම සිට ගත් නිසා සීසෙස්කුට පලා යාම හැර කිසිවක් කරන්නට තිබුණේ නැහැ.
හෙලිකොප්ටරයක් යොදා ගෙන බුකාරෙස්ට් නුවරින් පලා ගිය ද ඔහු අල්ලා ගැනීමට ඒ වන විට ජනතාව සමඟ එක්ව සිටි එරට හමුදා ඛණ්ඩ සමත් වුණා. ඔහු, ඔහුගේ බිරිය සහ හිතෛෂීන් අල්ලා ගත් හමුදා, හමුදා ක්‍රමවේදයන්ට අනුව ඔවුන් කළ දූෂණ, භීෂණ ක්‍රියා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වූවා. අනතුරුව දෙසැම්බර් මස 25 වැනි දා ඔවුන් ඝාතනය කෙරුණා. වසර 24 ක් තිස්සේ රුමේනියාව පෙළූ කෲර ඒකාධිපතියකුගේ අවසානය ජනතා හඬින් සටහන් වූයේ එලෙසිනු යි.