Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුද්ගලික ආරක්ෂකයන් දුටු මයිකල් ජැක්සන්ගේ දිවියේ අවසාන භාගය

“මයිකල් ජැක්සන්: ළමා කාලය නොවිඳි සැබෑ ලෝකයේ පීටර් පෑන්”  යන ලිපිය හරහා මයිකල් ජැක්සන් ළමා කාලයේ විඳි අත්දැකීම් සහ එම අත්දැකීම් ඔහුගේ ජීවිතයට බලපෑ අන්දමත්, එල්ල වූ ළමා අපචාර චෝදනා හමුවේ ඔහු මානසික අවපීඩනයට ලක් වූ සැටිත් අප කලින් විස්තර කළා. මාධ්‍ය හරහා එල්ල වූ පීඩනය සහ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය බලපෑම් එල්ල කළ ජනප්‍රියත්වය හමුවේ දිවි ගමනේ අවසාන වසර කිහිපය මයිකල් ජැක්සන් ගත කළේ අප්‍රසිද්ධ ජීවිතයක්.

කෙසේ නමුත්, මයිකල් ජැක්සන්ගේ අවසාන වසර දෙකහමාර තුළ ඔහුත් සමඟ විසිහතර පැයේ ම රැඳුණු පුද්ගලයන් දෙදෙනෙක් සිටියා. බිල් විට්ෆීල්ඩ් සහ ජැවන් බෙය(ර්)ඩ් ලෙස හඳුන්වන ඔවුන් දෙදෙනා මයිකල්ගේ පුද්ගලික ආරක්ෂයන් වශයෙන් සේවය කළා. මේ නිසා මයිකල් සිය අවසාන භාගය තුළ ගත කළ ජීවන රටාව බොහොම සමීප ව සිට අත්විඳීමේ අවස්ථාව ඔවුන් දෙපළට හිමි වුණා. මේ ලිපිය ගොඩනැඟෙන්නේ ඔවුන්ගේ අත්දැකීම් පදනම් කර ගෙන යි.

බිල් විට්ෆීල්ඩ් සහ ජැවන් බෙය(ර්)ඩ් – scribepublications.com.au 

Remember the Time

මයිකල් ජැක්සන් යනු මරණයෙන් පසුව පවා වැඩි ම ආදායමක් උපයා ගැනීමට සමත් වූ කලාකරුවෙක්. ඔහු මිය යෑමට පෙර ඩොලර් මිලියන 500 ක පමණ ණය බරකට යට වී සිටි බව කියැවෙනවා. මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵල ඔහුට සේවය කළ මිනිසුන්ට පවා බලපා තිබුණත්, බිල් සහ ජැවන් ඒ කිසිවක් ගැටලුවක් කරගත්තේ නැහැ. ඔවුන් දෙදෙනා මයිකල්ට ඉතා පක්ෂපාතී ලෙස සේවය කළ අතර, මයිකල්ගේ පෞද්ගලික ජීවිතය හා සබැඳි කිසිදු තොරතුරක් ඔහු රැඳී සිටි නිවසේ ගේට්ටුවෙන් පිටතට නොයැවීමට ද වග බලා ගත්තා.

පොප් සංගීතයේ රජු සම්බන්ධ වූ ඕනෑම ප්‍රවෘත්තියක් ඉතා වටිනා බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. ඒවා ඕනෑම මිලකට ලබා ගැනීමේ සූදානමින් සිටින මාධ්‍ය ආයතන අමෙරිකා එක්සත් ජනපදයේ ඕනෑ තරම් තිබුණා.

පුද්ගලික ආරක්ෂකයන් දෙපළගේ අත්දැකීම් මත පදනම් ව ප්‍රකාශයට පත් වූ කෘතිය – www.goodreads.com 

බිල් සහ ජැවන්, ඔවුන්ට හිමිවූ දුලබ අවස්ථාව අවභාවිත නොකරමින් මයිකල් ජැකසන්ගේ පුද්ගලික ආරක්ෂකයන් ලෙස ලබා ගත් අත්දැකීම් වඩාත් විධිමත් ලෙස ලෝකයට හෙළි කිරීමට පසුව තීරණය කළා. ඒ අනුව මයිකල් ජැක්සන්ගේ මරණය සිදු වී වසර කිහිපයකට පසු “Remember the Time: Protecting Michael Jackson in His Final Days” නමැති කෘතිය ඔවුන් ප්‍රකාශයට පත් කළා.

“ඔබ මයිකල් ජැක්සන්ගේ රසිකයෙක් හෝ ආධාරකරුවෙකු නම්, ඔහු කවුද යන්න පමණක් නොව, මනුෂ්‍යයකු සහ පියෙකු ලෙස ඔහු විඳ දරාගත් දේවල් ගැනත් ඔබ දැනුම්වත් විය යුතු යි. ඔබට මයිකල් ජැක්සන් පිළිබඳ සත්‍යය දැන ගැනීමට හැකියාව ලැබෙන්නේ ඔහුත් සමඟ සිටි අයගෙන් මිස තමන් ඇසූ දේ නැවත නැවත පවසන අ‍යගෙන් නොවෙයි.”

මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික ජීවිතයේ අවසාන අවුරුදු කිහිපය කෘතියක් හරහා එළි දැක්වීම ඔවුන් සාධාරණීකරණය කරන්නේ ඒ අයුරින්.

ඔවුන් විශ්වාස කරන අන්දමට මයිකල්ගේ සැබෑ පෞරුෂය ජනමාධ්‍ය බරපතල ලෙස යටපත් කොට තිබුණා. ළමා අපයෝජන සිද්ධීන් සහ ඔහුගේ හැසිරීම් රටාව පමණක් වාර්තාකරණයට කැමරාව සහ පෑන එසවුණා මිස, පැමිණි පීඩනය හමුවේ මනුෂ්‍යයකු ලෙස ඒවා කළමනාකරණය කළේ කෙසේදැ යි කිසිවකු එතරම් සැලකුවේ නැහැ. බිල් සහ ජැවන්ගේ අත්දැකීම් මයිකල් ජැක්සන්ගේ රසිකයන්ට වැදගත් වූ හේතුවත් එයම යි.

මයිකල් ජැක්සන් සිය ජීවිතයේ අවසාන වසර කිහිපය ගත කළ ලාස් වේගාස් හි පිහිටි “ත්‍රිලර් විලා” නිවස්නය – rosarioknows.com 

නෙවර්ලෑන්ඩ් හැර යාම

මයිකල් ජැක්සන්  2005 දී මුහුණ දුන් ළමා ලිංගික අපයෝජන නඩු විභාගයෙන් පසු “නෙවර්ලෑන්ඩ්” ලෙස හැඳින්වූ ඔහුගේ නිවස්නය සහ විනෝද උද්‍යානය හැර යාමට තීරණය කළා. අපයෝජන සිද්ධියෙන් ඔහු නිදොස් කොට නිදහස් කළත්, මුහුණ දුන් අනෙකුත් දුෂ්කරතා සහ අයහපත් ප්‍රසිද්ධිය හේතුවෙන් ඔහු බිඳුණු මිනිසකු බවට පත් වුණා. මාස දහ අටකට පසු ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ලාස් වේගාස් හි මැකරන් ගුවන් තොටුපළට ළඟා වෙන තෙක් ම සිය දරු තිදෙනා සමඟ මාධ්‍ය ආවරණයෙන් බේරී සිටීම සඳහා විදේශගත ව සිටීමට මයිකල් ක්‍රියා කළා. නෛතික සහ මූල්‍යමය ගැටලු උග්‍ර වූ තැන එක්සත් ජනපදය වෙත නැවතත් යාමට ඔහුට සිදු වුණා.

 ලාස් වේගාස් හි නිවස්නයක පදිංචි වූ දා පටන් මයිකල් වඩාත් අවධානය යොමු කළේ සිය පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරගත හැකි අන්දම ගැන පමණ යි. ඒ අනුව විදේශගත ව සිටිය දී ඔහුට සේවය කළ කණ්ඩායමේ සේවාව දිගට ම ලබා ගැනීමට මයිකල් තීරණය කළා. කණ්ඩායමට අලුතින් ම බඳවා ගත්තේ බිල් සහ ජැවන් පමණ යි. ඔවුන් සතු වූ වෘත්තීය ඉතිහාසය සහ විශ්වාසනීයත්වය ඒ සඳහා හේතු වුණා. ජැක්සන් පවුලේ සාමාජිකයකුට පවා ඔහු හමුවීමට අවශ්‍ය නම් ඒ සඳහා දිනයක් කලින් වෙන්කර ගත යුතු වුණා.

අනන්‍යතාව සැඟවීම සඳහා මයිකල්ගේ  දරුවන්ට මුහුණු ආවරණ පැළඳීමටත් සිදු වුණා – www.smoothradio.com 

 මයිකල්ගේ හැසිරීම් රටාව සාමාන්‍ය පුද්ගලයකුට වඩා තරමක් වෙනස් වුවත්, ඔහුගේ දරු තිදෙනාට හොඳ පියකු ව සිටි බව බිල් සහ ජැවන් පවසනවා. ඔවුන්ගේ පුද්ගලික ජීවිතය පැපරාසින් ගෙන් ආරක්ෂා කිරීමෙහි ලා ඔහු බලවත් පරිශ්‍රමයක් ගෙන තිබුණා.

“අපි සේවය කළේ ජැක්සන් මහත්මයට මිස පොප් සංගීතයේ රජුට නොවෙයි. දරුවන්ගේ එදිනෙදා වැඩවලට උදව් වන අතරේ ඔවුන්ගේ ආහාර ගැනීම, නින්ද, නිවැරදි වේලාවට කරනවාදැ යි මයිකල් සොයා බැලුවා.”

බිල් විට්ෆීල්ඩ්, සිය මතකය අවදි කරමින් පියකුගේ පැතිකඩ මයිකල් තුළින් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමි වීම ගැන සතුට පළ කළා.

බිල් විට්ෆීල්ඩ් මයිකල් ජැක්සන්ට ආරක්ෂාව සපයමින් – twitter.com/ohhermosaluna 

විකේන්ද්‍රීය හැසිරීම්

මයිකල් ජැක්සන් සාමාන්‍ය පුද්ගලයකුට වඩා තරමක් අපගමනය වූ හැසිරීම් දක්වන බවට වූ ප්‍රසිද්ධ පුවත බිල් විට්ෆීල්ඩ් පවා පිළිගන්නවා.

“ඔහු වෙළඳසලකට ගියත් හැමදේම මිල දී ගන්නවා. අපි මයිකල් සමඟ හෝටල්වල නවාතැන් ගන්නා විට පොත් දහස් ගණනක් මිලට ගන්නා පුරුද්දක් ඔහුට තිබුණා. එක් අවස්ථාවක සම්පූර්ණ පොත් සාප්පුවක් ම මිලට ගත්තා!”

ලෝක සිනමාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වන “Gone With The Wind” සිනමා පටය දිනා ගත් ඔස්කාර් සම්මාන දෙකක් මයිකල් ජැක්සන් සතු ව තිබුණා. ඔහු ඒ සම්මාන පවුම් මිලියනයකට වඩා වැඩි මුදලකට මිල දී ගත් අතර, ඒවා රැගෙන යාම සඳහා රිදී බෑගයක් මයිකල් භාවිත කළා. ටැබැස්කෝ නමැති සෝස් බෝතල් සිය ගණනක් නිවස තුළ තබා ගැනීමේ පුරුද්දක් ද ඔහුට තිබූ අතර, අලුයම හතර දක්වා තනිව ම නර්තනයේ යෙදීමේ පිළිවෙතක් ඔහු අනුගමනය කළා.

මයිකල් ජැක්සන්ගේ ණය අර්බුදය ඔහුගේ සේවකයන්ට පවා බලපෑ බව කියැවෙනවා – www.businessinsider.com 

පිටතට යන සෑම මොහොතක ම මයිකල් විවිධ වෙස් මුහුණු පැළඳ ගත් අතර, ග්‍රීෂ්ම සෘතුවේ දී ලාස් වේගාස් ප්‍රදේශයට බලපාන උණුසුම් කාලගුණයෙන් බේරීම සඳහා ඔහු යතුරුපැදිකරුවකු මෙන් සම් ජැකැට්ටු පැළඳ මුහුණ පුරා වෙළුම් පටි පැළඳ ගැනීමේ චර්යාවක් ගෙන ගියා.

මයිකල් ජැක්සන්ගේ දරුවන්ට පවා වෙස් මුහුණු පැළඳීමට සිදු වූ බව ජැවන් කියා සිටිනවා.

“ඔවුන් (මයිකල්ගේ දරුවන්) දැන සිටි එකම දේ එය යි. දරුවන් ප්‍රසිද්ධ ස්ථානවල දී එකිනෙකා ඇමතුවේ සංකේත නාමවලින්. අඩුම තරමේ බාහිර ලෝකය මයිකල් ජැක්සන්ට වැකෝ ජැකෝ යන අන්වර්ථ නාමය භාවිත කරන බවවත් මේ දරුවන් දැනගෙන හිටියේ නැහැ.”

ඒකාකාරී ජීවිතය

ලාස් වේගාස් නිවසේ අන්තර්ජාල පහසුකම් නොතිබූ අතර, ළමයින්ට සාමාන්‍ය පරිදි රූපවාහිනිය නැරඹීමට පවා නොහැකි වූ බව මයිකල්ගේ පුද්ගලික ආරක්ෂකයන් දෙපළ පවසනවා. එබැවින් මයිකල් ජැක්සන් ප්‍රසිද්ධ වේදිකාවේ සිදු කරන දර්ශනීය ඉදිරිපත් කිරීම් බොහෝමයක් ඔහුගේ දරුවන් දැක තිබුණේ නැහැ. ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නංවා තිබූ තරමට ම ගැරහුම් ලැබූ කීර්තිධරයෙක්, එහෙමත් නැත්නම් “සෙලිබ්‍රිටි” කෙනෙක් ලෙස මයිකල් ජැක්සන් හැඳින්විය හැකි යි. ජීවිතයේ අවසාන භාගයේ දී එල්ල වූ අපචාර චෝදනා සමඟ බැඳුණු කටකතා ගොන්න (ඒවායින් ඔහු නිදහස් වී සිටියත්) නිරන්තරයෙන් මයිකල් ලුහුබැඳ ආවා. සමහර විට ඒ පීඩනයෙන් තම දරුවන් ආරක්ෂා කිරීම සඳහා යම්කිසි ආකාරයක දැඩි ප්‍රතිපත්ති මාලාවක් ඔහු අනුගමනය කළා විය හැකි යි.

නෙවර්ලෑන්ඩ් හි වාසය කරන විට මයිකල් ඩොලර් මිලියන ගණනක් ඔහුගේ ආභරණ එකතුව සඳහා වැය කළා – www.businessinsider.com 

මයිකල් ජැක්සන්ගේ දරුවන් මේ ලෝකයේ වාසය කරන වාසනාවන්ත ම දරුවන් තිදෙනෙක්යැ යි කෙනකුට සිතෙන්නට පුළුවන්. බිල් සහ ජැවන්ට අනුව යථාර්ථය ඉන් බොහෝ වෙනස්. ඔවුන්ගේ ජීවිතයේ ඒකාකාරී ස්වභාවය නිසා යම් දුක්ඛිත තත්ත්වයකට ඇද වැටී තිබුණු අතර, තනිකම ඔවුන් වෙළාගෙන තිබුණා. මයිකල් ජැක්සන් ඔවුන්ගේ උපන්දින සාද විකටයන්, ඉන්ද්‍රජාලිකයන්, විශාල කේක් සහ සැරසිලි සමඟ බොහොම උත්කර්ෂවත් ලෙස පැවැත්වුවත්, ඒවාට ඔවුන්ගේ ගුරුවරයා, නැනී සහ ආරක්ෂකයන් හැර වෙන කිසිවකු පැමිණියේ නැහැ. නිවසේ සිට ම අධ්‍යාපනය ලැබූ නිසා ඔවුන්ට යහළුවන් සිටියේ ද නැහැ.

බ්ලැන්කට් එබූ බොත්තම

බාධාවකින් තොර ව සාප්පු යෑමට හැකි වන පරිදි සෙල්ලම් බඩු සාප්පු ඔවුන් වෙනුවෙන් ම වසා දමන අතර, සිනමා ශාලාවකට යෑමේ දී මුළු සිනමා ශාලාව ම ඒ දිනය සඳහා කුලියට ගැනීමට මයිකල් ක්‍රියා කළා. මේ සියල්ල සිදු කළේ මහජන අවධානයෙන් ගැලවීම සඳහා යි. ඒ වෙනුවෙන් ඔහු වියදම් කළ මුදල් ප්‍රමාණයත් සුළුපටු නැහැ. මයිකල් ජැක්සන් එයින් ද සෑහීමට පත් වුණේ නැහැ. සිය දරුවන්ගේ හෝ තමාගේ අවශ්‍යතා සඳහා ප්‍රසිද්ධ ස්ථානයකට ගිය සෑම අවස්ථාවකදී ම ඔහුත් සමඟ එන කාර්ය මණ්ඩලය පවා දැඩි පරීක්ෂාවට බඳුන් කිරීමට ආරක්ෂකයන්ට සිදු වුණා.

රසිකයන්ගෙන් ඔහුට පෙරළා සාධාරණයක් ලැබුණා ද යන්න වග නම් අදටත් ප්‍රශ්නයක් – www.youtube.com 

කිසිදු සේවකයකුට ජංගම දුරකථන භාවිත කිරීමේ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. තමා සහ තම පවුලේ තොරතුරු පිටතට නොයෑම සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක් ම ඔහු අනුගමනය කළා. ඉමහත් පරිශ්‍රමයකින් ලෝකයට ඉතා වටිනා රසාස්වාදයක් මයිකල් ලබා දී තිබුණත්, පෙරළා ලෝකයෙන් ලැබුණු දේවල් හමුවේ ඔහු සිටියේ දැඩි කලකිරීමකින්. ඒ කලකිරීම දරුවන්ටත් බලපෑවා.

ප්‍රසිද්ධ ස්ථානවල දී ආරක්ෂාව ගැන සැලකිලිමත් වන තරමට ම සිය නිවසේ ආරක්ෂාව ගැනත් මයිකල් සැලකිලිමත් වුණා. නිරීක්ෂණ උපකරණ සහ අනතුරු හැඟවීමේ ස්වීච සෑම තැනකම සවිකර තිබූ අතර, සන්නද්ධ ආරක්ෂකයන් නිරතුරුව ම මුර සංචාරයේ යෙදුණා. ආරක්ෂාකාරී පියවර කොතෙක් ගෙන තිබුණත්, දොරින් දොරට ගොස් දොරගුළු පරීක්ෂා කිරීමේ සිරිතක් මයිකල්ට තිබුණා. අනතුරු හැඟවීමේ නළාව දිනක් හදිසියේ ම නාද වුණා! ඒ සිදුවීම බිල් සිහිපත් කළේ මෙලෙසින්.

“මං මුළුතැන්ගේ දොර අසලට ඇවිත් ආයුධය එළියට ගෙන ඇතුළට කඩා වැදුණා! ඕනෑම අවදානමකට සූදානමින් තමයි මං හිටියේ. පවුලේ හැමෝ ම කෑම මේසයට වෙලා උදෑසන ආහාරය ගනිමින් සිටිනවා මා දැක්කේ එවිට යි. මාව දැකලා ඒ අය බයෙන් ගල් ගැහුණා.”

අනතුරු හැඟවීමේ බොත්තම් නිවස පුරා තිබෙන බව කුඩා දරුවන් දැන සිටියේ නැහැ. එවැනි බොත්තමක් දැක කුතුහලයට පත් වූ බ්ලැන්කට් (මයිකල් ජැක්සන්ගේ දරුවෙක්) එය තද කර තිබුණා.

වැටුප් නොලද ආරක්ෂකයෝ

 සාර්ථකත්වයේ හිනි පෙත්තට ම පැමිණ විට මයිකල් ජැක්සන් සතු වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 700 ක් පමණ වූ බව පැවසෙනවා. ජීවිතයේ අවසාන භාගය වනවිට මයිකල් ජැක්සන්ගේ මූල්‍ය කළමනාකාරීත්වයේ තිබූ අර්බුද හේතුවෙන් වත්කම්වල ගැටලු පැන නැඟුණා. අවසාන ප්‍රතිඵලය වූයේ මයිකල් ජැක්සන් සතු ක්‍රෙඩිට් කාඩ්පත් පවා ප්‍රතික්ෂේප වීම යි. බිල් විට්ෆීල්ඩ් සහ ජැවන් බෙයර්ඩ්ට පවා මාස හතරක වැටුප් නොගෙවීමට තරම් ඒ මූල්‍ය අර්බුදය බරපතල වී තිබුණා.

“මයිකල් කෙරෙහි තිබූ පක්ෂපාතීත්වය නිසා ම අපි රැඳුණා.”

හිඟ වැටුප් ඉදිරියේ ගත් පියවර ජැවන් පැහැදිලි කළේ ඒ අයුරින්.

“ඔහු පාලනයෙන් තොර වූ ජීවිතයක් ගත කරන බව අප දැන සිටියා. ඉතින් ඔහුට තවත් කරදර කරන්න අපට අවශ්‍ය වුණේ නැහැ. ජීවිතයේ සමහර දේවල් ඉදිරියේ ඔහු ඉතා බොළඳ පුද්ගලයෙක්. ඒත් අනෙක් අය වැටුප් ගැන සැලකිලිමත් වුණා. ඔහු සම්පූර්ණයෙන් බිඳුණු පුද්ගලයෙක් බව මං හිතන්නේ නැහැ. ඒ මයිකල් ජැක්සන්! කිසිදා බිඳ දැමිය හැකි පුද්ගලයෙක් නොවෙයි ඔහු.”

මයිකල් ජැක්සන් මුහුණ දුන් මූල්‍ය අර්බුදයේ යථාර්තය අන් කිසිදු සේවකයකුටත් වඩා ජැවන් සහ බිල් හඳුනාගෙන සිටියා. ඉතා විශාල මුදල් ප්‍රමාණයක් සමඟ කටයුතු කිරීමේ දී ගණකාධිකාරිවරුන්, නීතිඥවරුන් සහ කළමනාකරුවන් බඳවා ගැනීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. සියලු ආදායම් ඉතා විධිමත් ලෙස තබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බව මයිකල්ගේ පුද්ගලික ආරක්ෂකයන් දෙපළ අවබෝධ කරගෙන සිටියා. ජැවන් සහ බිල්ට අනුව ඔහුට එරෙහිව පැවරුණු නඩු සියල්ල ම පාහේ ඉතා විකාර සහගත ඒවා යි. එම නඩුත් මයිකල්ගේ වත්කම්වලට බලපෑම් එල්ල කළා.

“නඩු විභාගයෙන් පසු මිනිස්සු දැන ගත්තා ඔහු දිගින් දිගට ම උසාවි යෑමට අකමැත්තක් දැක් වූ බව. උසාවියේ සටන් කරනවා වෙනුවට ප්‍රශ්න ඉක්මනින් නිරාකරණය කර ගන්නයි ඔහුට අවැසි වුණේ. අවසානයේ දී මයිකල් ජැක්සන් නඩුවල ඉලක්කයක් බවට පත් වුණා. ලිංගික අපයෝජන චෝදනාවලින් ඔහු දැඩි සිත් තැවුලෙන් කාලය ගත කළා. මාත් තාත්තා කෙනෙක්. ඔහු ගැන යම් සැකයක් තිබුණා නම් මං ඔහුට වැඩ කරන්නේ නැහැ. මයිකල් මැස්සකුටවත් හානියක් කරන මනුස්සයෙක් නොවෙයි.”

ජැවන් වැඩි දුරටත් පවසනවා.

මයිකල් ජැක්සන්ගේ දරුවෝ – www.mirror.co.uk 

දරගත නොහැකි වූ අවසානය

මයිකල් ජැක්සන් ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි නිවස තුළ 2009 දී මිය ගිය විට ජැවන් සහ බිල් ඔහුගේ “This Is It” ප්‍රසංග මාලාවේ වැඩකටයුතු සඳහා ලාස් වේගාස් නුවර රැඳී සිටියා. මයිකල්ගේ මරණය මේ අවංක ආරක්ෂකයන් දෙදෙනා මුල දී විශ්වාස කළේ නැහැ. ඒ, මයිකල් ජැක්සන් මිය ගිය බවට වූ අසත්‍ය ප්‍රවෘත්ති වරින් වර ඔවුන්ට අසන්න ලැබුණු නිසා යි.

“ඇමතුම ලැබුණු විට මා කම්පනයට පත් වුණා. මයිකල්ගේ දරුවන් දන්නා එක ම ලෝකය ඔවුන් විසින් ම සාදාගත් ලෝකය නිසා දරුවන්ට මොනවා වේවිදැ යි මට සිතුණා. මා හිරිවැටුණා වගේ හැඟීමක් දැනුණා. හැමදේ ම නැවතුණා වාගේ යි.”

ඒ බිල් වයිට්ෆීල්ඩ්ගේ වචන යි.

මයිකල් ජැක්සන් සිය රසිකයන්ට විශාල සාධාරණයක් ඉටු කළ බව අවිවාදිත යි – www.musicinminnesota.com 

මයිකල් ජැක්සන්ගේ අවමංගල්‍යට සහභාගී වූ විට දැනුණු හැඟීම්වල ශෝකය මෙන් ම කෝපය ද මුසු වී තිබූ බව බිල් පවසා තිබුණා.

“මං ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනෙක් ම දුටුවා. ඔවුන් මීට පෙර මා දැකලා තිබුණේ නැහැ. ඉතින් මට යම් කෝපයකුත් දැණුනා. ඔවුන් මයිකල්ගේ මිතුරන් බව පැවසුවත්, සේවය කළ වසර දෙකහමාර තුළ ඒ අය ගැන මා අසා තිබුණේ නැහැ.”

මයිකල්ගේ මරණයෙන් පසු ඔහුගේ දරුවන් ජැක්සන් පවුලේ සෙසු සාමාජිකයන් සමඟ ජීවත් වීම ඇරඹුවා. ඒ අතරතුර කාලයේ පවා බිල් දරුවන් සමඟ සබඳතා පැවැත්වීමට උත්සහ කළා. නමුත්, කාලය ගත වනවිට මයිකල්ගේ දරුවන් මේ පක්ෂපාතී ආරක්ෂකයන්ගේ සබඳකම් වලින් ටිකෙන් ටික ඈත් වුණා.

“මට ඔවුන් මඟ හැරුණා. යම් පරිශ්‍රමයක් දරා ඔවුන් සමඟ සබඳකම් ඇරඹීමටත් මට අවශ්‍ය වුණේ නැහැ. නමුත්, මේ පොත හරහා ඔවුන් නැවතත් අප වෙත ළඟා වීමට දිරිමත් වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.”

“Remember the Time: Protecting Michael Jackson in His Final Days” නම් කෘතිය ප්‍රකාශයට පත් කළ අලුත බිල් පවසා තිබුණා.

මයිකල් ජැක්සන් සිය රසිකයන්ට විශාල සාධාරණයක් ඉටු කළ බව අවිවාදිත යි. රසිකයන්ගෙන් ඔහුට පෙරළා සාධාරණයක් ලැබුණා ද යන්න වග නම් අදටත් ප්‍රශ්නයක්.  කෙසේ නමුත්, දැන් සුරැකි ව ඇත්තේ පොප් රජු ඉතිරි කර ගිය මතක පමණ යි.

කවරයේ ඡායාරූපය: මයිකල් ජැක්සන්ගේ නිර්මාණාත්මක ඡායාරූපයක් - www.pixelstalk.net/

මූලාශ්‍ර:

www.nzherald.co.nz 

 www.mirror.co.uk

slate.com

 heavy.com 

Related Articles