Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුහුදු කොල්ලකරුවන් අතර රැජන: වෙස් වලා ගත් ඈන් බොනී

17 වන සියවස වන විට දකුණු අමෙරිකාව, ලතින් අමෙරිකාව , සහ අප්‍රිකාව යන කලාපවලට අයත් වුණු රටවල් රැසක් යුරෝපීයයන්ගේ පාලනය යටතේ පැවතුණා. එම යුගයේ දී යුරෝපීයයන් සිය යටත් විජිත්වලින් එකතු කර ගත් වටිනා සම්පත් නැව් මඟින් තම මව්රටවලට රැගෙන ගියා.

වස්තුව රැගත් නෞකා යුරෝපය බලා යාත්‍රා කරද්දී මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරවලටත් ලක් වුණා. එකල අත්ලාන්තික් සාගර කලාපය මුහුදු කොල්ලකරුවන්ගේ රජදහනක් බවට පත්ව තිබුණා. 

මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර – wikipedia.org

 

අත්ලාන්තික් සාගරය එදා භීතියට පත් කළ මුහුදු කොල්ලකරුවන් අතරට එඩ්වඩ් ටීච්, හෙන්රි මෝගන්, බ්ලැක් බාට්, හෙන්රි ඒවරි වැනි උදවිය අයත් වුණා. ඒ අතුරින් හෙන්රි මෝගන්, බ්ලැක් බාට්, සහ හෙන්රි ඒවරි යන මුහුදු කොල්ලකරුවන් පිළිබඳ ලිපි අප මීට පෙර ඔබ වෙත ඉදිරිපත් කළා. එකල ක්‍රියාත්මක වුණු ඇතැම් මුහුදු කොල්ල කල්ලිවලට නිර්භීත කාන්තාවන් ද සම්බන්ධ වී සිටියා.

මුහුදු කොල්ල කල්ලියකට 1718-1720 කාලයේ සම්බන්ධ වී සිටි ඈන් බොනී ද එවැනි කාන්තාවක්. මෙතැන් සිට ඔබ හමුවේ දිගහැරෙන්නේ ඈන් බොනීගේ ත්‍රාසජනක ජීවිත කතාව යි.

උපත සහ ජීවිතයේ මුල් යුගය 

අයර්ලන්තයේ කෝක් නගරයේ දී 1697 මාර්තු 8 වැනිදා ඈන්  මෙලොව එළිය දුටුවා. ඇයගේ පියා වුණු විලියම් කෝමාක් නීතිඥයකු ලෙස රැකියාව කළා. කාන්තා ඇසුරට ලොල් පුද්ගලයකු වුණු විලියම් සිය නිවසේ සේවය කළ මේරි බ්‍රෙනන් නම් මෙහෙකාරිය සමඟින් අනියම් සබඳතාවක් ඇති කර ගත්තා.

ඒ පිළිබඳ හෙළිදරවු වීමෙන් පසු විලියම්ගේ බිරිය ඔහුගෙන් වෙන්වීමට තීරණය කළා. ඉන් අනතුරුව විලියම් සිය අනියම් බිරිය සමඟින් තම නිවසේ ජීවත් වුණා. ඒ අයුරින් ටික කාලයක් කාලය ගතවෙද්දී මේරිට දියණියක් ලැබුණා. 

කෝක් නගරයේ පැරණි ඡායාරූපයක් – stayincork.com

 

දියණියක් ලැබීම විලියම්ගේ තත්ත්වයට ලැජ්ජාවක් වුණු නිසා ඔහු සිය දියණිය පිරිමි ළමයකු සේ වෙස් ගන්වා  නිවසේ තබා ගත්තා. එම දරුවා ඔහුගේ ඥාති දරුවකු ලෙසින් අසල්වැසියන්ට හඳුන්වා දීමට තරම් විලියම් සූක්ෂම වුණා. වැඩි කලක් යන්නට පෙර විලියම්ගේ නිවසේ සිටි දරුවාගේ අනන්‍යතාව හෙළිදරවු වුණා. ඒ සමඟ ම විලියම්ට තවදුරටත් සිය නිවසේ ජීවත් වීමට හැකි වුණේ නැහැ. ඒ අසල්වැසියන්ගෙන් එල්ල වුණු නින්දා අපහාස නිසා යි. ඒවා විඳ දරා ගැනීමට නොහැකි වුණු නිසා විලියම් සිය අනියම් බිරිය සහ දියණිය ද කැටුව ලන්ඩන් නගරය බලා පිටත් ව ගියා. එහි කෙටි කලක් වාසය කළ ඔවුන්අමෙරිකාවේ කැරොලිනා ප්‍රදේශයට  පසුව සංක්‍රමණය වුණා.

මවගේ අභාවය 

අමෙරිකාවට ගිය ඈන්ගේ පවුලේ උදවියට මුල් කාලයේ දී දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදු වුණා. ඒ ඔවුන් සතු ව යහමින් මිල මුදල් නොතිබුණු නිසා යි. එදා සිය නීති දැනුම භාවිත කළ විලියම් වැඩි කලක් යන්නට පෙර සැලකිය යුතු තරම් මුදලක් උපයා ගත්තා. විලියම්ට වෙළෙඳ කටයුතු පිළිබඳත් හොඳ දැනුමක් තිබුණා. එනිසා ඔහු භාණ්ඩ මිල දී ගෙන ඒවා වැඩි මුදලකට විකුණා මුදල් යහමින් උපයාගැනීමට සමත් වුණා.

එලෙස වසර 10ක් පමණ ව්‍යාපාර කටයුතුවල නිරතවීමෙන් පසුව විලියම් විශාල ධනවතෙක් බවට පත්වුණා. ඉන් පසුව විලියම් සහ පවුලේ උදවියට ප්‍රීතියෙන් කාලය ගත කිරීමට හැකි වුණා. එම සතුට වැඩි කල් ඔවුන්ගේ පවුල තුළ නොරැඳුණේ හදිසියේ වැලඳුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඈන්ගේ මව මේරි මියගිය නිසා යි.

18 වන සියවසේ ක්‍රියාත්මක වුණු කුඩා මුහුදු කොල්ල කල්ලියක් – posterazzi.com

හිතුවක්කාර විවාහයක් 

ඈන්ගේ මව මිය යෑමෙන් පසු ඔවුන්ගේ පවුලේ අර්බුද රැසක් ඇති වුණා. ඇයගේ පියා කාන්තාවන් පසුපස සීමාවක් නැතිව  යාම නිසා ඈන්ට සිය නිවස තුළ හුදෙකලා ජීවිතයක් ගත කිරීමට සිදු වුණා. ඒ වන විට ඇය 12 හැවිරිදි වියේ පසු වුණා. සිය පියාගෙන් නිසි ආදරයක් නොලැබුණු නිසා ඈන් කනස්සල්ලෙන් කාලය ගත කළා. එම කනස්සලු ස්වභාවය නිසා  ඇය නිතර ම කෝපයෙන්  පසුවුණා.

එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇය නිවසේ මෙහෙකාරියන් සමඟත් රණ්ඩු සරුවල් ඇති කර ගත්තා. ඈන් 16 හැවිරිදි වියට එළඹෙද්දී ඇයට ආදරය සහ කරුණාව අවශ්‍ය වුණා. නමුත් ඇයට කිසිවකුගෙන් ආදරය හෝ කරුණාව ලැබුණේ නැහැ. එනිසා ඇය ආදරය සහ කරුණාව සොයා යාමට උත්සාහ කළා. එම කාලයේ දී ඈන්ට ජේම්ස් බොනී නම් දුප්පත් නාවිකයකු හඳුනා ගන්නට අවස්ථාව ලැබුණා. 

 

ඈන් සහ බොනී  අතර ආදර සම්බන්ධයක් ඇති වුණු කාලය වන විට ඔහු කුඩා මුහුදු කොල්ල කල්ලියකට එකතු වී සිටියා. එදා . එහි දී ඈන් සිය පෙම්වතාට තදින් ම ආදරය කළත් බොනී, ඈන්ට ආදරය කළේ ඇයගේ දේපල අත්පත් කරගැනීමේ අරමුණ ඇතිව යි. ඒ අයුරින් කාලය ගෙවීයද්දී ඈන් සිය පෙම්වතා පිළිබඳ පියා හමුවේ තොරතුරු පවසා සිටියා.

විලියම් එම සම්බන්ධයට තදින් ම විරුද්ධ වුණා. ඒ සමඟ ම හදිසි තීරණයක් ගත් ඈන් සිය පෙම්වතා වුණු බොනී සමඟ විවාහ වුණා. එම හිතුවක්කාර විවාහයෙන් පසු ඈන් සිය සැමියා සමඟින් බහාමාස් හි නිව් ප්‍රොවින්ඩන්ස් දූපතේ නසෝවු නගරය වෙත සංක්‍රමණය වුණා.  

18 වන සියවසේ දී නසෝවු නගරය – researchgate.net

 

ඈන් නැවතත් විවාහ වෙයි 

නසෝවු නගරය ඒ වන විට මුහුදු කොල්ලකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබුණා. සිය සැමියා හරහා විවිධ මුහුදු කොල්ලකරුවන් හඳුනාගැනීමේ අවස්ථාව ඈන්ට හිමි වුණා. විනෝදයට බර තරුණියක වුණු ඈන් එම මුහුදු කොල්ලකරුවන් සමඟින් එක් ව මධුවිත පානය කරමින් නොහොබිනා ලෙස හැසිරුණා. 1718 ගිම්හානයේ දී වුඩ්ස් රොජර්ස් ආණ්ඩුකාරවරයා නසෝවු  නගරයේ පාලනය භාර ගත්තා. එදා ඔහු මුහුදු කොල්ලකරුවන් ගැන ඔත්තු සපයන්නන්ට විශාල ලෙස මුදල් ලබාදෙන බව නිවේදනය කළා. 

ඈන්ගේ සැමියා බොනී මුදලට කෑදර පුද්ගලයෙක් වුණු නිසා ඔහු තම මිතුරන් පිළිබඳ ආණ්ඩුකාරයාට ඔත්තු සැපයීමට ඉදිරිපත් වුණා. ඒ පිළිබඳ දැනගත් පසු ඈන් සිය සැමියා සමඟින් තිබුණු සබඳතා අත්හැර දැමුවා. එම කාලය වන විට ඈන් ජෝන් රැකම් නම් මුහුදු කොල්ලකරුවා සමඟින් අනියම් සබඳතාවක් ඇති කරගෙන තිබුණා.

මුහුදු කොල්ල කල්ලියක නායකයකු වුණු රැකම් ඈන්ට දැඩි ව ආදරය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ඈන්ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ වන විට සිය සැමියාගේ ක්‍රියා කලාපය පිළිබඳ කලකිරී සිටි ඈන්, රැකම් සමඟින් එකට ජීවත් වීමට තීරණය කළා. ඉන් අනතුරු ව ඔහුගේ කොල්ල කල්ලියට ද ඈන් සම්බන්ධ වුණා.

ජෝන් රැකම් – thoughtco.com

 

මුහුදු කොල්ල කණ්ඩායමට එකතු වුණු ඈන් පිරිමියකු සේ වෙස් වලා ගෙන සිටියා. ඈන් පිළිබඳ නිවැරදි තොරතුරු දැනගෙන සිටියේ කොල්ල කල්ලියේ නායකයා වුණු රැකම් පමණ යි. එහි සිටි අනිකුත් සියලු දෙනා ම සිතාගෙන සිටියේ ඈන් පිරිමියෙක් බව යි. ඈන් වාගේ ම තවත් කාන්තාවක් එම කොල්ල කල්ලියේ සිටියා. නමින් මේරී රීඩ් වුණු ඇය ද පිරිමියකු සේ හැඳ පැළඳගෙන සිටියා. මේරි සහ ඈන් යන දෙදෙනා ම කාන්තාවන් බව දැනගෙන සිටියේ කොල්ල කල්ලියේ නායක රැකම් පමණ යි. 

අසම්මත ප්‍රේමයක් නිසා හෙළිවුණු රහස 

පිරිමියකු සේ හැඳ පැළඳගෙන සිටි මේරි රීඩ් කාන්තාවක් බව හඳුනා ගැනීමට කිසිදු ලකුණක් තිබුණේ නැහැ. මේරිගේ අපූරු හැසිරීම් රටාවට තදින් ම ඇලුම් කළ ඈන් ඇය සමඟ නිතර ම කාලය ගත කිරීමට උත්සාහ කළා. ඒ මේරි සැබවින් ම පිරිමියකු යැයි ඈන් කළ අනුමානය නිසා යි. එම ඇසුර සැලකිය යුතු තරම් කාලයක් පවතිද්දී ඈන් සිය මිතුරා වුණු මේරිට ආදරය කරන්නට පටන් ගත්තා.

එක්තරා දිනයක ඈන් සිය ආදරය මේරි හමුවේ පවසා සිටියා. එහි දී ඈන් මේරි හමුවේ වැඩිදුරටත් පවසා සිටියේ ඇය උපතින් කාන්තාවක් බව යි. ඇය එසේ පවසා සිටියේ පිරිමියකු සේ ජීවත් වුණු මේරිගේ ආදරය ලබාගැනීමේ අරමුණෙන්. එය ඇසූ මේරි පුදුමයට පත් වී ඇයත් උපතින් කාන්තාවක් බව හෙළිදරවු කළා. එම අසම්මත ආදරය නිසා කොල්ල කල්ලි නායක රැකම් සඟවාගෙන සිටි රහසත් අනාවරණය වුණා. නමුත් එම රහස ඈන් සහ මේරිගෙන් පිටතට ගියේ නැහැ. 

ඈන් බොනී සහ මේරි රීඩ් – gettyimages.com

කොල්ලකරුවන් සමඟ එක්ව සිදු කළ බිහිසුණු සටන් 

උපතින් කාන්තාවක් වුණු ඈන් පිරිමියකු සේ ක්‍රියාශීලී ව වැඩ කළා. රැකම්ගේ කල්ලිය එකතු වී සිදු කළ කොල්ලකෑම්වල දී ඈන් තම සගයන් සමඟ එකතු වී කරට කර සටන් කළා. එදා ඔවුන් කළ සටන්වල දී ඈන් නොබිය ව සතුරන් මැදට පැන සටන් කළ ආකාරය දැක රැකම් පවා මවිතයට පත් වුණා. ඈන් කොල්ල කල්ලියට එක්වී මාස කිහිපයක් ගත වෙද්දී ඔවුන්ට කොල්ලකෑම් කිහිපයක් සාර්ථක ව අවසන් කිරීමට හැකි වුණා.

එමඟින් රැකම් ඇතුළු පිරිසට සැලකිය යුතු තරම් ධනයක් උපයා ගැනීමට අවස්ථාව ලැබුණා. එනිසා රැකම්ගේ කල්ලිය නිතර ම මත්පැන් සාද පවත්වමින් හොඳින් විනෝද වුණා. එම සාදවල දී හොඳින් මධුවිත තොල ගෑ ඈන් පරුෂ වචන කියමින් නියම පිරිමියකු සේ හැසිරුණා. එනිසා ඇය ගැන කිසිවකුටත් සැකයක් හිතුණේ නැහැ. ඒ අතරතුර කොල්ල කල්ලියේ නායක රැකම් සහ ඈන් ඔවුන්ගේ සබඳතාව  හොර රහසේ ම පවත්වාගෙන ගියා.

ඈන් බොනී – gettyimages.com

ඈන්ට දරුවකු ලැබීම නිසා ඇති වුණු ආරවුල් 

රැකම් සහ ඈන් අතර තිබුණු සම්බන්ධය දුර දිග යාම හේතුවෙන් ඈන් ගැබිනියක් බවට පත් වුණා. ඈන්ගේ දරු ගැබ මෝරද්දී ඇය පිරිමියකු නොව කාන්තාවක බව එහි සිටි පිරිසට අවබෝධ වුණා. එම රහස අනාවරණය වීමෙන් පසුව කොල්ලකරුවන් සිය නායකයා සමඟ තිබුණු සබඳතා නවතා දැමුවා. ඒ ඔහු කළ විශාල වංචාව නිසා යි.

රැකම් සිය පෙම්වතිය වුණු ඈන්ට දැඩි සේ ආදරය කළ නිසා සිය මිතුරන් අතහැර ඇය සමඟ කියුබාවට ගියා. ඒ දරුවා බිහිකිරීමට සුදුසු පරිසරයක පදිංචියට යාමේ අරමුණෙන්. එදා රැකම් සහ ඈන් සමඟින් මේරි රීඩ් ද කියුබාවට ගියා. 

දරුවා ලැබීමෙන් පසුව නැවතත් සුපුරුදු ජීවිතයට

1720 වසරේ මුල් භාගයේ දී ඈන්ට පිරිමි දරුවෙක් ලැබුණා. එම දරුවා රැක බලා ගැනීමේ වගකීම තමන් දන්නා හඳුනන පවුලක් වෙත පැවරීමට රැකම් තීරණය කළා. ඒ නැවතත් සුපුරුදු රැකියාවට අවතීර්ණ වීමේ අරමුණෙන්. ඉන් පසුව නව කාර්යය මණ්ඩලයක් මිල දී ගත් රැකම් පෙරටත් වඩා හොඳින් මුහුදු කොල්ලකෑම්වල නිරත වුණා. එම කාල සමය වන විට රැකම්ගේ නීත්‍යානුකූල බිරිය බවට පත්ව සිටි ඈන් කොල්ල කල්ලියේ රැජින බවට ද පත්ව සිටියා. 

ඒ එම කොල්ල කල්ලිය තුළ රැකම්ගේ අණට පසුව ක්‍රියාත්මක වුණේ ඈන්ගේ අණ නිසා යි. එදා රැකම්ගේ කොල්ල කල්ලිය කැරිබියන් දූපත් ආශ්‍රිත ව කළ විශාල කොල්ලකෑම් නිසා ඔවුන් අල්ලා ගැනීම සඳහා ජැමයිකාවේ ආණ්ඩුකාරයාට අවශ්‍ය වුණා. එනිසා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කොල්ලකරුවන්ගේ ලැයිස්තුවක් ඔවුන් ප්‍රකාශයට පත් කළා. එම ලැයිස්තුවට ඈන්ගේ නම ද ඇතුළත් වුණා. 

ඈන්, රැකම් සහ මේරි – gettyimages.com

 

අනපේක්ෂිත අයුරින් අත්අඩංගුවට 

එකල ජැමයිකාවේ ආණ්ඩුකාරවරයා ලෙසින් කටයුතු කළ නිකලස් ලෝස් 1720 ඔක්තෝබර් මාසය වන විට රැකම් ඇතුළු පිරිස අල්ලා ගැනීමේ මෙහෙයුම සැලසුම් කරමින් සිටියා. කොල්ලකරුවන් යන එන ස්ථාන පිළිබඳ විමසිල්ලෙන් සිටි ආණ්ඩුකාරවරයාගේ සෙබළුන් අවස්ථාවක් ලද විගස පහරදීමට සූදානමින් සිටියා. රැකම්ගේ මුහුදු කොල්ල කල්ලිය අල්ලා ගැනීමේ මෙහෙයුමට ජොනතන් බාර්නට් නායකත්වය ලබා දුන්නා.

1720 ඔක්තෝබර් මාසයේ එක්තරා දිනයක රැකම් ඇතුළු පිරිස සිටින ස්ථානය පිළිබඳ තොරතුරු බාර්නට්ට දැනගන්නට ලැබුණා. ඒ ඔහු සතු ව සිටි විශ්වාසවන්ත ඔත්තුකරුවකුගේ මාර්ගයෙන්. ඔත්තුව ලැබුණු විගස ම ක්‍රියාත්මක වුණු බාර්නට් කොල්ලකරුවන් සියලු දෙනා ම අල්ලා ගත්තා. කොල්ලකරුවන්  අධික ලෙස මත්පැන් පානය කර  සිටි නිසා අපහසුවකින් තොර ව ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.

අවසන් සටන – gettyimages.com

නඩු විභාගය සහ දඬුවම්

 රැකම් ඇතුළු පිරිසට එරෙහි ව දීර්ඝ නඩු විභාගයක් පැවැත්වුණා. එහි දී ඔවුන්ට එරෙහි ව සාක්ෂ්‍ය ලබාදීම සඳහා විශාල නාවිකයන් පිරිසක් ඉදිරිපත් වුණා. එම නාවිකයන් ලබා දුන් ප්‍රබල සාක්ෂ්‍ය හමුවේ රැකම් ඇතුළු පිරිසට කිසිදු ගැලවීමක් තිබුණේ නැහැ. අවසානයේ දී ඔවුන් සියලු චෝදනාවලට වැරදිකරුවන් වුණා.

ඒ වන විට ඈන් බොනී සහ මේරි රීඩ් ගැබිණියන් බවට පත්ව සිටියා. එනිසා ඔවුන් දෙදෙනාට පමණක් අත්හිටැවූ මරණ දඬුවම ලබා දී බන්ධනාගාර ගත කළා. ඉතිරි කොල්ලකරුවන් සියලුදෙනා ම එල්ලා මැරීමට නියම වුණා. 

අවිනිශ්චිත අවසානය 

ඈන් සමඟ සිරදඬුවම් විඳි මේරි සිය දරුවා බිහි කිරීමෙන් පසුව වැලඳුණු උණ රෝගයකින් මිය ගියා. 1721 අප්‍රේල් 28 වැනි දින ඇය භූමදානය කළ බව ජැමයිකාවේ පල්ලියක ලෙජරයක සටහන් වී තිබෙනවා.  ඈන්ට අත්වුණු අවසන් ඉරණම පිළිබඳ කිසිම තැනක පැහැදිලි සඳහනක් නැහැ. ඇතැම් උදවිය පවසන්නේ ඈන් සිර මැදිරිය තුළ දී මිය ගිය බව යි. තවත් සමහර උදවිය පවසන්නේ ඈන්ගේ ධනවත් පියා ජැමෙයිකා ආණ්ඩුකාරයාට විශාල කප්පමක් ගෙවා සිය දියණිය නිදහස් කර ගත් බව යි. ඇය සිරෙන් පැන ගොස් නැවතත් මුහුදු කොල්ලකෑම්වල නිරත වුණු බවට ද මතයක් පවතිනවා. ඒ අනුව ඈන් බොනීගේ අවසන් ඉරණම අදටත් අභිරහසක්. 

කවරයේ ඡායාරූපය- ඈන් බොනී - pirateshipvallarta.com

මූලාශ්‍ර:

smithsonianmag.com

thoughtco.com

thewayofthepirates.com

crimemuseum.org 

Related Articles