Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩේවිඩ් පාකර් රේ: සෙල්ලම් බඩු පෙට්ටියේ ඝාතකයා

ඩේවිඩ් පාකර් රේ හැඳින්වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මෑතක දී පහළ වූ දරුණුත ම දාම ඝාතකයකු ලෙසයි. පිටතට ශබ්ද ගමන් නොකරන ලෙස තනා තිබූ ඔහුගේ සෙල්ලම් බඩු ට්‍රේලරය තුළදී මරු වසඟයට ගිය ගණන අවම වශයෙන් 50 ක්වත් වන බව අමෙරිකානු පොලිසියේ මතය යි. මේ ඔහුගේ කතාවයි.

අසාමාන්‍ය සිදුවීමක්

1999 වසරේ මාර්තු මස 19 වන දින විසි දෙහැවිරිදි සින්තියා විජිල් නමැති කාන්තාව නිව් මෙක්සිකෝ හි, ඇල්බකර්ක් නුවර වාහන අංගනයක ලිංගික ශ්‍රමික වෘත්තියේ නියැළෙමින් සිටියා. එවිට එක්වර ම එහි පැමිණි මිනිසෙක්, තමන් සිවිල් ඇඳුමෙන් සිටින පොලිස් නිලධරයකු බවට පවසමින් ඇය අත් අඩංගුවට ගත්තා. ඇගේ දෑතට විලංගු ලූ ඔහු, සිය කාරයේ පිටුපසට ඇය නංවාගෙන රැගෙන ගියා. ඔහු ඇය රැගෙන ගියේ පොලිස් ස්ථානයට නොවන අතර, සම්පූර්ණයෙන් ශබ්ද  පරිවරණය (Sound-Proof) කළ එක්තරා කන්ටේනර් කුටියකට යි. මොහු පොලිස් නිලධරයෙක් නොවන බැව් ඒ වන විට විජිල්ට ඒත්තු ගොස් තිබුණත් ඒ වන විට ඇයට ඔහුගෙන් නිදහස් වීමේ හැකියාවක් තිබුණේ නැහැ.

ඩේවිඩ් පාකර් රේ නම් වූ මේ තැනැත්තා විජිල් රැගෙන ගොස් එම කුටියෙහි වූ, වෛද්‍යවරුන් පාවිච්චි කරන ඇඳකට තබා බැඳ තිබුණා. මෙය ඔහු ‘සෙල්ලම් පෙට්ටිය’ යනුවෙන් හැඳින්වූ එම කුටියෙහි මධ්‍යයට වන්නට වූ තබා තිබූ අතර, ඉන් අනතුරුව ඇයට ලිංගික අඩන්තේට්ටම් කිරීමට පාකර් පටන්ගත්තා. ඒ ශාරීරික පීඩා කිරීම් ද සමඟ යි. මීට ඔහුගේ පෙම්වතිය වන සින්ඩි හෙන්ඩිගේ සහාය ද ඔහුට ලැබුණා.

 සින්තියා විජිල් පසුකාලීනව- Jim Thompson/Journal

 

ඩේවිඩ් සහ සින්ඩි, විජිල්ට අඩන්තේට්ටම් කිරීම සඳහා කස, වෛද්‍ය උපකරණ, විදුලි සැර ශරීරගත කරන උපකරණ සහ ලිංගික උපකරණ වැනි දේ භාවිත කළා. ඩේවිඩ් අඩන්තේට්ටම් කිරීමට පෙර කැසට් පටයක් ධාවනය ඇරඹූ අතර  විජිල් ඉවසා දරාගත යුතු වධ හිංසා පිළිබඳ එයින් පැවසුණා. එහිදී තමන් ‘මාස්ටර්’ හෙවත් උතුමාණන් ලෙස හැඳින්විය යුතු බවට නියෝගයක් ඩේවිඩ් පටිගත කොට තිබූ අතර සින්ඩි ‘මිස්ට්‍රස්’ හෙවත් උත්තමාවිය ලෙස හැඳින්විය යුතු බවට ද එයින් කියවුණා. ඔහු හෝ ඇය කතා කරන තුරු විජිල්ට කතා කිරීම තහනම් බවට ද එයින් පැවසුණා. අඩන්තේට්ටම් කිහිපයක් කිරීමෙන් අනතුරු ව ඩේවිඩ් විජිල්ට පවසා තිබුණේ මෙලෙස වධ හිංසාවට ලක් වූ අන් අය මෙන් ම ඇය ද  ඝාතනය කරන බව යි.

මරණය පෙනි පෙනී සිටි විජිල්ට, දින තුනකට පසු ඩේවිඩ් හා සින්ඩිගෙන් මිදී යාමට අවස්ථාවක් ලැබුණා. ඒ ඩේවිඩ් විජිල්ට දමා තිබූ විලංගුවල යතුරු ඇය අසල අත්වැරදීමකින් දමා යාම නිසා යි. මෙය දුටු විජිල් අපහසුවෙන් ඒවා තමන් වෙතට ඇද ගෙන, විලංගු ගලවා ගෙන, සින්ඩිට පහර දී එතැනින් පැන ගත්තා. නිරුවතින් ම කන්ටේනරයෙන් ඉවතට දිව ගිය ඇය ආසන්න නිවසකි උදව් ඉල්ලුවා. එම ගෙහිමියා වහාම පොලිසිය අමතා ඔවුන් එහි ගෙන්වනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩේවිඩ් හා සින්ඩි පොලිස් භාරයට ගැනෙනවා.

ඩේවිඩ් පාකර් රේ ගේ මුල් කාලය

ඩේවිඩ් පාකර් රේ උප්පත්තිය ලැබුවේ  නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ බෙලෙම් හී දී 1939 වසරේ දී යි. ඔහුගේ පියා ඉතා සැරපරුෂ අයෙක් බැව් සඳහන්. කුඩා කාලයේ නිතර ම ඩේවිඩ් සිය මිතුරන්ගේ උසුළු විසුළුවලට ලක්වූයේ යුවතියන් ඉදිරියේ ඔහු පෙන්වූ අතිශය ලැජ්ජාශීලී බව නිසා යි. මේ හේතුවෙන් ඉච්ඡා භංගත්වයට පත් වූ ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවා මෙන්ම, කාන්තාවන්ට හිංසා කිරීමට ද පෙලැඹුණා.

පසුකාලීනව අමෙරිකානු යුද හමුදාවට අනුයුක්ත ව කටයුතු කළ ඔහු, ඉන් ගෞරවාන්විත ලෙස විශ්‍රාම ගියා.  මේ කාලය තුළ ඔහු සිවු වරක් විවාහ වී, අනතුරුව ඒවායින් ද වෙන් වී තිබෙනවා. ඉතා සාමාන්‍ය මිනිසකු ලෙස පෙනී ගිය ද, හොර රහසේ ඔහු 1950 දශයකයේ පටන් කාන්තාවන්ට අඩන්තේට්ටම් කොට ඔවුන් ඝාතනය කිරීම  සිදු කොට ඇති බවට සැක කෙරෙනවා. කෙසේ නමුත් ඒවා ලොවට හෙළි වූයේ විජිල් ගේ සිද්ධියත් සමඟ යි.

 ඩේවිඩ් පාකර් රේ- ranker.com 

 

‘සෙල්ලම් බඩු පෙට්ටිය’ ඇතුළත

ඩේවිඩ් පොලිස් භාරයට ගැනීමෙන් අනතුරු ව ඔහුගේ නිවස සහ කන්ටේනරය පරීක්ෂා කිරීමට පොලිසිය වරෙන්තු ලබා ගත්තා. කන්ටේනරය තුළ වූ දේ දුටු ඔවුනට ගැස්මක් ඇති වුණා.

ඩේවිඩ්ගේ කන්ටේනරය මැදට වන්නට වූ, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් පාවිච්චි කරන පන්නයේ මේසයට අමතරව ඊට ඉහළින් සවි කළ කැඩපතක් ද එහි වුණා. එමගින් ඩේවිඩ්ට ගොදුරු වන්නන්ට තමන් වධ හිංසාවට ලක් වන ආකාරය හොඳින් දැකගත හැකි වුණා. කන්ටේනරයේ පොළොවෙහි කස, දම්වැල්, සම් පටි, යකඩ කම්බි, පොලු, බ්ලේඩ් තල සහ කියත් වැනි දේ තිබුණා. මීට අමතර ව එහි තැනින් තැන ලිංගික ආශ්වාදය ඇතිකරන සෙල්ලම් බඩු ද විසිරී තිබුණා.

විවිධාකාරයේ වධ හිංසා සහ ඇතිවන වේදනා

හිංසාවට ලක් වන්නන් මුණින් අතට තබා, ශරීරයේ මැද පෙදෙසින් ඔසවා තැබිය හැකි ලෙස සකසන ලද ලී කුට්ටියකුත් එහි වුණා. එහි බිත්තිවල විවිධ සටහන් සහිත කොළ කැබලි අලවා තිබූ අතර එහි අන්තර්ගත වූයේ විවිධාකාරයේ වධ හිංසා ක්‍රම සහ ඒවායින් ඇතිවන වේදනා පිළිබඳ විස්තර යි.1996 වසරේ ඩේවිඩ් හා ඔහුගේ පෙම්වතිය විසින් කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද එහි වුණා.

ඩේවිඩ් පාකර් රේ සිද්ධිය ඇමෙරිකාව පුරා ප්‍රසිද්ධ වීමත් සමග, ඔහුගෙන් මිදී පලා ගිය තවත් කාන්තාවක් ඉදිරියට පැමිණියා. ඇන්ජෙලිකා මොන්ටැනෝ නම් ඇය ඩේවිඩ් ගේ නිවස වෙත ගොස් තිබුණේ කේක් මිශ්‍රණයක් ඉල්ලා ගැනීමට යි. ඔහු ඇයට විවිධ වධහිංසා මෙන්ම ලිංගික අඩන්තේට්ටම් ද පමුණුවා අවසන කාන්තාරයක අතැර ගොස් තිබුණා. ඇය පොලිසිය වෙත ගොස් තිබුණත්, කුමක් හෝ කාරණාවක් නිසා එම සිද්ධිය ඉදිරියට විභාග වී තිබුණේ නැහැ. 

 ඩේවිඩ් ගේ ‘සෙල්ලම් බඩු පෙට්ටි’ කන්ටේනරය- www.thecrimemag.com 

 

මතකය අඩුවන ඖෂධ

ඩේවිඩ් සිය ගොදුරුවලට මතකය අඩුවන ඖෂධ ලබා දී තිබුණු බවත් ඒත් සමඟ හෙළි වුණා. මේ නිසා පොලිසියේ අනුමානය වූයේ මෙලෙස ඔහුගෙන් මිදී පලා ගිය තවත් කිහිප දෙනකු වුව ද සිටින්නට හැකි බව යි.

පොලිසිය ඩේවිඩ්ගේ පෙම්වතිය වන සින්ඩි හෙන්ඩි වෙත දිගින් දිගට ම බලපෑම් එල්ල කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇය ඉක්මනින් ම සත්‍යය පවසන්නට වුණා. එහිදී හෙළි වූ පරිදි ඩේවිඩ්ගේ මිතුරකු වන ඩෙනිස් රෝයි යැන්සි මෙන් ම දියණිය වන ග්ලෙන්ඩා ජෙසී රේ ද මෙම රුදුරු ක්‍රියාවලට ඔහුට සහාය දක්වා තිබෙනවා. මේ අනුව යැන්සි පොලිස් අත් අඩංගුවට ගැණුනු අතර, එහිදී පාපොච්ඡාරණය කළ ඔහු තමන් මාරි පාකර් නම් කාන්තාවක් ඝාතනය කිරීමට ඩේවිඩ්ට සහය වුණු බැව් පිළි ගත්තා. ඩේවිඩ්ගේ දියණියත් ඔහුට ඒ සඳහා සහාය වුණු බැව් ඔහු පැවසූ අතර, විවිධ වධ හිංසා රාශියකට භාජනය කිරීමෙන් අනතුරුව ඇය  ගෙල සිර කර ඝාතනය කර තිබුණා. ඒ 1997 වසරේදී යි.

කෙලී ගැරට් පැහැර ගැනීම

1996 වසරේ දී පටිගත කර තිබූ වීඩියෝවේ සිටි කාන්තාව සොයා ගැනීම පොලිසියට අභියෝගයක් වුණා. කෙසේ නමුත් යම් පරිශ්‍රමයකින් පසු ඇය ගැන විස්තර සොයා ගන්නට ඔවුනට හැකි වුණා. ඇය ඩේවිඩ් ගේ දියණිය වන ජෙසීගේ මිතුරියක වන කෙලී ගැරට් නමැති තැනැත්තිය බැව් ඇගේ නැන්දණිය හඳුනා ගත්තා.

1996 වසරේ ජූලි මස 26 වනදා කෙලී සිය සැමියා සමඟ ආරෝවක් ඇති කර ගෙන, නිවසෙන් පිට වී ජෙසී සමඟ පිහිනුම් තටාකයකට වී කාලය ගත කොට තිබෙනවා. එහිදී ජෙසී හා ඩේවිඩ් ඇයට මත් වන බෙහෙත් පොවා ඇය සිය ‘සෙල්ලම් බඩු පෙට්ටිය’ වෙත ගෙනවුත් තිබෙනවා. දින දෙකක් වධ හිංසා පැමිණවීමෙන් අනතුරුව ඩේවිඩ් විසින් ඇගේ ගෙල කපා,මහ මඟ දමා ගොස් තිබෙනවා. ආශ්චර්යයකට මෙන් ගැරට් ඒ වන විට මිය ගොස් නොතිබූ අතර, අපහසුවෙන් නැවත නිවස වෙත ගොස් තිබෙනවා. ඇගේ සැමියා හෝ නැන්දණිය ඇගේ කතාව විශ්වාස කොට නැහැ. මේ නිසා ඇගේ සැමියා ඇය දික්කසාද කොට තිබෙනවා. වධ හිංසා පැමිණවීමෙදී ඇයට ලබා දී තිබූ ඖෂධ නිසා ඒ පිළිබඳ ඇයට තිබී ඇත්තේ සීමිත මතකයක්. 

 ඩේවිඩ් ගේ ‘සෙල්ලම් බඩු පෙට්ටිය’ ඇතුළත – www.thecrimemag.com 

කෙසේ නමුත් ඩේවිඩ් ඇයට ලිංගික අඩන්තේට්ටම් කරනු ඇයට මත තිබී තිබෙනවා. පසුකාලීන ව මේ ආකාරයට ම ඩේවිඩ් පිළිබඳ සිද්ධීන් ‘අඩමාන ලෙස’ මතක කාන්තාවන් කිහිප දෙනෙකු ම හමු වූ අතර, ඔවුන්ගේ සාක්ෂිවල නොගැළපීම් වැඩි නිසා ම ජූරියකට ඒවා පිළිගැනීම අසීරු වුණා. කෙසේ නමුත් විජිල් හා මොන්ටැනෝගේ සාක්ෂි අනුව ඔහු වරදකරු වූ අතර, අවසානයේ වසර 224 ක් සිපිරි ගෙට නියම වුණා. ජෙසී රේ නව වසරකට සිපිරි ගෙට යැවුණු අතර, සින්ඩි හෙන්ඩි වසර 36 කට සිරගත කෙරුණා. ඩේවිඩ් පාකර රේ සිර දඳුවම් විඳිමින් සිටියදී ම 2002 වසරේ මැයි මස 28 වන දින මිය ගියා. ඒ හෘදයාබාධයක් වැලඳීමෙනු යි.

ඩේවිඩ් පාකර් රේ සිදු කර ඇති සියලු ඝාතන 

ඩේවිඩ් පාකර් රේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කිරීමේදී බලධාරීන්ට තවත් ඝාතන කීපයක ම සාක්ෂි ලැබුණා. මෙම සමහර ඝාතන පිළිබඳ ඔහු සටහන් පොත්වල සටහන් කර තිබුණා. ඒ අනුව ඔහු කන්තාවන් 50 ක් වත් අවම වශයෙන් ඝාතනය කරන්නට ඇති බවට මත පල වුණා. කෙසේ නමුත් මේ බහුතරය ඔප්පු කරන්නට තරම් සාක්ෂි හමුවූයේ නැහැ. යැන්සි හා සින්ඩි ඩේවිඩ් මළ සිරුරු දමා යන්නට ඇතැයි සැක කෙරෙන ස්ථාන කිහිපයක් ම පොලිසියට පෙන්වූව ද ඒ කිසිවකින් මිනිස් අවශේෂ හමුවූයේ නැහැ. ඔහුගේ කන්ටේනරයේ තිබී විවිධ කාන්තා ආයිත්තම් රාශියක් හමු වීම නිසා නිසැකව ම ඔහු අතින් කාන්තාවන් රාශියක් ඝාතනය වන්නට ඇති බවට තවත් සපථ වුණා. මේ පිළිබඳ ව අදටත් පර්යේෂණ කෙරෙනවා.

කවරයේ ඡායාරූපය - 'සෙල්ලම් බඩු පෙට්ටියේ ඝාතකයා' හෙවත් ඩේවිඩ් පාකර් රේ - aminoapps.com 

මූලාශ්‍ර :

Allthatsinteresting.com

Fbi.gov

Criminalminds.fandom.com

Related Articles