Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව ඉන්දීය භූමියේ දී ටෙස්ට් පිටියේ දැක් වූ දස්කම්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (මාර්තු 4 වැනිදා) ඉන්දියාවේ මොහාලි හී දි ආරම්භ වීමට නියමිත යි. ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් ම ඉන්දීය භූමියේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයකට එක් වූයේ 1982 වර්ෂයේදී යි. පළමු තරගය ක්‍රීඩා කොට වසර 40 කට ආසන්න කලක් ගත වී තිබුණත් තවමත් ඉන්දීය භූමියේදී ඉන්දියාවට එරෙහි ව ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී නෑ.

ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයක දී ම ඉන්දියාවට එරෙහි ව විශිෂ්ට මට්ටමේ දක්ෂතා දැක්වීමට සමත් වුණා. ඒ තරග කිහිපයක් ම ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින්. එයින් අවස්ථා කිහිපයක දී තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි වුණා. මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව ඒ ආකාරයෙන් දස්කම් දක්වමින් ක්‍රීඩා කළ ටෙස්ට් තරග ද්විත්වයක් පිළිබඳ ව විස්තර වනවා.

පළමු තරගයෙන් ම ඉන්දියාවට අමතක නොවන අත්දැකීමක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හා පුරා කියා ටෙස්ට් ක්‍රිකට් තරගයක් 1982 වර්ෂයේ දී ක්‍රීඩා කළා. එවර සමස්ත තරගාවලියට ම අයත් වූයේ එක් තරගයක් පමණ යි. චෙන්නායි හී දි, 1982 වසරේ සැප්තැම්බර් මස 17 වන දින ශ්‍රී ලංකාව මෙම තරගයට එක් වුණා. එය ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා ගත් වර්ෂයේදී ම වීමත් විශේෂත්වයක්. මෙම තරගයට එක් වද්දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ ජයග්‍රහණයක් ලබාගෙන තිබුණේත් නෑ.

තරඟය පුරාවටම පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ කපිල් දේව්
තරඟය පුරාවටම පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ කපිල් දේව් – www.cricketcounty.com

තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුණා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපළ ම මුළු ලකුණු සංඛ්‍යාව 11ක් වන විට දැවී ගියා. කණ්ඩායම් නායක වූ බන්දුල වර්ණපුර ද එම කඩුලු ද්විත්වයට අයත් වුණා. බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීම සඳහා මැනවින් අඩිතාලම සකස් කළ රෝයි ඩයස් සහ දුලිප් මෙන්ඩිස් තෙවන කඩුල්ල සඳහා අගනා ලකුණු 153 ක සබඳතාවක් ගොඩ නැඟුවා. විනාඩි 140ක් පිටියේ රැඳී සිටි රෝයි ඩයස් ලකුණු 60ක් රැස් කළා.

රන්ජන් මඩුගල්ලේ ලකුණු 46ක් සහ පසුපෙළ ශක්තිමත් කරමින් සෝමචන්ද්‍ර ද සිල්වා සහ රවී රත්නායක පිළිවෙළින් ලකුණු 49ක් සහ 23ක් රැස් කළා. සමස්ත ශ්‍රී ලංකා පළමු ඉනිමේ වගකීම කරට ගත් දුලිප් මෙන්ඩිස් පන්දු 123ක් තුළ හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් සමඟින් සුපිරි ලකුණු 105 ක් ලබා ගත්තා. මේ දක්ෂතා නිසා පන්දුවාර 92.3 ක් තුළ  ශ්‍රී ලංකා පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 346ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී දිලිප් දෝශි ලකුණු 85 කට කඩුලු 5ක් බිඳ හෙළුවා.

අත්දැකීම් අඩු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දියාව අත්දැකීම් අඩු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහි ව මැනවින් ක්‍රීඩා කළා. ආරම්භක කඩුල්ල සඳහා අරුන් ලාල් සහ සුනිල් ගවස්කාර් ලකුණු 156ක් රැස් කළා. එහිදී අරුන් ලාල් ලකුණු 63ක් ලබා ගත්තා. ඉනිම පුරාවට ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහි ව ඉන්දීය පිතිකරුවන් කිහිප දෙනකු ම සාර්ථක වුණා.

සුනිල් ගවස්කාර් පන්දු 293 ක දී හතරේ පහර 24ක් සහ එක් හයේ පහරක් ද සමඟින් ලකුණු 155ක් රැස් කළා. දිලිප් වෙන්ග්සර්කාර් ලකුණු 90 කට දැවී ගියා. ඉනිමේ අවසන් භාගයේ දී තවත් වටිනා ඉනිමක් ක්‍රීඩා කළ සන්දීප් පටිල් නොදැවී ලකුණු 114ක් රැස් කළේ චෙන්නායි හි යෝධ ලකුණු පුවරුවේ ඉන්දීය ඉනිම ඉදිරියෙන් කඩුලු 6 කට ලකුණු 566ක් සටහන් කරමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමතක නොවන දස්කම් දැක්වූ දුලිප් මෙන්ඩිස්
ශ්‍රී ලංකාව වෙනුවෙන් අමතක නොවන දස්කම් දැක්වූ දුලිප් මෙන්ඩිස්
Image – www.icc.com

රෝයි සහ දුලිප් නැවතත් සටනේ!

 ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 220ක් ඉදිරියෙන් සිටිමින් ඉන්දියාව ඉනිම අත්හිටවූවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී සෝමචන්ද්‍ර ද සිල්වා සහ අසන්ත ද මෙල් කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. නැවත වතාවක් දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපළ මුළු ලකුණු සංඛ්‍යාව 47ක් වන විට දැවී ගියා. දෙවන ඉනිමේදී ද තම වගකීම ඉටු කළ රෝයි දුලිප් සුසංයෝගය තෙවන කඩුල්ල සඳහා ලකුණු 110ක සුපිරි සබඳතාවක් ගොඩනැඟුවා.

ඉන්දීය පන්දු යවන්නගෙන් එල්ල වුණ පීඩනය තුට්ටුවකට මායිම් නොකළ රෝයි ඩයස් පන්දු 117ක් තුළ අගනා ලකුණු 97ක් රැස් කළා. ඔහු ශතකය පෙනි පෙනී අවාසනාවන්ත ලෙසින් දැවී යද්දී නැවතත් තම වගකීම මනාව කරට ගත් දුලිප් මෙන්ඩිස් ලකුණු 105ක් රැස් කළේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිම දෙකේදී ම ශතක රැස් කළ පළමු පිතිකරු යන වාර්තාව තම නම ඉදිරියෙන් සටහන් කරගනිමින්. අනුර රණසිංහ රැස්කළ ලකුණු 77ත්, සෝමචන්ද්‍ර ද සිල්වා නොදැවී රැස් කළ ලකුණු 46ත් නිසා ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 394ක් දක්වා ගමන් කළා. පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් කපිල් දේව් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඉන්දියාවට ජයග්‍රහණය සඳහා 5 වන දිනයේ අග භාගයේ දී ලකුණු 175ක ඉලක්කයක් හිමි වුණා. ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දියාව ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත්තා. අසන්ත ද මෙල් හමුවේ ඉන්දියාවට ඉලක්කය පහසු වුණේ නෑ. ඉන්දීය මුල් කඩුලු දෙක ලකුණු 16ක් තුළ බිඳ වැටුණත් කපිල් දේව් සහ සන්දීප් පටිල් වේගවත් සබඳතාවක් පවත්වමින් ඉන්දියාව ජයග්‍රහණය වෙතට රැගෙන ඒමට උත්සාහ කළා. කපිල් දේව් ලකුණු 30ක් ලබා ගත්තා. ලකුණු 41ක් ලබාගෙන සිටි සන්දීප් පටිල් දුවද්දී දැවී යද්දී ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 91ක් ලෙසින් සටහන් වුණා.

ඉන්දීය දෙවන ඉනිම විනාශ කරමින් පන්දු යැවූ අසන්ත ද මෙල්
 අසන්ත ද මෙල්- www.gettyimages.com

අනතුරුව ක්‍රියාත්මක වූ අසන්ත ද මෙල් ඉන්දීය ඉනිම විනාශ කර දමිමින් පිළිවෙළින් ගුන්දප්පා විශ්වනාත්, මදන් ලාල් සහ සයිඩ් කිර්මානි ලකුණු 2, 9, සහ 5ක් තුළ දවා ගත්තා. කිර්මානි දැවී යද්දී ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 130ක් රැස්කරගෙන සිටි අතරම ඔවුන් ජයග්‍රහණයට තවත් ලකුණු 45ක් මෙපිටින් රැඳී සිටියා. ජයග්‍රහණය සඳහා බෙහෙවින් සමීප වී සිටියේ ශ්‍රී ලංකාව කිවහොත් එය වඩාත් නිවැරදි යි.

 යශ්පාල් ශර්මා සමඟින් ඉනිමේ අග භාගයේ පැමිණි සුනිල් ගවස්කාර් තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වුණා. තරගය අවසන් වෙද්දී ඉන්දියාව කඩුලු 7ක් බිඳ වැටී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 135ක්. මෙම තරගය තවත් පැයක් පමණ පැවැත්වීමට තිබුණා නම් එය ශ්‍රී ලංකාව තම ටෙස්ට් ඉතිහාසයේ ලබා ගන්නා පළමු ජයග්‍රහණය වීමට ඉඩ තිබූ බවට අදටත් බොහෝ විචාරකයන් මත පළ කරන කාරණයක්. කෙසේ වෙතත් අවසානයේ සටන්කාමී ලෙසින් ක්‍රීඩා කරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

තරග සාරාංශය

ශ්‍රී ලංකාව පළමු ඉනිම 346-10
දුලිප් මෙන්ඩිස් 105, රෝයි ඩයස් 60, සෝමචන්ද්‍ර ද සිල්වා 49
දිලිප් දෝශි 85/5, කපිල් දේව් 97/3

ඉන්දියාව පළමු ඉනිම 566-6d
සුනිල් ගවස්කාර් 155, සන්දීප් පටිල් 114*, දිලිප් වෙන්ගසාර් 90
අසන්තද මෙල් 133/2, සෝමචන්ද්‍ර ද සිල්වා 162/2

ශ්‍රී ලංකාව දෙවන ඉනිම 394-10
දුලිප් මෙන්ඩිස් 105, රෝයි ඩයස් 97, අර්ජුණ රණතුංග 77, සෝමචන්ද්‍ර ද සිල්වා 46*
කපිල් දේව් 110/5, දිලිප් දෝශි 147/3

ඉන්දියාව දෙවන ඉනිම 135-7 (ඉලක්කය 175)
සන්දීප් පටිල් 46, යශ්පාල් ශර්මා 31*, කපිල් දේව් 30
අසන්ත ද මෙල් 68/5, සෝමචන්ද්‍ර ද සිල්වා 28/1

තරගයේ වීරයා – දුලිප් මෙන්ඩිස්

මහේලගේ අහමදාබාද් හි අමතක නොවන ඉනිම 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය අහමදාබාද් හීදි 2009 වර්ෂයේ නොවැම්බර් මස 16 වැනිදා ආරම්භ වුණා. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායක එම් එස් දෝනි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. චානක වෙලගෙදර සහ ධම්මික ප්‍රසාද් ගේ පන්දු යැවීම හමුවේ අසරණ වී ගිය ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් 4ක් ලකුණු 32ක් තුළ තරගය නරඹන්නන් බවට පත් වුණා. මේ මොහොතේදී රාහුල් ඩ්‍රාවිඩ්ට එක් වූ යුව්රාජ් සිං පස්වන කඩුල්ලට වටිනා ලකුණු 125ක් එක් කළා. යුව්රාජ් ලකුණු 68කට දැවී ගියා.

ඉන්දීය ඉනිම ගොඩනගමින් ක්‍රීඩා කළ රාහුල් ඩ්‍රාවිඩ් සහ යුවරාජ් සිං ක්‍රීඩා කරමින්
ඉන්දීය ඉනිම ගොඩනගමින් ක්‍රීඩා කළ රාහුල් ඩ්‍රාවිඩ් සහ යුව්රාජ් සිං – www.espncricinfo.com

ඉන් අනතුරු ව පිටියට පිවිසි නායක මහේන්ද්‍ර සිං දෝනි තමන්ගේ නායකත්වයේ වගකීම කරට ගනිමින් පන්දු 159ක් තුළ හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක්ද සමගින් විශිෂ්ට ලකුණු 110 ක ඉනිමක් ක්‍රීඩා කළා. ඉන්දීය මුල් ඉනිමේ නැංගුරම බවට පත් වූ රාහුල් ඩ්‍රාවිඩ් පන්දු 261ක් තුළ හතරේ පහර 27ක් සහ එක් හයේ පහරක්ද සමඟින් ලකුණු 177ක් රැස් කිරීමට සමත් වුණා. මෙම ඉනිම් නිසා ඉන්දීය ඉනිම අවසන් වන විට ලකුණු පුවරුව සටහන් වූයේ සියල්ලන් දැවී ලකුණු 426ක් ලෙසින්.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පමිණි ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා ගත් ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් පන්දු 133ක් තුළ ලකුණු 112ක් රැස් කළා. මීට අමතර ව ඉනිමේ මැද පෙළ සවිමත් කළ තිලාන් සමරවීර ලකුණු 70ක් ද, කඩුලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කරමින් පන්දු 314ක් තුළ හතරේ පහර 11ක් ද සමගින් අලංකාර නොදැවුණු ලකුණු 154ක් ද රැස් කළා.

මහේලගේ සහ ප්‍රසන්නගේ වාර්තාගත සම්බන්ධතාවයේ අවස්ථාවක්
මහේලගේ සහ ප්‍රසන්නගේ වාර්තාගත සම්බන්ධතාවයේ අවස්ථාවක් – www.espncricinfo.com

මහේල අහමදාබාද් වර්ණවත් කරයි

ශ්‍රී ලංකා පළමු ඉනිමේ නියමුවා වූ මහේල ජයවර්ධන අහමදාබාද් හි සර්ධාර් පටෙල් ක්‍රීඩාංගණය පුරා පහර එල්ල කරමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා. ඔහු පන්දු 435කට මුහුණ දී හතරේ පහරවල් 27ක් සහ එක් හයේ පහරක් සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 275ක්. මීට අමතර ව මහේල ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන දෙපළ ශ්‍රී ලංකා පළමු ඉනිමේ 6 වන කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 351ක සබඳතාවක් ගොඩනැඟුවා. ශ්‍රී ලංකා මුල් ඉනිම කඩුලු 7කට අත්හිටුවන විට ලකුණු 760ක් ලෙසින් සටහන් වුණා.

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 334ක් පසුපසින් සිට්මින් තම දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දියාව තවදුරටත් මෙම පිතිකරණ පාරාදීසය වර්ණවත් කළා. ඉන්දීය දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරු ගෞතම් ගම්බීර් ලකුණු 112ක් හා සචින් තෙන්දුල්කාර් නොදැවී ලකුණු 100ක් රැස් කළා. මේ හේතුවෙන් තරඟය අවසන් වෙද්දී ඉන්දියාව දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 412ක් රැස් කරගෙන සිටියා.

මහේලගේ අගනා පිතිහරඹ සමඟින් තරගය ජය පරාජයෙන් තොර ව අවසන් වූ අතර ම තරගය පුරාවට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කඩුලු 21 කට ලකුණු 1598ක් රැස් කර තිබුණා. මෙම තරගයේ එක් කඩුල්ලක්ට සඳහා ලකුණු 76ක සාමාන්‍යයක් සටහන් වී තිබීමද විශේෂත්වයක්.

තරග සාරාංශය

ඉන්දියාව පළමු ඉනිම 426-10
රාහුල් ඩ්‍රාවිඩ් 177, එම් එස් දෝනි 110, යුවරාජ් සිං 68
චානක වෙලගෙදර 87/4, මුත්තයියා මුරලිදරන් 97/3

ශ්‍රී ලංකාව පළමු ඉනිම 760-7d
මහේල ජයවර්ධන 275, ප්‍රසන්න ජයවර්ධන 154*, තිලකරත්න ඩිල්ශාන් 112
සහීර් කාන් 109/2, ඉශාන්ත් ශර්මා 135/2

ඉන්දියාව දෙවන ඉනිම 412-4
ගෞතම් ගම්බිර් 114, සච්න් තෙන්ඩුල්කාර් 100*, VVS ලක්ෂ්මන් 51*
රංගන හේරත් 97/2, ඇන්ජලෝ මැතිව්ස් 28/1

තරගයේ වීරයා – මහේල ජයවර්ධන

කවරයේ ඡායාරූපය - මහේල ජයවර්ධන අහමදාබාද් හීදි තම ද්විත්ව ශතකය රැස් කළ අවස්ථාව  - www.espncricinfo.com

මූලාශ්‍ර:

www.espncricinfo.com

Related Articles