Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රීඩක දිවියක් අහිමි කළ ලෝක කුසලාන වැරදි ගෝලය

ලෝක ක්‍රීඩා ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේ දී ඇතැම් අවස්ථාවල දී විවිධ හේතු නිසා ක්‍රීඩකයන් ඝාතනය කළ අවස්ථා දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එවැනි අවාසනාවන්ත අවස්ථා ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලම් ලෙසින් සටහන් වී තිබෙනවා කිවහොත් නිවැරදියි.

අමෙරිකාවේ දී  1994 වර්ෂයේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ඇන්ඩ්‍රෙස් එස්කොබාර් නම් කොලොම්බියා පාපන්දු ක්‍රීඩකයා සිදු කළ අත් වැරැද්දක් ඔහුට ජීවිතය පවා අහිමි කළා. මෙම ලිපිය ඔහු සම්බන්ධයෙනු යි.

ඇන්ඩ්‍රෙස් එස්කොබාර්

කොලොම්බියාවේ දී 1967 වර්ෂයේ මාර්තු මස 13 වනදා උපත ලබන ඔහු මුලින් ම වෘත්තීයමය වශයෙන් පාපන්දු ක්‍රීඩකයකු ලෙසින් 1986 වසරේ දී මුල් ම පාපන්දු තරගය ක්‍රීඩා කළා. ඒ කොලොම්බියාවේ තවත් එක් ජනප්‍රිය පාපන්දු කණ්ඩායමක් වූ ඇට්ලෙටිකෝ නසියොනාල් පාපන්දු ක්‍රීඩා සමාජත් සමඟ යි. මෙම ක්‍රීඩා සමාජය ඇන්ඩ්‍රෙස් ක්‍රීඩා කරන සමයේ දී අයිතිකර ගෙන සිටියේ කූප්‍රකට කොලොම්බියා මත්ද්‍රව්‍ය ජාවරම්කරු පැබ්ලෝ එස්කොබාර් බව නොරහසක්.

එස්කොබාර් තම ක්‍රීඩා දිවිය ඇරඹූ සමයේදී
එස්කොබාර් තම ක්‍රීඩා දිවිය ඇරඹූ සමයේ දී – www.medellintimes.com

ඇන්ඩ්‍රෙස් පසු පෙළ ආරක්ෂක ක්‍රීඩකයකු ලෙසින් කටයුතු කළා. ඔහු කොලොම්බියාව තුළ තරුවක් වීමට වැඩි කලක් ගත වුණේ නෑ. එයට ප්‍රධාන හේතුව වූයේ ඇන්ඩ්‍රෙස් ගේ ක්‍රීඩා රටාව යි. මේ නිසා ම කොලොම්බියා ජාතික පාපන්දු කණ්ඩායමේ දොරටුව ද ඔහු වෙනුවෙන් ඉක්මනින් ම විවෘත වන බවට පෙනෙන්නට තිබුණා. 1988 වර්ෂයේ දී ඇන්ඩ්‍රෙස් 21 හැවිරිදි වියේ පසුවෙද්දී කැනඩාවට එරෙහි ව තමන්ගේ මුල්ම පාපන්දු තරගය කොලොම්බියාව වෙනුවෙන් ක්‍රීඩා කළා. එතැන් පටන් ඇන්ඩ්‍රෙස් පාපන්දු ක්‍රීඩාවෙන් දිගු ගමනක් යාමට හැකි ක්‍රීඩකයකු බවට ඉඟි පළ කරමින් සිටියා.

මත්ද්‍රව්‍ය සහ පාපන්දු

වාසනාවකට හෝ අවාසනාවකට කොලොම්බියා පාපන්දුව සමඟින් මේ කාලයේ දී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් ගහට පොත්ත මෙන් බැඳී සිටියා. තම කළු සල්ලි සුදු කිරීමේ අරමුණින් ඔවුන් පාපන්දු ක්‍රීඩාවට ඩොලර් මිලියන ගණනින් මුදල් පොම්ප කළා. මේ හේතුව නිසා ක්‍රීඩකයන්ට ලැබෙන ගෙවීම් ඉහළ ගිය නිසා කවදාටත් වඩා කොලොම්බියා පාපන්දු ක්‍රීඩකයන් තරගකාරී වීමට පටන් ගත්තා.

 එය තවත් අයුරකින් මහා විනාශයකට මග පෑදුවා. මුදල් වියදම් කිරීම, මහා පරිමාණයෙන් ඔට්ටු දැමීම වැනි දෑ විනෝදයට හෝ නිශ්පල ලෙසින් සිදු කිරීමට මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අකමැති වීම යි. මේ නිසා ම ඔවුන්ට හොඳින් හෝ නරකින් ජයග්‍රහණය අවශ්‍ය වුණා. මෙය ක්‍රීඩකයන් ගේ ජීවිත පවා අවදානමට ලක් කළ බවට සඳහන්.

ඇට්ලෙටිකෝ නසියනෝල් පාපන්දු කණ්ඩායම
ඇට්ලෙටිකෝ නසියනෝල් පාපන්දු කණ්ඩායම – www.besoccer.com

ඉහත සඳහන් කළ පරිදි ඇන්ඩ්‍රෙස්, පැබ්ලෝ එස්කොබාර් ගේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරමින් 1989 වර්ෂයේ දී කොපා ලිබරේටඩෝස් හෙවත් දකුණු අමෙරිකානු පාපන්දු ක්‍රීඩා සමාජයකට දිනා ගත හැකි ඉහළ ම ජයග්‍රහණය ලබා ගැනීමට ද සමත් වුණා. ඇට්ලෙටිකෝ නසියොනාල් ක්‍රීඩා සමාජය මෙම ශූරතාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද එය බවට පත් වුණා. මේ කාලයේ දී කොලොම්බියා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතිශය බහුතරය ඇට්ලෙටිකෝ නසියොනාල් වෙනුවෙන් ක්‍රීඩා කළා.

පිබිදෙන කොලොම්බියා පාපන්දුව

1962 වසරෙන් අනතුරු ව කොලොම්බියා පාපන්දු කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලානයක් නියෝජනය කිරීමට වරම් ලබා ගත්තේ 1990 වර්ෂයේදී යි. මේ කාලය කොලොම්බියා පාපන්දුව උද්‍යෝගමත් කාලයක් පසු කරමින් සිටියා. මේ ආකාරයෙන් 1994 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වට ආරම්භ වූ අතර ම ඇන්ඩ්‍රෙස් එස්කොබාර් ද කොලොම්බියා කණ්ඩායමට ඇතුළත් වුණා. 

1994 වර්ෂයේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වට ඉහළින් ම අවසන් කිරීමට කොලොම්බියාවට හැකියාව ලැබුණා. ඔවුන් දකුණු අමෙරිකා දැවැන්තයන් වන ආර්ජන්ටිනාව පවා තම කාණ්ඩයේ දෙවන තැනට ඇද දමමින් 1994 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තා. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ හොඳ ම කොලොම්බියා කණ්ඩායම 1994 ලෝක කුසලානය වෙනුවෙන් එක් වන බවට කොලොම්බියා ජාතිකයන් උදම් ඇනුවා.

1994 ලෝක කුසලානය නියෝජනය කළ කොලොම්බියා පාපන්දු කණ්ඩායම (අංක 2 ජර්සියෙන් සැරසී සිටින්නේ ඇන්ඩ්‍රෙස් එස්කොබාර් ය)
1994 ලෝක කුසලානය නියෝජනය කළ කොලොම්බියා පාපන්දු කණ්ඩායම (අංක 2 ජර්සියෙන් සැරසී සිටින්නේ ඇන්ඩ්‍රෙස් එස්කොබාර් ය)
  – www.bleacherreport.com

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ පැවති මෙම තරගාවලිය සඳහා කොලොම්බියාව එක් වූ අතර ම ඔවුන් A කාණ්ඩය යටතේ කාණ්ඩ ගත වුණා. කොලොම්බියාවේ මුල් වටයේ ප්‍රතිවාදීන් බවට පත් ව සිටියේ රුමේනියාව, ස්විට්සර්ලන්තය සහ සත්කාරක අමෙරිකා එක්සත් ජනපදය යි. ප්‍රබල කොලොම්බියානුවන් කාණ්ඩ වටයෙන් ඉදිරියට අතිශය පහසුවෙන් ම ගමන් කරනු ඇති බවට තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම ඉඟි පළ වුණා.

එස්කොබාර් ගේ අත් වැරැද්ද

කොලොම්බියාව තම මුල් ම තරගයට රුමේනියාව සමඟින් එක් වුණා. සිදුවූයේ කිසිවකුත් විශ්වාස නොකළ අනපේක්ෂිත දෙයක්. 90, 000 කට වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ ප්‍රබල කොලොම්බියාව ගෝල 3-1 ක් ලෙසින් තරගය රුමේනියාවට පරාජයට පත් වුණා. එනිසා ලෝක කුසලානය ආරම්භය ම ඔවුන්ට සුබදායක වුණේ නෑ. මේ නිසා මීළඟට පැවැත්වෙන අමෙරිකා එක්සත් ජනපද තරගය ජයග්‍රහණය කිරීම කොලොම්බියාවට අත්යාවශ්‍ය කරුණක් බවට පත් වුණා. තරගය ජයග්‍රහණය කිරීමට නොහැකි නම් අඩුම වශයෙන් ජය පරාජයෙන් තොර ව හෝ නිමා කර ගැනීම කළ යුතු ම දෙයක් බවට පත් වී තිබුණා කිවහොත් නිවැරැදි යි.

93, 000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ ආරම්භ වූ තරගයේ 35 වන විනාඩියේ දී ඇන්ඩ්‍රෙස් එස්කොබාර් අනපේක්ෂිත අත් වැරැද්දක් සිදු කළා. ඒ ආරක්ෂක ක්‍රීඩකයකු ලෙසින් කටයුතු කරද්දී ඔහු අතින් ම තම කණ්ඩායමේ දැල තුළට පන්දුව යොමු වීම යි. මේත් සමඟ ම එය Own Goal අවස්ථාවක් ලෙසින් සටහන් වූ අතර එස්කොබාර් ගේ අත්වැරැද්ද අමෙරිකාව ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියට ගෙන ගියා. 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටි අමෙරිකාව වෙනුවෙන් 52 වන විනාඩියේ දී එර්නස්ට් ස්ටුවර්ට් දෙවන ගෝලය ද වාර්තා කළේ තත්ත්වය තවත් දරුණු කරමින්.

එස්කොබාර් තම අත්වැරැද්ද සිදුවීමෙන් අනතුරුව පිටියේ රැඳී සිටි ආකාරය
එස්කොබාර් අත්වැරැද්ද සිදුවීමෙන් අනතුරු ව පිටියේ රැඳී සිටි ආකාරය- www.worldfootballindex.com

කොලොම්බියාව වෙනුවෙන් තරගයේ අවසාන මොහොතේ දී ඇඩොල්ෆෝ වැලෙන්සියා ගෝලයක් රැස් කළත් තරගය ගෝල 2-1 ක් ලෙසින් අමෙරිකාව ජයග්‍රහණය කළා. එස්කොබාර් රැස් කළ Own ගෝලය නොවන්නට තරගය ගෝල 1-1 ලෙසින් සම වී නිමා වීමට ඉඩ තිබුණා. කෙසේ හෝ තම කාණ්ඩ වටයේ අවසන් තරඟය ගෝල 2-0 ක් ලෙසින් ස්විට්සර්ලන්තයට එරෙහි ව කොලොම්බියාව ජයග්‍රහණය කළා. මේ ජයග්‍රහණය අවසන් 16 දෙනාගේ වටයට කොලොම්බියාව රැගෙන යාමට ප්‍රමාණවත් වුණේ නෑ. යම් හෙයකින් පෙර පැවති අමෙරිකා තරගය ජය ගැනීම හෝ ජය පරාජයෙන් තොර ව අවසන් වීම හෝ සිදු වූයේ නම් කොලොම්බියාව මීළඟ වටයට රැගෙන යාමට අවස්ථාව සලසන්නට තිබුණාය යන අදහස නිසා සියලු ම වරද ඇන්ඩ්‍රෙස් එස්කොබාර් පිට පැටවුණා.

ගෝල්! ගෝල්!! ගෝල්!!!

මේ කාලය වන විටත් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් මෙන් ම අධික වශයෙන් ඔට්ටු තබන්නන්ගේ අඩුවක් දක්නට ලැබුණේ නෑ. එස්කොබාර් නිසා තමන්ට සිදු වූ පාඩු සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කෝපයෙන් පසුවුණා. තරගාවලිය පරාජයෙන් පසු ව කොලොම්බියා ජාතික කණ්ඩායම තම මවු රටට පැමිණියා. 1994 ජූලි 1 වනදා එනම් කොලොම්බියාව ලෝක කුසලානයෙන් ඉවත් වී ගතවන 5 වන දිනයේ දී ඇන්ඩ්‍රෙස් එස්කොබාර් මෙඩලීන් හී පිහිටි මත්පැන් හලකට ගමන් කරමින් සිටියා. ඒ තම මිතුරන් ද සමඟින්.

සමාජ ශාලාවේ කාලය ගත කිරීමෙන් අනතුරුව පාන්දර 3 ට පමණ එස්කොබාර් වාහන නැවැත්වීමේ අංගනය අසල තම මෝටර් රථය වෙතට ගමන් කරමින් සිටියා. මේ අවස්ථාවේ දී පැමිණි දෙදෙනෙක් ඇන්ඩ්‍රෙස් එස්කොබාර් වෙතට වෙඩි වරුසාවක් එල්ල කළා. කැලිබර් .38 පිස්තෝලයකින් වෙඩි තැබූ ඔවුන් තබන සෑම වෙඩිල්ලක් අවසානයේදීම ගෝල්! ගෝල්!! ලෙසින් කෑ ගැසූ බවට සඳහන් වනවා. එස්කොබාර්ට වෙඩි 6ක් තැබීමෙන් අනතුරුව ඔවුන් පලා ගියා. කොලොම්බියා පාපන්දු ක්‍රීඩක ඇන්ඩ්‍රෙස් එස්කොබාර් ගේ අවසානය පාපන්දු ඉතිහාසයේ සංවේදී අවසානයක් ලෙසින් එලෙස නිමාවට පත් වුණා.

ඇන්ඩ්‍රෙස් එස්කොබාර් වෙනුවෙන් ශෝක වන කොලොම්බියා ප්‍රේක්ෂකයෝ
ඇන්ඩ්‍රෙස් එස්කොබාර් වෙනුවෙන් ශෝක වන කොලොම්බියා ප්‍රේක්ෂකයෝ – www.mediotiempo.com 

ඊට පසුදා ම රාත්‍රියේ එස්කොබාර් ගේ ඝාතනයට සැකපිට කැස්ත්‍රෝ මූනෝස් නම් අයෙක් අත්අඩංගුවට ගැනුණා. ඔහු මත්ද්‍රව්‍ය ජාවරම් කල්ලියක ශරීර ආරක්ෂකයෙක් (Bodyguard) ලෙසින් කටයුතු කළ පුද්ගලයෙක්. නඩු විභාගයකින් අනතුරු ව 1995 වසරේ ජූනි මාසයේ දී ඇන්ඩ්‍රෙස් එස්කොබාර් ඝාතනයට කැස්ත්‍රෝ මූනෝස් වැරදිකරු බවට තීන්දු වූ අතර ම කැස්ත්‍රෝට වසර 46 ක සිරදඬුවම් නියම වුණා. අභියාචනයකින් අනතුරුව ඒ දඬුවම වසර 26 කට කෙටි කළා.

මෙම ඝාතනය කොලොම්බියා පාපන්දු ප්‍රේක්ෂකයන් මෙන් ම මුළු මහත් පාපන්දු ලෝකය ම සංවේගයට පත් කිරීමට සමත් වුණා. ඔහුගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් කොලොම්බියාවේ සතර දිගින් මහා ජන ගංගාවක් ඇදී ආවා. එස්කොබාර් ගේ අවසන් කටයුතු වෙනුවෙන් 120, 000 ක පමණ ජනතාවක් සහභාගී වූ බව සඳහන්. කොලොම්බියාව වෙනුවෙන් තරග 51ක් ක්‍රීඩා කළ මෙම ක්‍රීඩකයා සිදු කළ එක් අත් වැරැද්දක් නිසා ඔහුට ලැබුණ මේ දඬුවම කෙතරම් අසාධාරණද යන්න අදටත් පාපන්දු ලොව කතාබහට ලක්වන කාරණයක්.

කවරයේ ඡායාරූපය - කොලොම්බියාව වෙනුවෙන් ක්‍රීඩා කරනා ඇන්ඩ්‍රෙස් එස්කොබාර් - www.sportscasting.com

මූලාශ්‍ර :

www.tranfermarkt.com

www.footbomb.com

www.fifa.com,

www.thesun.co.uk

www.historyofyesturday.com

Related Articles