Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

IPL ඉතිහාසයේ වාර්තා වුණු විශාලත ම ජයග්‍රහණ 5ක්

වර්තමානය වන විට ලෝකයේ විවිධ රටවල් ආශ්‍රිත ව 20/20 ලීග් ක්‍රිකට් තරගාවලි ක්‍රියාත්මක වෙනවා. ඒවා අතුරින් IPL තරගාවලිය වඩාත් ජනප්‍රිය යි. 2008 දී ආරම්භ වුණු එම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 15 වන වරට යි. IPL තරගාවලි ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී කිසිදා අමතක නොවන තරග රැසක් අපගේ මතකයට නැගෙනවා.

ඒ අතුරින් ඇතැම් තරගවල දී සමහර කණ්ඩායම් විශාල ලකුණු පරතරයකින් තරග ජයග්‍රහණය කර තිබෙනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ IPL තරග ඉතිහාසය තුළ වාර්තා වුණු දැවැන්ත ම ජයග්‍රහණ 5ක් පිළිබඳව යි. 

5). රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ලද ලකුණු 130ක ජයක් 

2013 IPL තරගාවලියේ 31 වන තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ පූනේ වොරියර්ස් යන කණ්ඩායම් අතර බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ කාසියේ වාසිය පරාජය වී පන්දුවට මුලින් ම පහර දුන් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගේල් සහ තිලකරත්න දිල්ෂාන් ඉනිම ආරම්භ කළා, එදා පූනේ පන්දු යවන්නන්ට එරෙහි ව අනුකම්පා විරහිත ප්‍රහාරයක් සිදු කළ ගේල් පන්දු 66කදී හයේ පහර 17ක් සහ හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 175ක් වාර්තා කළා. 

ගේල් ශතකය වාර්තා කළ මොහොත – espncricinfo.com

 

එය IPL තරගාවලි ඉතිහාසයේ දී යම් පිතිකරුවෙක් ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා. ඔහු එල්ල කළ හයේ පහර 17 IPL ඉනිමක දී යම් පිතිකරුවෙක් එල්ල කළ වැඩි ම හයේ පහර ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී තිබෙනවා.

ගේල් නොදැවී ලබාගත් ලකුණු 175 නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ දී බැංගලෝර් ඉනිම ලකුණු 263/5ක් ලෙසින් නිම වුණා. එය IPL තරග ඉතිහාසය තුළ යම් කණ්ඩායමක් ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් තවමත් වාර්තා අතර රැඳී පවතිනවා.

බැංගලෝර් ඉනිම නිමා වුණු මොහොත  – indiatoday.com

 

ජයග්‍රහණය සඳහා ලකුණු 264ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පූනේ කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 42ක් ඇතුළත දැවී ගියා. පූනේ කණ්ඩායමට තරගයට යළි අවතීර්ණ වීමට හැකි වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී පූනේ ඉනිම 133/9ක් ලෙස සටහන් වුණා. බැංගලෝර් කණ්ඩායමට ලකුණු 130ක දැවැන්ත ජයක් ඉන් හිමි වුණා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

බැංගලෝර්- 263/5 (20), (ගේල්- 175*, දිල්ෂාන්- 33, විලියර්ස්- 31, ඩින්ඩා- 48/2, රයිට්- 26/1)

පූනේ- 133/9 (20), (ස්මිත්- 41, ගේල්- 5/2, රාම්පෝල්- 21/2, උනඩ්කට්- 38/2)

බැංගලෝර් කණ්ඩායමට ලකුණු 130ක ජයක් 

තරගයේ වීරයා- ක්‍රිස් ගේල් 

4). රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ලකුණු 138ක ජයක් 

ක්‍රිස් ගේල් 2010-2017 කාලය තුළ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළා. එම කාලය ඇතුළත ඔහු ශතක 5ක් ලබා ගත්තා. ඒ අතුරින් අවසන් ශතකය ක්‍රිස් ගේල් ලබා ගත්තේ 2015 IPL තරගාවලිය යටතේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහි ව පැවති තරගයක දී යි.

බැංගලෝර් නුවර චින්නස්වාමි පිටියේ පැවති එම තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 226ක් ලබා ගත්තා. එහි දී බැංගලෝර් ඉනිම වර්ණවත් කළ ගේල් පන්දු 57ක දී හයේ පහර 12ක් සහ හතරේ පහර 7ක් සමඟින් වේගවත් ලකුණු 117ක් වාර්තා කළා.

ගේල්ගේ ඉනිමේ අවස්ථාවක් – rediff.com

 

ජයග්‍රහණය සඳහා ලකුණු 227ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කණ්ඩායමේ මුල් කඩුලු 8 ම ලකුණු 49ක් තුළ බිඳ වැටුණා. ඒ මිචෙල් ස්ටාක් සහ ශ්‍රීසාන්ත් අරවින්ද් වේගපන්දු යුගළයේ දක්ෂ පන්දු යැවීම නිසා යි.

එලෙස බිඳ වැටුණු පන්ජාබ් ඉනිම පන්දුවාර 13.4ක් තුළ ලකුණු 88කට සීමා වුණා. එහි දී මිචෙල් ස්ටාක් සහ ශ්‍රීසාන්ත් අරවින්ද්, කඩුලු 4 බැගින් බිඳ දැමුවා. අවසානයේ බැංගලෝර් කණ්ඩායමට ලකුණු 138ක දැවැන්ත ජයක් උරුම වුණා.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ස්ටාක් – cricket.com.au

කෙටි ලකුණු පුවරුව 

බැංගලෝර්- 263/5 (20), (ගේල්- 117, විලියර්ස්- 47*, කෝලි- 32, සංදීප්- 41/2)

පන්ජාබ්- 88/10(13.4), (අක්සාර්- 40*, ස්ටාක්- 15/4, අරවින්ද්- 27/4, හර්ෂාල්- 13/1)

බැංගලෝර් කණ්ඩායමට ලකුණු 138ක ජයක් 

තරගයේ වීරයා- ක්‍රිස් ගේල් 

3). කොල්කටා නයිට් රයිඩර්ස් ලද ලකුණු 140ක ජය

2008 මංගල IPL තරගාවලියේ මුල් ම තරගය සඳහා සහභාගි වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් යුගළය යි. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 222ක් ලබා ගත්තා.

එහි දී අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වුණු බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 73ක දී හයේ පහර 13ක් සහ හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 158ක් වාර්තා කළා. එය IPL තරගාවලි ඉතිහාසයේ මංගල ශතකය බවට පත්වුණා.

මැකලම් ශතකය ලබාගත් මොහොත – circleofcricket.com

 

ලකුණු 223ක ඉලක්කයක් හඹා ගිය බැංගලෝර් කණ්ඩායම කොල්කටා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අන්ත අසරණ තත්ත්වයකට පත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ මුල් කඩුලු 7 ලකුණු 43ක් තුළ දැවී ගියා.

ඉන් අනතුරුව බැංගලෝර් ඉනිම යළි ගොඩනැඟීමට කිසිදු පිතිකරුවකුට හැකි වුණේ නැහැ. ඔවුන්ට පන්දු වාර 15.1ක් අවසානයේ සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 82ක් පමණ යි. කොල්කටා කණ්ඩායමට ලකුණු 140ක පහසු ජයක් එම තරගයෙන් හිමි වුණා.

කොල්කටා ක්‍රීඩකයන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – Twitter.com

කෙටි ලකුණු පුවරුව 

කොල්කටා- 263/5 (20), (මැකලම්- 158*,  පොන්ටිං- 20, සහීර්- 38/1, නොෆ්කි- 40/1)

බැංගලෝර්- 82/10(15.1), (ප්‍රවීන්- 18*, අගාකර්- 25/3, ඩින්ඩා- 9/2, ගංගුලී- 21/2)

කොල්කටා කණ්ඩායමට ලකුණු 140ක ජයක් 

තරගයේ වීරයා- බ්‍රෙන්ඩන් මැකලම් 

2). රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ලද ලකුණු 144ක ජය

2016 IPL තරගාවලියේ 44 වන තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ ගුජරාට් ලයන්ස් යන කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගයේ දී බෙන්ජමින් ද විලියර්ස් සහ විරාට් කෝලි 2 වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැඟූ ලකුණු 229ක සබඳතාව නිසා බැංගලෝර් ඉනිම 248/3ක් ලෙසින් නිමාව දුටුවා. එම සබඳතාව IPL තරගාවලි ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු ඉහළ ම සබඳතාව ලෙසින්වාර්තා අතර  අදටත් රැඳී තිබෙනවා.

එදා විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු විලියර්ස් පන්දු 52කදී හයේ පහර 12ක් සහ හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 129ක් ලබා ගත්තා. ඔහුට අගනා සහායක් ලබා දුන් කෝලි පන්දු 55කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 109ක් වාර්තා කළා. 

විලියර්ස් සහ කෝලි පන්දුවට පහර දෙන අතරතුර – rediff.com

 

ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගුජරාට් පිතිකරුවන් ඉනිම ආරම්භයේ සිට ඉතාමත් අසීරුවෙන් පන්දුවට පහර දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ මුල් කඩුලු 5 ලකුණු 47ක් තුළ බිඳ වැටුණා.

 ආරොන් ෆින්ච් ලකුණු 37ක් ලබා ගනිමින් සටන්කාමී පිතිහරඹයක නිරත වුණත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට හැකි වුණේ නැහැ. අවසානයේ දී පන්දුවාර 18.4ක් තුළ ගුජරාට් ඉනිම ලකුණු 104කට සීමා වීමත් සමඟින් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 144ක ජයක් හිමි වුණා.   

පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රිස් ජෝර්ඩන් – espncricinfo.com

කෙටි ලකුණු පුවරුව 

බැංගලෝර්- 248/3 (20), (විලියර්ස්- 129*, කෝලි- 109, ප්‍රවීන්- 45/2, කුල්කර්ණි- 33/1)

ගුජරාට්- 104/10(18.4), (ෆින්ච්- 37, ජෝර්ඩන්- 11/4, චහාල්- 19/3, සචින්- 4/2)

බැංගලෝර් කණ්ඩායමට ලකුණු 144ක ජයක් 

තරගයේ වීරයා- බෙන්ජමින් ද විලියර්ස් 

1). මුම්බායි ඉන්දියන්ස් ලද ලකුණු 146ක ජය 

2017 IPL තරගාවලියේ 45 වන තරගය මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම් අතර කටක් හි බරබාටි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ කාසියේ වාසිය පරාජය වී පන්දුවට මුලින් ම පහරදුන් මුම්බායි  කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තා.

එදා මුම්බායි ඉනිම වර්ණවත් කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වුණු  ලෙන්ඩල් සිමන්ස් සහ කිරන් පොලාර්ඩ් පිළිවෙළින් ලකුණු 66ක් සහ නොදැවී ලකුණු 63ක් වාර්තා කළා. 

සිමන්ස් සහ පොලාර්ඩ් පන්දුවට පහරදෙමින් – crichighlightsvidz.com

 

ලකුණු 213ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දිල්ලි පිතිකරුවන් මුම්බායි පන්දු බළ ඇණියේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසීරු අඩියකට වැටුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 13.4ක් ඇතුළත දිල්ලි ඉනිම ලකුණු 66කට සීමා වුණා.

මුම්බායි කණ්ඩායමට ලකුණු 146ක දැවැන්ත ජයක් ඒ අනුව උරුම වුණා. එය IPL තරගාවලි ඉතිහාසයේ යම් කිසි කණ්ඩායමක් වැඩි ම ලකුණු පරතරයකින් ලබා ගත් ජයග්‍රහණය ලෙසින් තවමත් වාර්තා අතර රැඳී තිබෙනවා. 

ලසිත් මාලිංග කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – freepressjournal.in

කෙටි ලකුණු පුවරුව 

මුම්බායි ඉන්දියන්ස් – 212/3 (20), (සිමන්ස්- 66, පොලාර්ඩ්- 63, හාර්ඩික්- 29*, ඇන්ඩර්සන්- 29/1, රබාඩා- 33/1)

දිල්ලි ඩෙයාඩෙවිල්ස් – 66/10(13.4), (කරුන්- 21, කර්න්- 11/3, හර්බජාන්- 22/3, මාලිංග- 5/2, බූම්රා- 6/1)

මුම්බායි කණ්ඩායමට ලකුණු 146ක ජයක් 

තරගයේ වීරයා- ලෙන්ඩල් සිමන්ස් 

කවරයේ ඡායාරූපය- ගේල් සහ කෝලි බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කරමින් (gettyimages.com)

මූලාශ්‍ර:

iplt20.com

espncricinfo.com

howstat.com  

Related Articles