Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාවක් බිඳ දැමූ දුනිත් වෙල්ලාලගේ

2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයේ සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය ඊයේ (27) දිනයේ දී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර යි. එම තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 36කට කඩුලු 3ක් බිඳ දැමුවා. 

එම කඩුලු තුන ලබා ගැනීමත් සමඟින් ඔහු යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ තනි තරගාවලියක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙසින් වාර්තා අතරට එක් වුණා. ඒ අයුරින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ මොහොතක යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම කඩුලු ප්‍රමාණයක් බිඳ දැමූ පන්දු යවන්නන් පිළිබඳ කතා කරන්නට අප කල්පනා කළා. 

8) රනිල් ධම්මික- කඩුලු 13 (තරග-8)

2000 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණා. එම තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාව දිනා ගත්තා. ඒ සඳහා පන්දුවෙන් විශාල දායකත්වයක් ලබාදුන් රනිල් ධම්මික තරග 8කට සහභාගි වෙමින් කඩුලු 13ක් බිඳ දැමුවා. ඔහු එයින් කඩුලු 10ක් සුපිරි 8 වටයේ දී දවා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම් ද්විත්වය පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

1) එංගලන්තයට එරෙහිව- 13/4 (9.2)

2) ඉන්දියාවට එරෙහිව- 43/4 (10) 

ප්‍රබල එංගලන්ත සහ ඉන්දීය කණ්ඩායම් හමුවේ කඩුලු 8ක් දවා ගත් ධම්මික ඉතිරි තරග හයේ දී දවා ගත්තේ කඩුලු 5ක් පමණ යි. එහි දී ඔහුට තවත් කඩුලු 3ක් දවා ගැනීමට හැකියාව ලැබුණා නම් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත්වීමට අවස්ථාව තිබුණු බව සිහිපත් කළ යුතු යි. තරගාවලිය තුළ ධම්මිකගේ පන්දු යැවීමේ දත්ත පහතින් දක්වා තිබෙනවා.

තරග- 8, පන්දුවාර- 68.3, නිලකුණු පන්දුවාර- 13, ලකුණු- 192, කඩුලු- 13, සාමාන්‍ය- 14.76

රනිල් ධම්මික ඉන්දියාවට එරෙහිව දස්කම් දක්වමින් – Sportstar

 

7) දිල්ෂාන් මධුසංක- කඩුලු 13 (තරග-6)

2020 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණා. එම තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පළඟ අනුශූරතාව (Plate championship) දිනා ගත්තා. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දිල්ෂාන් මදුසංක තරග 6ක දී කඩුලු 13ක් බිඳ දැමීමට සමත් වුණා. තරගාවලිය තුළ ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ පළඟ අර්ධ අවසන් පූර්ව තරගයේ දී නයිජීරියාව හමුවේ ලකුණු 36කට දවා ගත් කඩුලු 5යි. තරගාවලිය තුළ මදුසංකගේ පන්දු යැවීමේ දත්ත පහතින් දැක්වෙනවා. 

තරග- 6, පන්දුවාර- 45.2, නිලකුණු පන්දුවාර- 1, ලකුණු- 240, කඩුලු- 13, සාමාන්‍ය- 18.46

දිල්ෂාන් මදුසංක පන්දු යවමින් – gettyimages.com

 

6) චතුර පීරිස්- කඩුලු 13 (තරග-6)

2010 වසරේ නවසීලන්තයේ පැවති යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වුණා. එදා දක්ෂ ලෙස තරග වැදුණු එම කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා. නමුත් අවසන් පූර්ව තරගයේ දී ඔවුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ කඩුලු 2ක තියුණු පරාජයක් උරුම කර ගත්තා. එදා ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථකත්වය කරා යාමට පන්දුවෙන් ඉහළ දායකත්වයක් ලබා දුන් නායක චතුර පීරිස් තරගාවලිය තුළ කඩුලු 13ක් බිඳ දැමුවා. පහතින් දක්වා තිබෙන්නේ ඔහු දස්කම් දැක්වූ තරග පිළිබඳව යි.

1) කැනඩාවට එරෙහිව- 25/5 (8.3)

2) සිම්බාබ්වේට එරෙහිව- 14/3 (7)

3) කොදෙව්වන්ට එරෙහිව- 38/3 (9.3)

තරගාවලිය පුරාවට අඛණ්ඩව දස්කම් අතර සිටි චතුර තරගාවලියේ දෙවැනියට වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා බවට පත්වුණා. එහි දී ඔහුගේ පන්දු යැවීමේ දත්ත මෙසේ සටහන් වුණා. 

තරග- 6, පන්දුවාර- 47, නිලකුණු පන්දුවාර- 10, ලකුණු- 173, කඩුලු- 13, සාමාන්‍ය- 13.30

චතුර පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

5) ෆර්වීස් මහරුෆ්- කඩුලු 14 (තරග- 6)

2004 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බංගලිදේශයේ දී පැවැත්වුණා. එම තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට කැපී පෙනෙන දස්කම් දැක්වීමට හැකි වුණේ නැහැ.එවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ෆර්වීස් මහරුෆ් කඩුලු 14ක් දවා ගනිමින් කාගේත් අවධානය දිනා ගත්තා. එහි දී ඔහු තරග 2කදී කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුණා. පහතින් දක්වා තිබෙන්නේ එම තරගවල දී ඔහුගේ පන්දු යැවීම සටහන් වුණු ආකාරය යි. 

1) සිම්බාබ්වේට එරෙහිව- 28/4 (9.3)

2) දකුණු අප්‍රිකාවට එරෙහිව- 49/4 (9)

ඒ අයුරින් 2004 යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ කැපී පෙනුණු ශ්‍රී ලංකා තරුව බවට පත්වුණු මහරුෆ් සමස්ත තරගාවලිය පුරාවට පන්දු යැවූ ආකාරය පිළිබඳ ව පහතින් දක්වා තිබෙනවා. 

තරග- 6, පන්දුවාර- 54.3, නිලකුණු පන්දුවාර- 7, ලකුණු- 233, කඩුලු- 14, සාමාන්‍ය- 16.64

ෆර්වීස් මහරුෆ් – gettyimages.com

 

4) මාලිංග බණ්ඩාර- කඩුලු 14 (තරග- 6)

1998 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණා. ඒ සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එම තරග වටයේ දී කරට කර සටනක නිරත වුණු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු තරග තුනෙක් 2ක් ජයග්‍රහණය කළා. දල ලකුණු ලබාගැනීමේ වේගය අඩුවීම හේතුවෙන් ඔවුන්ට අවසන් තරගය සඳහා පිවිසීමට වරම් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එදා පන්දුවෙන් ඉහළම දස්කම් දැක්වූ මාලිංග බණ්ඩාර කඩුලු 14ක් බිඳ දැමුවා. එහි දී ඔහු ඉහළ ම දස්කම් දැක්වූ තරග පිළිබඳ පහතින් දක්වා තිබෙනවා.

1) නවසීලන්තයට එරෙහිව- 20/4(6)

2) සිම්බාබ්වේට එරෙහිව- 48/3 (10)

3) දකුණු අප්‍රිකාවට එරෙහිව- 44/3 (10)

ඒ අයුරින් පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ මාලිංග බණ්ඩාර තරගාවලියේ තෙවැනියට වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා. තරගාවලිය තුළ ඔහුගේ පන්දු යැවීමේ දත්තයන් මෙසේ දක්වන්නට පුළුවන්. 

තරග- 6, පන්දුවාර- 53, නිලකුණු පන්දුවාර- 1, ලකුණු- 185, කඩුලු- 14, සාමාන්‍ය- 13.21

මාලිංග බණ්ඩාර – gettyimages.com

 

3) ළහිරු මදුසංක- කඩුලු 15 (තරග- 6)

2012 යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ ඇෆ්ගනිස්ථානය පරාජයට පත්වුණා. ඕස්ට්‍රේලියානු බිමේ පැවති එවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ළහිරු මදුසංක කඩුලු 15ක් දවා ගත්තා. එහි දී ඔහු අයර්ලන්තයට එරෙහි ව පැවති තරගයක දී කඩුලු 6ක් බිඳ දැමීම අමතක නොවන සිදුවීමක් වුණා. ඔහු තවත් තරග 2කදී සුවිශේෂී දස්කම්  දැක්වීමට සමත් වුණා. ඒ පිළිබඳ ව තොරතුරු පහතින් දක්වා තිබෙනවා. 

1) අයර්ලන්තයට එරෙහිව- 24/6 (7.5) 

2) නැමීබියාවට එරෙහිව- 15/4 (6)

3) ඇෆ්ගනිස්ථානයට එරෙහිව- 34/3 (9)

තරගාවලිය පුරා ම කඩුලු අතර සිටි මදුසංක තරගාවලියේ දෙවැනියට වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා. පහතින් දක්වා තිබෙන්නේ ඔහුගේ පන්දු යැවීමේ දත්ත පිළිබඳව යි.

තරග- 6, පන්දුවාර- 36.5, නිලකුණු පන්දුවාර- 3, ලකුණු- 130, කඩුලු- 15, සාමාන්‍ය- 8.66

ළහිරු මදුසංක – gettyimages.com

 

2) අනුක් ප්‍රනාන්දු- කඩුලු 15 (තරග- 6)

2014 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණා. එවර තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ තරග තුන ම ජයග්‍රහණය කළා. නමුත් ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයෙන් එතෙර වීමට හැකියාවක් ලැබුණේ නැහැ. එසේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණත් අනුක් ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම කාගේත් අවධානයට ලක් වුණා. එහි දී කඩුලු 15ක් දවා ගත් අනුක් සිය හොඳ ම පන්දු යැවීම් ඇෆ්ගනිස්ථානය සහ එංගලන්ත හමුවේ වාර්තා කළා. එම තරගවල දී ඔහු දැක්වූ දස්කම් පහත දක්වා තිබෙනවා.

1) ඇෆ්ගනිස්ථානයට එරෙහිව- 50/4 (10)

2) එංගලන්තයට එරෙහිව- 49/3 (10)

එලෙස පන්දුවෙන් සුවිශේෂී දස්කම් දැක්වූ අනුක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා. ඒ අනුව යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලාභියා බවට පත්වුණු මුල්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසින් අනුක් වාර්තා අතරට එක් වුණා. තරගාවලිය තුළ ඔහුගේ පන්දු යැවීමේ දත්තයන් පහත දක්වා තිබෙනවා. 

තරග- 6, පන්දුවාර- 54, නිලකුණු පන්දුවාර- 5, ලකුණු- 331, කඩුලු- 15, සාමාන්‍ය- 22.06

අනුක් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages.com)

 

1) දුනිත් වෙල්ලාලගේ- කඩුලු 16 (තරග- 4) 

2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී ක්‍රියාත්මක වෙනවා. එම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මූලික තරගවල දී ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් හමුවේ ජයග්‍රහණ වාර්තා කළා. අර්ධ අවසන් පූර්ව තරගයේ දී අවාසනාවන්ත ලෙස ඇෆ්ගනිස්ථානය හමුවේ ලකුණු 4ක පරාජයක් ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබුණු අවස්ථාව අහිමිව ගියා.

එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අනපේක්ෂිත පරාජයක් ලැබුවත් තරගාවලිය පුරාවට ඔවුන් දැක්වූ දස්කම් පිළිබඳ ව කාගේත් අවධානය යොමුවුණා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තරුව බවට පත්වුණු නායක දුනිත් වෙල්ලාලගේ තරග 4කදී කඩුලු 16ක් දවා ගැනීමට සමත්ව සිටිනවා. ඒ අනුව යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ තනි තරගාවලියක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙසින් ඔහු වාර්තා අතරට එකතු වුණා. මෙවර තරගාවලියේ දී ඔහු පන්දුවෙන් දැක්වූ දස්කම් පහතින් දක්වා තිබෙනවා.

1) ස්කොට්ලන්තයට එරෙහිව- 27/5 (9)

2) ඕස්ට්‍රේලියාවට එරෙහිව- 28/5 (10)

3) කොදෙව්වන්ට එරෙහිව- 39/3 (10) 

4) ඇෆ්ගනිස්ථානයට එරෙහිව- 36/3 (10) 

තරග- 4, පන්දුවාර- 39, නිලකුණු පන්දුවාර- 3, ලකුණු- 130, කඩුලු- 16, සාමාන්‍ය- 8.12

දුනිත් වෙල්ලාලගේ පන්දු යවමින් – gettyimages.com

කවරයේ ඡායාරූපය- දුනිත් වෙල්ලාලගේ - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com 

howstat.com  

Related Articles