Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාර්ථක පිවිසුමක් සමඟ IPL ඇරඹූ භානුක

2022 IPL තරගාවලිය මුම්බායි නුවර වන්කඩේ පිටියේ දී පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. එම තරගාවලිය යටතේ පැවති තෙවන තරගය පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතර ඩී.වයි පටිල් පිටියේ දී ක්‍රියාත්මක වුණා. එහි දී ශ්‍රී ලංකා ප්‍රහාරක පිතිකරු භානුක රාජපක්ෂ පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරමින් සිය මංගල IPL තරගය සඳහා සහභාගි වුණා.

පිතිකරුවන්ගේ දස්කම් ඉස්මතු වුණු එම තරගයේ දී ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කණ්ඩායම කඩුලු 5ක ජයක් හිමි කර ගත්තා. එහි දී පන්දු 22කට පමණක් මුහුණ දෙමින් වේගවත් ලකුණු 43ක් ලබා ගෙන පන්ජාබ් ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා බවට පත්වුණා. එනිසා භානුකට Most Valuable Asset of the Match සමානය හිමි වුණා. ඒ සමඟ භානුක සිය IPL තරග දිවියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.  

භානුක රාජපක්ෂ සම්මානය සමඟ – iplt20.com

 

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් වාර්තා වුණු සුවිශේෂී සිදුවීම් ගැන තොරතුරුයි මේ.  

IPL තරගාවලිය ඇරඹෙයි

පසුගිය කාල සමයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ ව කතා කිරීමේ දී ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණේ භානුක රාජපක්ෂ යි. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ඔහුට නිමා වුණු ඕස්ට්‍රේලියා සහ ඉන්දියා 20/20 තරගාවලි අහිමි වුණා. ඒ අතරතුර ඔහුට IPL තරගාවලියට සහභාගි වීම සඳහා වරම් ලැබුණා.  භානුක පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් සිය මංගල IPL තරගයට  ක්‍රීඩා කළා. ඒ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව යි. එම තරගයේ දී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුණු භානුක හයේ පහර 4ක් සමඟින් පන්දු 22කින් වේගවත් ලකුණු 43ක් ලබා ගත්තා. 

භානුකගේ ඉනිමේ අවස්ථාවක් – espncricinfo.com

 

එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් සිය මංගල IPL තරගයේ දී එල්ල කළ වැඩි ම හයේ පහරවල් ප්‍රමාණය ලෙස සටහන් වුණා. ශ්‍රී ලංකා පිතිකරුවෙක් මංගල IPL ඉනිමේ දී ලබාගත් දෙවන වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් ද එය සටහන් වුණා. එහි වාර්තාව හිමිව තිබෙන්නේ 2008 IPL තරගාවලියේ දී කිංග්ස් xi පංජාබ් කණ්ඩායම නියෝජනය කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහි ව පන්දු 33කින් ලකුණු 54ක් ලබාගත් කුමාර් සංගක්කාරට යි.

 භානුක සිය මංගල IPL තරගයේ දී කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් කටයුතු කිරීම ද සුවිශේෂී සිදුවීමක් වුණා. මීට පෙර කිසිදු අවස්ථාවක ඔහු කඩුලු රකින්නකු ලෙස කටයුතු කරන ආකාරය මෙරට ක්‍රිකට් ලෝලීන් දැක තිබුණේ නැහැ. එනිසා ඔවුන්ට එය අමුතු ම ආකාරයේ අත්දැකීමක් වුණා. 

භානුක කඩුලු රකිමින්  -menafn.com

 

මෙවර IPL තරගාවලියේ මුල් ම තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා. ඒ සමඟම  බ්‍රාවෝ IPL තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ලාභියා වශයෙන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තබා තිබෙන වාර්තාව සම කළා.

 මේ වන විට මාලිංග සහ බ්‍රාවෝ කඩුලු 170 බැගින් දවා ගෙන තිබෙනවා. එම කඩුලු 170 දවා ගැනීමට බ්‍රාවෝ තරග 152ක් ක්‍රීඩා කරද්දී මාලිංග ක්‍රීඩා කළේ තරග 122ක් පමණ යි. එනිසා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග IPL තරගාවලි ඉතිහාසය තුළ බිහිවුණු වඩාත් සාර්ථක ම පන්දු යවන්නා බව අවිවාදයෙන් පිළිගන්නා කාරණයක්.

බ්‍රාවෝ කොල්කටා කණ්ඩායමට එරෙහිව දස්කම් දක්වමින් – iplt20.com

 

ගෙවුණු සති අන්තයේ දී IPL තරග බිමේ තරග 3ක් ක්‍රියාත්මක වුණා. එම තරගවල දී කොල්කටා නයිට් රයිඩර්ස්, දිල්ලි කැපිටල්ස් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් ත්‍රිත්වය  ජයග්‍රහණ වාර්තා කළා. පහතින් දක්වා තිබෙන්නේ එම තරගවල ප්‍රතිඵල යි.

1). 1 වන තරගය- චෙන්නායි සහ කොල්කටා අතර- කොල්කටා කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

චෙන්නායි- 131/5 (20)

කොල්කටා- 133/4 (18.3)

තරගයේ වීරයා- උමේෂ් යාදව්- කොල්කටා- (ලකුණු- 20, කඩුලු- 2)

2). 2 වන තරගය- මුම්බායි සහ දිල්ලි අතර- දිල්ලි කණ්ඩායමට කඩුලු 4ක ජයක් 

මුම්බායි- 177/5 (20)

දිල්ලි- 179/6 (18.2)

තරගයේ වීරයා- කුල්දීප් යාදව්- දිල්ලි (ලකුණු- 18, කඩුලු- 3)

3). 3 වන තරගය- බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස්- පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක් 

බැංගලෝර්- 205/2 (20)

පන්ජාබ්- 208/5 (19)

තරගයේ වීරයා- ඔඩේන් ස්මිත්- පන්ජාබ් කිංග්ස් (ලකුණු- නොදැවී 25, පන්දු- 8)

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු කුල්දීප් යාදව් – firstpost.com

 

2). බංග්ලාදේශයට ඓතිහාසික එක්දින තරගාවලි ජයග්‍රහණයක් 

2022 දකුණු අප්‍රිකා-බංග්ලාදේශ එක්දින තරගාවලියේ තෙවන තරගය සෙන්චූරියන් හි දී පසුගිය බදාදා ක්‍රියාත්මක වුණා. ඒ වන විට කණ්ඩායම් ද්විත්වය ම එක් තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණා. එනිසා තෙවන තරගය ජයග්‍රහණය හිමි කර ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය උරුම වීමට නියමිත ව තිබුණා.

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පන්දුවට මුලින්ම පහරදුන් දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 37කදී සියලුදෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 154ක් පමණ යි. එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු ටස්කින් අහමඩ් ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තා.

පන්දුවෙන් දස්කම් පෑ ටස්කින් – gettyimages.com

 

ඉන් පසුව ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 26.3ක් ඇතුළත කඩුලු 1ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහි දී බංග්ලාදේශ ඉනිම වර්ණවත් කළ ටමීම් ඉක්බාල් පන්දු 82කින් නොදැවී ලකුණු 87ක් ලබා ගත්තා.

ඒ අනුව බංග්ලාදේශය, දකුණු අප්‍රිකා-බංග්ලාදේශ එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළා. එය බංග්ලාදේශ ඉතිහාසය තුළ වාර්තා වුණු විශිෂ්ට එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලෙසින් ඉතිහාසගත වුණා. පහතින් දක්වා තිබෙන්නේ තෙවන එක්දින තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකාව- 154/10 (37), (මලාන්- 39, මහරාජ්- 28, ටස්කින්- 35/5, ශකීබ්- 24/2)

බංග්ලාදේශය- 156/1 (26.3), (ටමීම්- 87*, ලිටන්- 48, ශකීබ්- 18*, මහරාජ්- 36/1)

බංග්ලාදේශයට කඩුලු 9ක ජයක් 

තරගයේ වීරයා- ටස්කින් අහමඩ් 

තරගාවලියේ වීරයා- ටස්කින් අහමඩ් 

ජයග්‍රාහී බංග්ලාදේශ කණ්ඩායම – gettyimages.com

ටෙස්ට් තරගාවලි 2ක ඉරණම විසඳෙයි 

2021-23 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වුණු තරගාවලි 2ක් පසුගිය සතියේ දී නිමාවට පත් වුණා. ඒ අතුරින් මුලින් ම නිමාව දුටුවේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේ දී පැවති ටෙස්ට් තරගාවලිය යි. එහි තෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලාහෝර් නුවර ගඩාෆි පිටියේ  දී පසුගිය සිකුරාදා නිමාවට පත් වුණා.

එම ටෙස්ට් තරගයෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 115ක ජයක් හිමි කර ගත්තා. ඒ සමඟ ම ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය 1-0ක් ලෙසින් ඕස්ට්‍රේලියාව සතු වුණා. පහතින් දක්වා තිබෙන්නේ තෙවන ටෙස්ට් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම- 391/10, (කවාජා- 91, ග්‍රීන්- 79, කේරි- 67, නසීම්- 58/4, අෆ්රීඩි- 79/4)

පාකිස්තානු පළමු ඉනිම- 268/10, (ෂෆීක්- 81, අසාර්- 78, අසාම්- 67, කමින්ස්- 56/5, ස්ටාක්- 33/4)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම- 227/3, (කවාජා- 104*, වෝනර්- 51, ලබුෂේන්- 36, නසීම්- 23/1)

පාකිස්තානු දෙවන ඉනිම- 235/10, (ඉමාම්- 70, අසාම්- 55, ලයන්- 83/5, කමින්ස්- 33/3)

ඕස්ට්‍රේලියාවට ලකුණු 115ක ජයක් 

තරගයේ වීරයා- පැට් කමින්ස්  

තරගාවලියේ වීරයා- උස්මන් කවාජා 

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම – gettyimages.com

 

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ තෙවන සහ අවසන් ටෙස්ට් තරගය ග්‍රෙනෙඩා හි දී පසුගිය ඉරිදා නිමාවට පත් වුණා. එම තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 10ක ජයක් හිමි වුණා. ඒ සමඟ ම ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය 1-0ක් ලෙසින් කොදෙව්වන් සතු වුණා. පහතින් දක්වා තිබෙන්නේ තෙවන ටෙස්ට් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

එංගලන්ත පළමු ඉනිම- 204/10, (සකිබ්- 49, ලීච්- 41*, සීල්ස්- 40/3, මේයර්ස්- 13/2, ජෝශප්- 33/2)

කොදෙව් පළමු ඉනිම- 297/10, (ජෝෂුවා- 100*,කැම්බල්- 35, වෝක්ස්- 59/3, සකිබ්- 45/2)

එංගලන්ත දෙවන ඉනිම- 120/10, (ලීස්- 31, බෙයාස්ට්‍රෝ- 22, මේයර්ස්- 18/5, රෝච්- 10/2)

කොදෙව් දෙවන ඉනිම- 28/0, (බ්‍රැත්වේට්- 20*, කැම්බල්- 6*)

කොදෙව්වන්ට කඩුලු 10ක ජයක් 

තරගයේ වීරයා- ජෝෂුවා ද සිල්වා 

තරගාවලියේ වීරයා- ක්‍රේග් බ්‍රැත්වේට් 

කොදෙව්වන් ජයග්‍රහණයේ සතුට සමරමින් – gettyimages.com

 

කාන්තා එක්දින ලෝක කුසලානයේ පළමු වටයේ තරග අවසන් 

2022 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය සිකුරාදා නිමාව දුටුවා. එම තරග වටයේ දී, සහභාගි වුණු තරග 7ම ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 14ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගත්තා. ජයග්‍රහණ 5ක් සහ තීරණයක් නොමැති තරගයක් ද සමඟින් ප්‍රසාද ලකුණු 11ක් ලබාගත් දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දිනා ගත්තා.

පිළිවෙළින් ප්‍රසාද ලකුණු 8ක් සහ 7ක් හිමි කර ගත් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන සහ සිව්වන ස්ථාන දිනා ගත්තා. ඒ අනුව එම කණ්ඩායම් හතරඅවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 2022 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන ආකාරය පහතින් දක්වා තිබෙනවා.

1). පළමු අවසන් පූර්ව තරගය- ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර (මාර්තු 30)

2) දෙවන අවසන් පූර්ව තරගය- දකුණු අප්‍රිකාව සහ එංගලන්තය (මාර්තු 31)

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම – gettyimages.com

 

2020 යුරෝ ශූරයන්ට පාපන්දු ලෝක කුසලාන වරම් අහිමි වෙයි 

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල පැවැත්වෙනවා. ඒ යටතේ යුරෝපා කලාපය තුළ පැවති සුදුසුකම් ලැබීමේ තරගයකින් ප්‍රබල ඉතාලි කණ්ඩායම උතුරු මැසිඩෝනියාව හමුවේ ගෝල 1-0ක අනපේක්ෂිත පරාජයක් ලැබුවා.

ඒ අනුව 2020 යුරෝ කුසලානය පවා දිනා සිටි ඉතාලියට මෙවර පාපන්දු ලෝක කුසලානයට සහභාගි වීමේ අවස්ථාව අහිමි ව ගියා. ඉතාලියට පාපන්දු ලෝක කුසලාන වරම් පිට පිට ම දෙවන වරටත් අහිමිවීම ඉතාමත් කනගාටුදායක සිදුවීමක් වුණා. 

ඉතාලි-උතුරු මැසිඩෝනියානු තරගයේ අවස්ථාවක් – mscfootball.com

 

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා පැවති සුදුසුකම් ලැබීමේ තරග වටයේ දී ස්වීඩනය හමුවේ උරුම කර ගත් පරාජයක් නිසා ඉතාලියට පාපන්දු ලෝක කුසලාන වරම් අහිමි වුණා.

1934, 1938, 1982 සහ 2006 යන වසරවල දී පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ඉතාලිය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථක ම කණ්ඩායමක්. ඔවුන්ගේ අඩුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී තදින්ම දැනෙනු ඇති බවට සැකයක් නැහැ.  

 1982 පාපන්දු ලෝක කුසලානය දිනාගත් ඉතාලි කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය - භානුක IPL පිටියේ දස්කම් දක්වමින් - iplt20.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

uefa.com

Related Articles