Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත ලයන්ස් පිලට අභියෝග කළ ශ්‍රී ලංකා A සිංහයෝ

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා නිමාවට පත් වුණා. දින 4ක් පුරාවට පැවති එම තරගය අවසානයේ දී ජය පැරදුමෙන් තොරව නිමාව දුටුවේ ශ්‍රී ලංකා A කණ්ඩායමට වැඩි ගෞරව හිමි කර දෙමින්.

එහි දී පිත්තෙන් සුපිරි දස්කම් පෑ නිශාන් මදුෂ්ක ශ්‍රී ලංකා A දෙවන ඉනිමේ දී අගනා ලකුණු 241ක් රැස් කිරීමට සමත් වුණා. එය ඔහු පළමු පෙළ තරගයක දී ලබා ගත් තෙවන ද්විත්ව ශතකය බවට පත් වුණා.

නිෂාන් මදුෂකගේ ඉනිමේ අවස්ථාවක් – srilankacricket.lk

එංගලන්ත ලයන්ස්-ශ්‍රී ලංකා A නිල නොවන ටෙස්ට් තරගයේ තොරතුරු

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පසුගිය අඟහරුවාදා (31) ආරම්භ වුණා. එම තරගයේ දී කාසියේ වාසිය දිනා පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා A කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 136ක් පමණ යි. එහි දී ශ්‍රී ලංකා A ඉනිම සුණුවිසුණු කළ මැතිව් ෆිෂර් ලකුණු 34කට කඩුලු 5ක් බිඳ දැමුවා.

මැතිව් ෆිෂර් පන්දුවෙන් දස්කම් දක්වමින් – srilankacricket.lk

ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායම සියලු දෙනා ම දැවී ලකුණු 467ක් රැස් කළා. එහි දී ලයන්ස් ඉනිමේ නැංගුරම බවට පත් වුණු ටොම් හයින්ස් අගනා ලකුණු 118ක් ලබා ගත්තා. හයින්ස් පිත්තෙන් දස්කම් දක්වද්දී ඔහුට අගනා සහායක් ලබා දුන් නායක හසීබ් හමීඩ් ලකුණු 81ක් රැස් කළා.

ශ්‍රී ලංකා A පළමු ඉනිමේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ ෆිෂර් පිත්තෙන් ද දස්කම් දක්වමින් පන්දු 46ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 53ක් ලබා ගත්තා.

පිත්තෙන් දස්කම් දැක්වූ ටොම් හයින්ස් – srilankacricket.lk

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට වඩා ලකුණු 331ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා A කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළය වුණු නිෂාන් මදුෂ්ක සහ ඕෂධ ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා ලකුණු 203ක සබඳතාවක් ගොඩ නැඟුවා. එතැන් සිට විශ්වාසයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ අමතක නොවන පිති ප්‍රහාරයක් එල්ල කළා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් අවස්ථාවක ශ්‍රී ලංකා A ලකුණු පුවරුව 654/3 ලෙසින් දිස් වුණා. ඒ මොහොතේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ කඩුලු ඉක්මනින් බිඳ වැටුණු නිසා ඔවුන් 663/9ක් ලෙසින් ඉනිම අත්හිටවූවා. එහි දී ශ්‍රී ලංකා A ඉනිම වර්ණවත් කළ නිෂාන් විශිෂ්ට ලකුණු 241ක් ලබා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් නිපුන් ධනංජය සහ ඕෂධ ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 128ක් සහ 114ක් රැස් කළා.

නිෂාන් මදුෂ්ක සහ නිපුන් ධනංජය – srilankacricket.lk

තරගයේ අවසන් දිනයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 333ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ලයන්ස් පිලේ මුල් කඩුලු 4 ලකුණු 67ක දී බිඳ වැටුණා. ඒ මොහොතේ ජෝෂ් බොහානොන් සහ ජැක් හේන්ස් 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවක් ගොඩ නැඟුවා.

එලෙස එංගලන්ත ලයන්ස් ඉනිම ස්ථාවර වෙමින් පැවති අවස්ථාවක ලක්ෂිත මානසිංහ ඉක්මනින් කඩුලු 2ක් දවා ගත් නිසා එංගලන්ත ලයන්ස් ලකුණු පුවරුව 158/6 බවට පත් වුණා. ඒ සමඟ ම ශ්‍රී ලංකා A කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට ඉතාමත් හොඳ අවස්ථාවක් උදා වුණත් වර්ෂාව එයට බාධාවක් වුණා. ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් වෙද්දී එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 221ක් ලබා ගෙන සිටියා. මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.
කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා A පළමු ඉනිම- 136/10 (35.4)

සදීර සමරවික්‍රම- 43 (60)
මැතිව් ෆිෂර්- 34/5 (9.4)
ලියාම් වයිට්- 51/3 (13)

එංගලන්ත ලයන්ස් පළමු ඉනිම- 467/10 (87.5)
ටොම් හයින්ස්- 118 (138)
හසීබ් හමීඩ්- 81 (109)

අම්ෂි ද සිල්වා- 59/3 (10)
ලසිත් ඇඹුල්දෙණිය- 159/3 (30)

ශ්‍රී ලංකා A දෙවන ඉනිම- 663/9 (157.1)
නිෂාන් මදුෂ්ක- 241 (423)
නිපුන් ධනංජය- 128 (170)
ඕෂධ ප්‍රනාන්දු- 114 (134)

ජැක් කාර්සන්- 173/4 (44.1)
ලියාම් වයිට්- 231/3 (50)

එංගලන්ත ලයන්ස් දෙවන ඉනිම- 221/7 (48)
ජෝෂ් බොහානොන්- 57 (86)
ජැක් හේන්ස්- 43 (38)

මිලාන් රත්නායක- 31/3 (8)
ලක්ෂිත මානසිංහ- 55/2 (11)

නවසීලන්තය හමුවේ ඉන්දියාවට දැවැන්ත T20 තරග ජයග්‍රහණයක්

තරග 3කින් සමන්විත ඉන්දු-නවසීලන්ත T20 තරගාවලියේ තෙවන තරගය අහමදාබාද් හි දී පසුගිය බදාදා (1) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 234ක් ලබා ගත්තා.

එහි දී විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 7ක් එල්ල කරමින් නොදැවී ලකුණු 126ක් ලබා ගත්තා. එය ඉන්දීය පිතිකරුවෙක් T20 ඉනිමක දී රැස් කළ ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක් වුණා. එහි දී ඔහු බිඳ දැමුවේ විරාත් කෝලි පසුගිය වසරේ ඇෆ්ගනිස්තානය හමුවේ නොදැවී ලකුණු 122ක් රැස් කරමින් තබා තිබුණු වාර්තාව යි.

ශුබ්මන් ගිල් ශතකය ලබා ගත් අවස්ථාව – espncricinfo.com

ලකුණු 235ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 21ක දී බිඳ වැටුණා. ඒ මොහොතේ ඩාර්ලි මිචෙල් ලබා ගත් ලකුණු 35 නිසා අවසානයේ දී නවසීලන්තයට සියලු දෙනා දැවී ලකුණු 66ක් ලබා ගැනීමට හැකි වුණා. එහි දී නවසීලන්ත ඉනිම කඩා බිඳ දැමූ හාර්ඩික් පාණ්ඩ්‍යා ලකුණු 16කට කඩුලු 4ක් දවා ගත්තා.

එම තරගයෙන් ඉන්දියාවට ලකුණු 168ක දැවැන්ත ජයක් හිමි වුණා. එය යම් කණ්ඩායමක් ටෙස්ට් වරම් ලැබූ රටකට එරෙහි ව වාර්තා කළ ඉහළම T20 තරග ජයග්‍රහණය ලෙසින් වාර්තා අතරට එක් වුණා. එම ජයග්‍රහණයත් සමඟින් T20 තරගාවලියේ ජය තරග 2-1ක් ලෙසින් ඉන්දියාවට හිමි වුණා. මේ ඉන්දු-නවසීලන්ත තෙවන T20 තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

හාර්ඩික් පාණ්ඩ්‍යා පන්දුවෙන් දස්කම් දක්වමින් – espncricinfo.com

කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව- 234/4 (20), (ගිල්- 126*, ත්‍රිපති- 44, හාර්ඩික්- 30, මිචෙල්- 6/1, බ්‍රේස්වෙල්- 8/1)
නවසීලන්තය- 66/10 (12.1), (මිචෙල්- 35, හාර්ඩික්- 16/4, මලික්- 9/2, මාවි- 12/2, අර්ශ්දීප්- 16/2)

ඉන්දියාවට ලකුණු 168ක ජයක්
තරගයේ වීරයා- ශුබ්මන් ගිල්
තරගාවලියේ වීරයා- හාර්ඩික් පාණ්ඩ්‍යා

ඉන්දීය ක්‍රීඩකයන් ජයග්‍රාහී කුසලානය සමඟ ඡායාරූප ලබාගනිමින් – espncricinfo.com

යුරෝපා පාපන්දු ලීග් තරගාවලිවල තොරතුරු

2022/23 තරග වාරයේ යුරෝපා රටවල්වල ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ඒ අතුරින් බොහෝ දෙනකුගේ අවධානය යොමු කරන්නේ ස්පාඤ්ඤ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (La Liga), එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය (EPL), ජර්මානු ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (Bundesliga), ප්‍රංශ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (Ligue 1), ඉතාලි ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (Serie A) යන පාපන්දු තරගාවලි පිළිබඳව යි.

La Liga පාපන්දු තරගාවලියේ 20 වන සතියේ තරග අවසන් වෙද්දී බාර්සිලෝනා කණ්ඩායම ජයග්‍රහණ 17ක් සමඟ ලකුණු 53ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඔවුන්ට පිටුපසින් සිටින රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම ලකුණු 45ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙනවා. බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කරන රොබට් ලෙවොන්ඩොස්කි ගෝල 14ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත්ව සිටිනවා.

බාර්සිලෝනා කණ්ඩායම දස්කම් දක්වමින් – gettyimages.com

Bundesliga පාපන්දු තරගාවලියේ 19 වන සතියේ තරග නිමා වෙද්දී බයන් මියුනික් කණ්ඩායම ජයග්‍රහණ 11ක් සමඟින් ලකුණු 40ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඔවුන්ට කරට කර සටනක් ලබා දෙමින් සිටින යූනියන් බර්ලින් කණ්ඩායම ලකුණු 39ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. වර්ඩර් බ්‍රිමන් කණ්ඩායමේ නිකලස් ෆුල්කෘග් ගෝල 13ක් වාර්තා කරමින් මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා.

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ 22 වන සතියේ තරග අවසන් වෙද්දී ආසනල් කණ්ඩායම ජයග්‍රහණ 16ක් සමඟ ලකුණු 50ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඔවුන් සමඟ කරට කර සටනක නිරත වන මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ලකුණු 45ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරන අර්ලින්ග් හාලන්ඩ් ගෝල 25ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා.

අර්ලින්ග් හාලන්ඩ් – gettyimages.com

Ligue 1 පාපන්දු තරගාවලියේ 22 වන සතියේ තරග අවසන් වෙද්දී PSG කණ්ඩායම ජයග්‍රහණ 17ක් සමඟ ලකුණු 54ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. මාර්සෙල්ලි සහ ලෙන්ස් කණ්ඩායම් ලකුණු 46 බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන සහ තෙවන ස්ථානවල රැඳී සිටිනවා. රෙයිම්ස් කණ්ඩායම නියෝජනය කරන ෆොලාරින් බැලෝගන් ගෝල 14ක් ලබාමේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත්ව සිටිනවා.

Serie A පාපන්දු තරගාවලියේ 21 වන සතියේ තරග අවසන් වෙද්දී නපොලි කණ්ඩායම ජයග්‍රහණ 18ක් සමඟ ලකුණු 56ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඉන්ටර් මිලාන් කණ්ඩායම ලකුණු 43ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. නපොලි කණ්ඩායම නියෝජනය කරන වික්ටර් ඔසිම්හෙන් ගෝල 16ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා.

බටහිර ආසියා බේස්බෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

2023 බටහිර ආසියා බේස්බෝල් තරගාවලිය පාකිස්තානයේ දී පසුගිය දිනවල පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකාව මූලික තරග වටයේ දී B කාණ්ඩය යටතේ තරග වදිමින් නේපාලය හමුවේ ලකුණු 26-0 සහ ඉන්දියාව හමුවේ ලකුණු 11-2 ලෙසින් ජයග්‍රහණ ලබා ගත්තා. පලස්තීනය හමුවේ ලකුණු 10-0 ලෙසින් පරාජය ලැබුවා. පාකිස්තානයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 16-1ක දරුණු පරාජයක් උරුම වුණා.

එසේ ලද පරාජයෙන් පසුව ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයේ දී බංග්ලාදේශය හමුවේ ලකුණු 3-1ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. අවසන ශ්‍රී ලංකාවට තරගාවලියේ ලෝකඩ පදක්කම හිමි වුණා. එහි දී දක්ෂතම පිටත පන්දු රකින්නා ලෙස අමිල පුෂ්පකුමාර ද, හොඳම 1st Baseman ලෙස ක්‍රිෂ්ණා හපුආරච්චි ද සම්මාන දිනා ගත්තා.

බටහිර ආසියා බේස්බෝල් තරගාවලි ඉතිහාසයේ සැලකිය යුතු තරම් දස්කම් දක්වා ඇති ශ්‍රී ලංකාව 2017 සහ 2019 වසරවල ශූරතාව ද, 2012 සහ 2013 වසරවල අනු ශූරතාව ද දිනා ගත්තා.

ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම – facebook.com/Sri Lanka Baseball

පර්ත් ස්කොචර්ස් ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් කිරුළ 5 වන වරටත් දිනා ගනියි

2022/23 ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පසුගිය සෙනසුරාදා (4) පර්ත් හි දී ක්‍රියාත්මක වුණා. පර්ත් ස්කොචර්ස් සහ බ්‍රිස්බේන් හීට්ස් යන කණ්ඩායම් අතර ක්‍රියාත්මක වුණු එම තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් හිමි වුණේ පර්ත් ස්කොචර්ස් කණ්ඩායමට යි.

එය පර්ත් ස්කොචර්ස් කණ්ඩායම බිග් බෑෂ් කිරුළ දිනා ගත් 5 වන අවස්ථාව ලෙසින් සටහන් වුණා. ඊට පෙර ඔවුන් 2013/14, 2014/15, 2016/17, සහ 2021/22 තරගවාරවල දී එම ශූරතාව දිනා ගෙන තිබුණා. මේ මෙවර අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ජයග්‍රාහී පර්ත් ස්කොචර්ස් කණ්ඩායම – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

බ්‍රිස්බේන් හීට්- 175/7 (20), (මැක්ස්වීනි- 41, හැස්ලට්- 34, බෙහ්රන්ඩෝෆ්- 26/2, කෙලී- 37/2)
පර්ත් ස්කොචර්ස්- 178/5 (19.2), (ටර්නර්- 53, ඉංග්ලිෂ්- 26, කොනොලි- 25*, කුනමන්- 28/1)
පර්ත් ස්කොචර්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
තරගයේ වීරයා- ඇෂ්ටන් ටර්නට් (පර්ත් ස්කොචර්ස්)
තරගාවලියේ වීරයා- මැතිව් ෂෝර්ට් (ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස්)

කවරයේ ඡායාරූපය- එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ලකුණු 241ක් ලබා ගත් නිෂාන් මදුෂ්ක - srilankacricket.lk
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
cricket.com.au
goal.com
baseballunited.com

Related Articles