Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වන ඉන්දීය තරග සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය මුම්බායි නුවර වන්කඩේ පිටියේ පැවැත්වෙන පළමු T20 තරගයෙන් හෙට (3) ආරම්භ වීමට නියමිත යි.ඒ සඳහා සහභාගි වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දෙසැම්බර් 31 වැනිදාමෙරටින් පිටත්ව ගියා. පිටත් ව යන අපේ ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීම සඳහා ක්‍රීඩා ලෝලීන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසලට රැස් ව සිටියා.

ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනයෙන් පිටත් ව ගිය ආකාරය – gettyimages.com

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය

තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් සහ T20 තරගාවලියක් මෙම තරග සංචාරයට අයත්. ඒ අතුරින් T20 තරගාවලිය මුලින් ආරම්භ වීමට නියමිත යි. ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිමා වුණු LPL තරගාවලියේ දී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. මේ ඉන්දියාවට එරෙහි ව තරග වැදීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා T20 කණ්ඩායම යි.

දසුන් ශානක (නායක), වනිඳු හසරංග (උප නායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, දිල්ෂාන් මදුසංක, පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ, සදීර සරමරවික්‍රම, නුවන් තුෂාර, ප්‍රමෝද් මදුෂාන්

දසුන් ශානක (නායක) – gettyimages.com

වර්තමානය වන විට ICC T20 කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දියාව යි. එනිසා ඉන්දියාවට එරෙහි ව පැවැත්වෙන මෙම T20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. මේ එම තරගාවලියේ තරග කාලසටහන යි.

1). පළමු T20 තරගය- ජනවාරි 3 අඟහරුවාදා- මුම්බායි හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට)
2). දෙවන T20 තරගය- ජනවාරි 5 බ්‍රහස්පතින්දා- පූනේ හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට)
3). තෙවන T20 තරගය- ජනවාරි 7 සෙනසුරාදා- රාජ්කොට් හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට)


ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දීය බිමේ දී ඉන්දියාවට එරෙහි ව T20 තරගයක් මුලින් ම ක්‍රීඩා කළේ 2009 වසරේ දීයි. එදා සිට අද දක්වා මෙම කණ්ඩායම් දෙක ඉන්දීය බිමේ දී ක්‍රීඩා කළ සමස්ත T20 තරග ප්‍රමාණය 14ක්. එයින් තරග 11ක ජය ඉන්දියාවට හිමි වෙද්දී ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වුණේ තරග 2ක් පමණ යි. ඉතිරි තරගය වර්ෂාව හේතුවෙන් අත් හැර දැමීමට සිදු වුණා.

2009 දී පැවති මුල් ම ඉන්දු-ශ්‍රී ලංකා T20 තරගයේ අවස්ථාවක් – gettyimages.com

T20 තරගාවලිය අවසන් වීමෙන් පසු ආරම්භ වන්නේ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය යි. මේ එම තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය යි.

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, දිල්ෂාන් මදුසංක, පැතුම් නිස්සංක, නුවනිඳු ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ, සදීර සරමරවික්‍රම, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රමෝද් මදුෂාන්


මුල් ම එක්දින තරගය 1982 දී

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දීය බිමේ දී ඉන්දියාවට එරෙහි ව එක්දින තරගයක් මුලින් ම ක්‍රීඩා කළේ 1982 වසරේ දීයි. එදා සිට අද දක්වා මෙම කණ්ඩායම් දෙක ඉන්දීය බිමේ දී ක්‍රීඩා කළ සමස්ත එක්දින තරග ප්‍රමාණය 51ක්. එයින් තරග 36ක ජය ඉන්දියාවට හිමි වෙද්දී ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වුණේ තරග 12ක් පමණ යි. ඉතිරි තරග 3 අවසන් වුණේ ප්‍රතිඵලයක් රහිතව යි.

එහි දී දක්නට ලැබෙන විශේෂ සිදුවීම වන්නේ ගෙවුණු වසර 25ක කාලයේ දී ශ්‍රී ලංකාව ඉන්දීය බිමේ එක්දින තරග 30ක් ක්‍රීඩා කර එයින් තරග 4කින් පමණක් ජය ලබා තිබීම යි. මෙවර ඉන්දීය කණ්ඩායමට එරෙහි ව පැවැත්වෙන එක්දින තරගාවලිය ද ශ්‍රී ලංකාවට ලෙහෙසි පහසු එකක් නොවනු ඇති. මේ මෙවර ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ තරග කාලසටහන යි.

ඉන්දියාවට එරෙහි ව එක්දින තරග ජයක් 2007 දී ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

1). පළමු තරගය- ජනවාරි 10 වැනි දා අඟහරුවාදා- ගුවහාටි හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.30ට)
2). දෙවන තරගය- ජනවාරි 12 වැනි දා බ්‍රහස්පතින්දා- කොල්කටා හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.30ට)
3). තෙවන තරගය- ජනවාරි 15 වැනි දා ඉරිදා- තිරුවන්නාතපුරම් හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.30ට)

ලෝක පාපන්දු ඉතිහාසයේ නිවී ගිය සුපිරි තරුව

ලෝක පාපන්දු ඉතිහාසය තුළ බිහි වුණු විශිෂ්ටත ම ක්‍රීඩකයෙක් ලෙසින් සැලකෙන බ්‍රසීලයේ පේලේ, සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ දී පසුගිය සිකුරාදා (30) අලුයම අවසන් හුස්ම හෙළුවා. දිගු කලක් තිස්සේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටි පේලේ මිය යන විට 82 හැවිරිදි වියේ පසු වුණා.

ඔහුගේ අභාවය හේතුවෙන් බ්‍රසීලය දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා. මෙම විශිෂ්ටයාගේ නික්ම යාම හේතුවෙන් ලොව පුරා සිටින පාපන්දු ලෝලීන් දැඩි ලෙස කම්පාවට පත් වුණා.

පේලේ – gettyimages.com

බ්‍රසීල නාමය පාපන්දු පිටිය තුළ ඔසවා තබන්නට විශාල මෙහෙයක් කළ මෙම විශිෂ්ට ක්‍රීඩකයා 1958, 1962 සහ 1970 පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායම්වල සාමාජිකයෙක් වුණා. පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලාන 3ක් ජයග්‍රහණය කළ එක ම ක්‍රීඩකයා ලෙස සුවිශේෂී වාර්තාවක් තැබීමට ද ඔහුට හැකි වුණා.

1958 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී ස්වීඩනයට එරෙහි ව ගෝල 2ක් වාර්තා කළ මෙම සුපිරි තරුව පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයක දී ගෝලයක් වාර්තා කළ ළාබාල ම ක්‍රීඩකයා බවට පත් වුණා. ඒ වන විට ඔහු 17 හැවිරිදි වියේ පසු වුණා. එදා ඔහු තැබූ වාර්තාව අදටත් නොබිඳී පැවතීම විශේෂත්වයක්.

පේලේ 1958 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී – gettyimages.com

පාපන්දු පිටියේ දස්කම් දැක්වූ පේලේ, බ්‍රසීලය වෙනුවෙන් වසර 14ක් පාපන්දු ක්‍රීඩා කරමින් තරග 92කදී ගෝල 77ක් ලබා ගත්තා. ඊට අමතර ව ඔහු සැන්ටොස් සහ නිව්යෝක් කොස්මොස් යන ක්‍රීඩා සමාජ සඳහා ද ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූවා. ලෝක පාපන්දු ඉතිහාසයේ ගෝල 1000ක් රැස් කළ මුල් ම ක්‍රීඩකයා බවට පත් වුණේ ද මෙම විශිෂ්ට ක්‍රීඩකයා යි. ඔහු එම දස්කම දැක්වූයේ වස්කෝ ද ගාමා ක්‍රීඩා සමාජයට එරෙහි ව 1969 දී පැවති තරගයක දී යි. පේලේ නම් විශිෂ්ටයා සිය පාපන්දු තරග දිවිය තුළ දී රැස් කළ සමස්ත ගෝල ප්‍රමාණය 1279ක් බව වාර්තාවල ලියැ වී තිබෙනවා. ඔහුගේ නික්ම යාම සමස්ත පාපන්දු ලෝකයට පිරිමැසිය නොහැකි පාඩුවක්.

ඕස්ට්‍රේලියාවට තවත් ටෙස්ට් තරගාවලි ජයක්

2021-23 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පැවත්වෙන ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී මේ දිනවල පැවැත්වෙනවා. එම තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කළ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගයක් ඉතිරි ව තිබිය දී තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගය ජයගැනීමෙන් අනතුරුව – gettyimages.com

එහි දී සිය ටෙස්ට් තරග දිවියේ 100 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 255කින් ලකුණු 200ක් ලබා ගෙන සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා. ඔහු එවැනි දස්කමක් දැක්වූ ලොව දෙවන ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණා.

වෝනර්ට පෙර එම දස්කම දැක්වූ එංගලන්තයේ ජෝ රූට් 2021 දී ඉන්දියාවට එරෙහි ව තම 100 වන ටෙස්ට් තරගයට සහභාගි වෙමින් පන්දු 377කින් ලකුණු 218ක් රැස් කළා.

ඩේවිඩ් වෝනර් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

මේ පසුගිය දා නිමා වුණු ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
දකුණු අප්‍රිකා පළමු ඉනිම- 189/10, (යැන්සන්- 59, වෙරෙයින්- 52, ග්‍රීන්- 27/5, ස්ටාක්- 39/2)
ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 575/8, (වෝනර්- 200, කේරි- 111, ස්මිත්- 85, ග්‍රීන්- 51*, නොකියා- 92/3)
දකුණු අප්‍රිකා දෙවන ඉනිම- 204/10, (බවුමා- 65, වෙරෙයින්- 33, ලයන්- 58/3, බෝලන්ඩ්- 49/2)
ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 182ක ජයක්
තරගයේ වීරයා- ඩේවිඩ් වෝනර්

චෙස් ලෝක ශූරතා ද්විත්වයක් දිනූ කාල්සන් මැග්නස්

ලෝක චෙස් ඉතිහාසයේ මෙතෙක් බිහිවුණු දක්ෂත ම ක්‍රීඩකයා ලෙස සැලකෙන නෝර්වේ රාජ්‍යයේ කාල්සන් මැග්නස් පසුගිය සතියේ දී තවත් සුපිරි ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ කසකස්තානයේ අල්මාටි හි දී පැවැත්වුණු 2022 ලෝක අධිවේගී චෙස් (Rapid) සහ ක්ෂණික චෙස් (Blitz) තරගාවලිවල ශූරතාවය දිනා ගනිමින්.

එහි දී අධිවේගී චෙස් (Rapid) ලෝක ශූරතාවලියේ දී තරග 13කට සහභාගි වුණු කාල්සන් ලකුණු 10ක් ලබා ජර්මනියේ වින්සන්ට් කෙයිමර් අභිබවා එහි ශූරතාව දිනා ගත්තා. ක්ෂණික චෙස් (Blitz) ලෝක ශූරතා තරගාවලියේ දී තරග 21කට සහභාගි වී ලකුණු 16ක් ලබා අමෙරිකාවේ හිකරු නකමුරා අභිබවා යමින් ශූරතාව දිනා ගත්තා.

කාල්සන් මැග්නස් – gettyimages.com

මෙම විශිෂ්ට චෙස් ක්‍රීඩකයා මීට පෙර 2014, 2015 සහ 2019 යන වසරවල දී ලෝක අධිවේගී චෙස් (Rapid) ශූරයා ලෙස අභිෂේක ලැබුවා. එසේ ම ඔහු මීට පෙර 2014, 2017, 2018 සහ 2019 යන වසරවල දී ලෝක ක්ෂණික චෙස් (Blitz) ශූරයා බවට පත් වුණා. ඔහු 2014 සහ 2019 සහ 2022 වසරවල එම ලෝක ශූරතා ද්විත්වය ම දිනා ගැනීමට සමත් වුණා. මෙම ලෝක චෙස් ශූරතා තරගාවලි ද්විත්වය ආරම්භ වුණේ 2012 දී යි. ගෙවුණු වසර 10ක කාලය තුළ කාල්සන් පමණක් මෙම ලෝක චෙස් ශූරතා ද්විත්වය ම එකම වසරක දී දිනා ගැනීම විශේෂත්වයක්.

පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ඉහළ වටිනාකමක්

පෘතුගාලයෙන් බිහි වුණු සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට පසුගිය කාලයේ දී ක්‍රීඩා කළා. ඔහු 2021/22 තරග වාරයේ දී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් තරග 40කදී ගෝල 19ක් රැස් කළා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ එක්වීමෙන් පසුව – gettyimages.com

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි මෙම සුපිරි පාපන්දු තරුව පසුගිය සතියේ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟින් එක් වුණා. එම හුවමාරුව හරහා රොනාල්ඩෝට යුරෝ මිලියන 200කට අධික මුදලක් ලැබෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දක්වා තිබුණා.


කවරයේ ඡායාරූපය- ඉන්දියානු සංචාරය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම (gettyimages.com)

මූලාශ්‍ර- espncricinfo.com
howstat.com
fide.com
goal.com
fifa.com

Related Articles