Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්විටර් වෙනුවට මැස්ටොඩෝන්!

ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් පසුගිය ඔක්තෝබර් මස, අමෙරිකානු ඩොලර් බිලියන බිලියන 44ක මුදලක් ගෙවා ට්විටර් (Twitter) සමාජ ජාලයේ හිමිකාරිත්වය ලබා ගත්තේ ය. මිල දී ගැනීමෙන් පසු ඔහු ට්විටර් යෙදවුමට සිදු කර ඇති කරමින් පවතින වෙනස්කම් කිහිපයක් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපියක් අපි පසුගිය සතියේ ඔබ වෙත ගෙන ආවෙමු.

එවැනි පසුබිමක ට්විටර් පරිශීලකයන් බොහෝ දෙනෙක් විකල්ප සමාජ මාධ්‍ය වේදිකා වෙත යොමු වන බව මේ වන විට වාර්තා වේ. නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් වන මැස්ටොඩෝන් (Mastodon) එවැනි විකල්ප වේදිකාවලින් එකකි. මෙම මස මුල් සතිය තුළ පමණක් 500,000කට අධික නව පරිශීලකයන් පිරිසක් මෙම යෙදවුම පරිශීලනය කරන්නන් අතරට එක් වී ඇත.

ට්විටර් වේදිකාවට බොහෝ සෙයින් සමාන විශේෂාංග සහිත මැස්ටොඩෝන් පිළිබඳව මේ ලිපියෙන් සොයා බලමු.

ට්විටර් මිල දී ගත් ඉලෝන් මස්ක් – – www.techcrunch.com

මොකක්ද මේ මැස්ටොඩෝන්?

ජර්මානු මෘදුකාංග සංවර්ධකයෙක් වන Eugen Rochko 2016 වසරේ දී මැස්ටොඩෝන් යෙදවුම නිර්මාණය කළේ ය. වර්තමානයේ ලොව පුරා ප්‍රසිද්ධ ට්විටර් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ලාභ ඉපයීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ඒවා වුවත් මැස්ටොඩෝන් ලාභ නොලබන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ.

එහි ඉලක්කය කොටස් හිමියන්ට ප්‍රතිලාභ ලබා දීම වෙනුවට එහි පරිශීලකයන්ට උපරිම ප්‍රතිලාභයක් ලබා දීම බව එහි හිමිකරු වරෙක පැවසුවේ ය. මැස්ටොඩෝන් යෙදවුම දියුණු කිරීම සඳහා අරමුදල් සපයා ගැනීමට තමන් බලාපොරොත්තු වන නමුත්, එම අරමුදල් සහ සිය පුද්ගලික ආදායම අතර පැහැදිලි සීමාවක් තිබිය යුතු බව Eugen Rochko සඳහන් කළේ ය.

මොකක්ද මේ මැස්ටොඩෝන්? – www.pcmag.com

එකිනෙකට වෙනස් සේවාදායකයෝ

මෙම යෙදවුම භාවිත කිරීමට ලියාපදිංචි වීමේ දී පරිශීලකයන්ට සේවාදායකයන් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. එය විද්‍යුත් තැපැල් ලිපිනයක් සැකසීමේ දී Gmail, Hotmail සහ Yahoo වැනි සේවාදායකයෙක් තෝරාගැනීමට සමාන වේ. තෝරාගන්නා සේවාදායකයාගේ නම අනුව පරිශීලකයාගේ මැස්ටොඩෝන් ලිපිනය සැකසේ.

උදාහරණයක් ලෙස ‘climate justice’ සේවාදායකයා තෝරාගන්නා පරිශීලකයාගේ මැස්ටොඩෝන් ගිණුමේ ලිපිනය “@[භාවිතා කරන්නාගේ නම (user name)]@climatejustice.social” යනුවෙන් සැකසේ. කුමන සේවාදායකයා හරහා ලියාපදිංචි වුවත් අනිකුත් ඕනෑම සේවාදායකයෙක් හරහා ලියාපදිංචි වී සිටින පරිශීලකයන් සමඟ සන්නිවේදනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.

මැස්ටොඩෝන් නිර්මාතෘ – www.time.com

තනි හිමිකාරිත්වයක් නොමැති මැස්ටොඩෝන්

මැස්ටොඩෝන් තනි හිමිකාරිත්වයක් සහිත යෙදවුමක් නොවේ. ඉහත සඳහන් කළ එකිනෙකට වෙනස් සේවාදායකයන් එකිනෙකට සම්බන්ධ වී සාමූහික ජාලයක් නිර්මාණය වන නමුත් ඒවායේ හිමිකාරිත්වය දරන්නේ විවිධ පුද්ගලයන් සහ ආයතන යි. මෙය විමධ්‍යගත කිරීමක් ලෙස හැඳින්වේ. එවැනි අවස්ථාවක අදාළ යෙදවුම එක් පාර්ශවයකගේ අභිමතය පරිදි පමණක් ක්‍රියාත්මක කිරීමට, මිල දී ගැනීමට හෝ අලෙවි කිරීමට අවස්ථාව නොලැබේ.

ඒ ආකාරයෙන් පාර්ශව කිහිපයක් හරහා ක්‍රියාත්මක වීම හේතුවෙන් අවාසිදායක තත්ත්ව ද ඇති වේ. උදාහරණයක් ලෙස යම්කිසි server එකක් අක්‍රිය කිරීමට අදාළ පුද්ගලයා හෝ ආයතනය තීරණය කළහොත් ඒ යටතේ ඇති සියලු ගිණුම් අක්‍රිය වේ. යම්කිසි ආයතනයක් හෝ පුද්ගලයෙක් server එකක් අක්‍රිය කරන්නේ නම් ඒ පිළිබඳව මාස තුනකට පෙර පරිශීලකයන්ට දැනුම් දෙන ලෙස මැස්ටොඩෝන් ඉල්ලීමක් කර ඇත.

මැස්ටොඩෝන්, නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් – www.pcmag.com

නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක්

මැස්ටොඩෝන්, නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් (free and open-source software) ලෙස ක්‍රියාත්මක වේ. එබැවින් ඕනෑම server එකක් හරහා එය බා ගත කිරීමට, නවීකරණය කිරීමට, සහ ස්ථාපනය කිරීමට අවස්ථාව ලැබේ.

මෙම යෙදවුම සඳහා කිසිවකුට ප්‍රකාශන හිමිකමක් නොමැති වීම තවත් විශේෂත්වයකි. කෙසේ වෙතත් මූලාශ්‍රය සඳහන් කිරීමෙන් තොරව ඕනෑම අයකුට මැස්ටොඩෝන් යෙදවුමේ කේතය භාවිත කළ හැකිය යන්න ඉන් අදහස් නොවේ.

මැස්ටොඩෝන් යෙදවුම භාවිතා කිරීමේ දී විවිධ සේවාදායකයන් තෝරාගත හැක – www.mastodon.social

ට්විටර් සමඟ සැසඳීමේ දී මැස්ටොඩෝන් හි අඩුපාඩු

මැස්ටොඩෝන් පරිශීලකයන් සංඛ්‍යාව ට්විටර් පරිශීලකයන් සංඛ්‍යාව හා සැසඳීමේ දී ඉතා සුළු ප්‍රමාණයකි. එය දැවැන්ත ගෝලීය පරිශීලකයන් පිරිසක් ඉලක්ක කරගෙන නිර්මාණය කර නොතිබීම නිසා යම් යම් දෝෂ ඇති වේ. කෙසේ වෙතත් වර්තමානය වන විට එහි පරිශීලකයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ඉදිරියේ දී මේ තත්ත්වය වෙනස් වීමට ද ඉඩ ඇත.

ට්විටර් සමාගමට තරම් පහසුකම් නොමැති බැවින් මැස්ටොඩෝන් නිරන්තර දෝෂයන්ට ලක් වන අතර එය සම්පූර්ණයෙන් අක්‍රිය වන අවස්ථා ද තිබේ. පසුගිය සති කිහිපය තුළ පරිශීලකයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් යෙදවුම ක්‍රියාත්මක වීම තරමක් මන්දගාමී ව සිදු වන බව පරිශීලකයෝ පවසති.

මැස්ටොඩෝන් අතුරු මුහුණත – www.pcmag.com

මැස්ටොඩෝන්හි පළ කළ හැක්කේ මොනවාද?

මතුපිටින් ට්විටර් අතුරු මුහුණතට (Interface) බොහෝ සෙයින් සමාන මැස්ටොඩෝන්, පරිශීලකයන් එහි යොදන පළකිරීම් “toots” යනුවෙන් හැඳින්වේ. ඒවාට පිළිතුරු දීමට (reply), කැමැත්ත පළ කිරීමට (like), නැවත පළ කිරීමට (repost) සහ එම පළකිරීම් හඹා යාමට (follow) පරිශීලකයන්ට හැකියාව ඇත. ට්විටර් හි විවිධ මාධ්‍යයන්ගෙන් පළකිරීම් සිදු කළ හැකි වුවත් මැස්ටොඩෝන් හි පළකිරීම් කළ හැක්කේ ඡායාරූප, වීඩියෝ දර්ශන, හඬපට, සහ ඡන්ද විමසීම් (polls) යන මාධ්‍යයන්ගෙන් පමණි.

එක් පළ කිරිමකට මෙගාබයිට් අටක ධාරිතාවෙන් යුතු ඡායාරූප හතරක් එකතු කළ හැකි ය. වීඩියෝ දර්ශන සහ හඬපටවල උපරිම ධාරිතාව මෙගාබයිට් 40කි. පළ කිරීම් නැරඹිය හැකි ඛාණ්ඩ මොනවද යන්න, උදාහරණ ලෙස සියලු පරිශීලකයන් ද, හෝ තෝරා ගත් පරිශීලකයන් කිහිප දෙනෙක් ද යන්න පළ කිරීම කරන අවස්ථාවේ තීරණය කළ හැක.

මැස්ටොඩෝන් යෙදවුම – www.cnbc.com

සත්‍යාපිත ගිණුම් (verified accounts)

ට්විටර් සහ ෆේස්බුක් වැනි සමාජ ජාලවල මෙන් ගිණුම් සත්‍යාපනය කරගැනීමේ අවස්ථාවක් මැස්ටොඩෝන් පරිශීලකයන්ට නොමැත. සමහර සේවාදායකයන් ඔවුන්ගේ පරිශීලකයන්ට යම් යම් සබැඳි (links) හරහා යම්කිසි ස්වයං සත්‍යාපනය කිරීමක් සඳහා අවස්ථාව සලසා දී තිබේ. සමහර සේවාදායකයන් නිල නොවන ආකාරයෙන් සත්‍යාපනය කිරීමේ අවස්ථා ද සලසා ඇත. උදාහරණයක් ලෙස “mstdn.social” සේවාදායකයා එහි පරිශීලකයන්ට සිය ගිණුමේ නම අසලින් නිල් සහ සුදු සත්‍යාපන සලකුණු සහ වෙනත් එවැනි ඉමෝජි යෙදීමට අවස්ථාව දී තිබේ.

වෙළෙඳ දැන්වීම් රහිත වේදිකාවක්

අනිකුත් සියලුම සමාජ ජාල වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය කිරීම හරහා විශාල ආදායමක් උපයන බව විශේෂයෙන් කිව යුතු නොවේ. මැස්ටොඩෝන් යෙදවුම හරහා එවැනි වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයක් සිදු නොවන නමුත් ඕනෑම අයකුට මෙම යෙදවුම හරහා යම්කිසි සමාගමක්, සන්නාමයක් හෝ නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කිරීමට කිසිදු බාධාවක් නැත. බොහෝ සේවාදායකයන් යෙදවුම භාවිත කිරීම සඳහා මුදල් අය නොකරන නමුත් සමහර සේවාදායකයන් පරිශීලකයන්ගෙන් පරිත්‍යාග ඉල්ලා සිටින අවස්ථා තිබේ.

මැස්ටොඩෝන් පරිශීලකයන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යමින් පවතී – www.mastodon.social

මැස්ටොඩෝන් හි ඉදිරි පැවැත්ම

ට්විටර් යෙදවුමේ හිමිකාරිත්වය වෙනස් වීම සහ නව හිමිකාරිත්වය යටතේ එහි වෙනස්කම් ගණනාවක් සිදු කිරීම නිසා ට්විටර් පරිශීලකයන් විශාල ප්‍රමාණයක් මේ වන විට මැස්ටොඩෝන් යෙදවුම භාවිත කිරීමට පෙලැඹී ඇත. දැනට මිලියනයක් වැනි පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින මෙහි පරිශීලකයන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගියහොත් ඊට සරිලන පරිදි අදාළ ධාරිතා ඉහළ නැංවීමට මෙහි සේවාදායකයන් කටයුතු කරන්නේ ද, ඔවුන්ට එසේ කිරීමට හැකි වේද යන්න අවිනිශ්චිත ය. දැනට ලාභ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන මැස්ටොඩෝන් ඉදිරියේ දී ලාභ ඉපයීම අරමුණු කරගත් යෙදවුමක් බවට පත් වේද යන්න ද අවිනිශ්චිත ය. එවැනි පසුබිමක් මත භාවිත කළ යුත්තේ ට්විටර් ද, එසේත් නැත්නම් මැස්ටොඩෝන් ද යන්න තීරණය කිරීම පරිශීලකයන්ට භාර ය. 

කවරයේ ඡායාරූපය- www.nbcnews.com
මූලාශ්‍ර:
www.bbc.com
www.techcrunch.com
www.cnbc.com
www.joinmastodon.org

Related Articles