විද්‍යාවේ ප්‍රගමනය වෙනුවෙන් කැපවූ විද්‍යෘඥයන් ඕනෑතරම් ඉතිහාසයෙන් සොයාගැනීම අසීරු නැත. ඒ අතරින්ද සිය ජීවිතය පවා අවදානමට ලක් කරමින්, ඇතැම්විට මරණය පෙනී පෙනී පවා විද්‍යාවේ නාමයෙන් පර්යේෂණ කළවුන් සිටින්නේ අතළොස්සකි. එවැනි කැපකිරීම් අප වැන්නන්ට අදහාගැනීමට පවා බැරිතරම් විස්මයජනක ය. ඒ කැපකිරීම් ඇතැම්විට සීමාව ඉක්මවා ගිය උමතු ස්වභාවයකින් යුතු ය.
මේ එවැනි විද්‍යාඥයන් අට දෙනකු ගැන වැඩිදෙනකු නොදත්, විශ්වාසයට ගැනීමට පවා අසීරු එහෙත් සත්‍ය කතා කිහිපයකි.
1). මතය ඔප්පු කරන්නට බැක්ටීරියා පානය කළ බැරී මාෂල්
වෛද්‍ය විද්‍යාව ළදරු අවධියේ පසුවන යුගයක දී බැක්ටීරියා හා වෛරස් වැනි ක්ෂුද්‍ර ජීවින්ට මිනිස් අන්ත්‍රය තුළ ජීවත්විය හැකි බව කිසිවකුත් පිළිගත්තේ නැත. සිය ළමා කාලය ම ගිනිකෙළි නිපදවමින් හා සිය සුරතල් සුනඛයා සැත්කම්වලට ලක්කරමින් ගත කළ ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයකු වූ බැරී මාෂල් විශ්වාස කළේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි.
බැක්ටීරියා මඟින් ආමාශගත තුවාල සාදන බවත්, ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් එකී තුවාල සුවවන බවත් සිය රෝගීන්ට ප්‍රතිකාරකොට ලත් අත්දැකිම්වලින් දැන සිටි බැරී මාෂල් වෛද්‍ය සභාවට සිය මතය ඒත්තු ගන්වනු වස් බැක්ටීරියා ද්‍රාවණයක් තමා ම පානය කළේ ය. දින කිහිපයකින් ඔහුගේ මතය සනාථ කරවිමින් ආමාශගත ආසාදනයක වේදනා සහගත ලකුණු බැරීට පහළ විය. තමාගේ ම ආමාශයෙන් සජීවි පටක කොටසක් (biopsy) වෙන් කර ගත් මාෂල්, ඉන් බැක්ටීරියා වෙන්කොට ගෙන ඊට ගැළපෙන ප්‍රතිජීවක පානය කොට රෝගය සුවකර ගත්තේ ය. ඔහු විඳි දුක අපතේ නොගියේ ඔහුට කායික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානය ද හිමි වීමට එම සිදුවීම මඟපෑදූ නිසා ය.
2). තමාගේ ම හදවතට කැතීටරයක් යවා ගත් වර්නර් ෆ්‍රොස්මන්
1929 වර්ෂය වූකලී හෘද සැත්කම් විද්‍යාව ළදරු අවධියේ දණගාමින් සිටි යුගයකි. හෘද සැත්කම් සම්බන්ධයෙන් තිබුණු දැනුම අවම මට්ටමක පැවති එකල වෛද්‍යවරුන් හෘද රෝගීන්ට ප්‍රතිකාර සිදු කළේ ඔවුන්ගේ ජීවිතය මරණයේ අවදානමට පවා ඇද හෙළමිනි. අද භාවිත වන ‘ඇන්ජියෝග්‍රෑම්‘ ප්‍රතිකාරය පිළිබද මූල බීජය ජර්මානු ජාතික වෛද්‍ය වර්නර් ෆ්‍රොස්මන්ගේ සිත පිළිසිඳ ගත්තේ මෙකල ය. රෝගියාගේ හෘදය විවෘත කරනු වෙනුවට ශිරා ඔස්සේ සිරුරට ඇතුළු කළ කුහරමය නාළයක් ඔස්සේ හදවතට ප්‍රතිකාර කළ හැකි බව වෛද්‍ය ෆ්‍රොස්මන් විශ්වාස කළ ද ඔහුගේ සමකාලීනයන් ඒ බව පිළිගත්තේ නැත.
තම සොයා ගැනීමේ නිරවද්‍යතාව ඔප්පු කිරීමට ඕනෑම අන්තයකට යාමට නොපසුබට වූ ෆ්‍රොස්මන් තමා ම අත්හදා බැලීමකට ලක්කිරීමට තීරණ කළේ හොර රහසේ ය. සැත්කමට අවශ්‍ය මෙවලම් ෆ්‍රොස්මන්ගේ හෙදිය ඔහුට සපයා දුන්නේ පර්යේෂණය ෆ්‍රොස්මන් මත නොව තමා මත සිදුකරන බවට වෛද්‍යවරයා ගිවිස්වා ගැනීමෙන් අනතුරුව ය. පොරොන්දු ප්‍රකාර ව හෙදිය නිර්වින්දනයට ලක් කළ ෆ්‍රොස්මන් මීළඟට වෛද්‍ය ඉතිහාසයේ සිදු කළ දැවැන්තම කායික හා ආත්ම පරිත්‍යාගී හා රැවටීම සිදු කළේ නිර්වින්දනයට ලක්කළ හෙදිය නොව, තමාගේ ම අතක නහරයක් ඔස්සේ කැතීටරයක් හෘදය වෙතට ගමන් කරවීමට සැලැස්වීමෙනි.
අන්ධයකු සේ කෙසේ හෝ හෘදය වෙත කැතීටරය යවා ගත් ෆ්‍රොස්මන්, එක්ස් කිරණ විද්‍යාගාරය වෙත ගොස් කැතිටරයේ ගමන්මඟ දැක්වෙන එක්ස් කිරණ පිටපතක් ද ගැනීමට තරම් එඩිතර වී තිබිණි. ඉන් වසර කිහිපයකට පසු ජීවිතය මරණීය අවදානමකට හෙළමින් කළ සොයා ගැනීම වෙනුවෙන් ෆ්‍රොස්මන්ට වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් සම්මානය පිරිනැමුණේ ය. ඒ යළි කිසිවිටෙකත් සිය හෙදිය සිහිසුන් නොකිරීමටත්, තමා ම අත්හදා බැලීමේ සැත්කම්වලට ලක් නො කරන බවටත් වෛද්‍ය සභාව ඉදිරියේ ගිවිස්වා ගැනීමෙන් අනතුරු ව ය.
3). තර්කය වෙනුවෙන නාසය කපා ගත් ටයිකෝ බ්‍රාහේ
දහසය වන සියවසේ විසු සුප්‍රකට ගණිතඥයකු සේම තාරකා විද්‍යඥයකු ලෙස ද ලෝකය හඳුනන ටයිකෝ බ්‍රාහේ අසාමාන්‍ය ගතිගුණවලින් හා චර්යාවන්ගෙන් හෙබි අයකු බව අප්‍රකට කරුණකි. සිය විනෝදය හා සුරතලය පිණිස මුගටියන් ඇති දැඩි කළ බ්‍රාහේ ක්‍රිස්තු වර්ෂ 1550 දී පැවති රාත්‍රි සම්භාෂණයක දී ආරාධිතයකු සමඟ විවාදයකට පැටළුණේ කිසියම් ගණිතමය සමීකරණයක් මුල් කර ගනිමිනි.
එය කෙතරම් දුරදිග ගියා ද යත් කෝපාවිෂ්ඨ වූ බ්‍රාහේ කිසිවකු හෝ වැලැක්වීමට පෙර සිය විරුද්ධවාදියාට අභියෝග කර සිටියේ තමා හා ද්වන්ධ අසිපත් සටනකට එන ලෙසට ය. ගණිත ශාස්ත්‍රය සම්බන්ධයෙන් කෙතරම් පරතෙරට ගිය දැනුමකින් හෙබි අයකු වුව ද, බ්‍රාහේ කඩු සටනට නම් ආධුනිකයකු විය. සටන නිමා වූයේ ගණිතයේ නාමයෙන් බ්‍රාහේගේ නාස් කපොල්ල කඩු පහරකින් කැපී අහිමි වීමෙනි. බ්‍රාහේ එවක් පටන් මියෙන තුරු ම කෘත්‍රිම ව නිම වූ නාසයක් පැළඳි බව අදටත් වැඩිදෙනකු දන්නේ නැත.
4). සුෂුම්නා නිර්වින්දනයේ පියා ඔගස්ට් බයර්
සාර්ථක සැත්කමක් සදහා රෝගියව ආරක්ෂිත අයුරින් නිර්වින්දනය කිරීම අත්‍යවශ්‍ය ය. වර්තමානයේ ඒ සඳහා භාවිත වන ඉතාම සාර්ථක නිර්වින්දන ක්‍රමයක් වන ‘සුෂුම්නා නිර්වින්දනය‘ ක්‍රිස්තු වර්ෂ 1898 දී හාපුරා කියා ජර්මානු වෛද්‍ය ඔගස්ට් බයර් අනාවරණය කර ගත්තේ සිත්පිත් නොමැති අයුරින් සිය වෛද්‍ය සහායකයකුට පහරදීමෙනි. දියරමය කොකේන් සිය සුෂුම්නා තරලයට එන්නත් කිරීමෙන් සාර්ථක අයුරින් සිරුර හිරිවැට්ටවීමට හැකි බව විශ්වාස කළ බයර්ට ඒ බව ඔප්පු කිරීමට තමා ම නිර්වින්දනයට ලක් කිරීමට අවශ්‍ය විය.
සිය වෛද්‍ය සහායකයාට එම වගකීම පැවරුව ද, ඔහු එය නිසි ලෙස කිරීමට අසමත්වීම ගැන කෝපයට පත්වූ බයර්, සහායකයාගේ පාදයක් හිරි වැට්ටවී ය. ඉන්පසු තමා මත සිදු කරන්නට අදහස් කොට ගෙන සිටි අත්හදා බැලීම සිය සහායකයා මත හේ සිදු කළේ හිරිවැට්ටවීමට ලක් කළ පාදයට තවදුරටත් වේදනාව දැනෙන්නේ ද යන්න පරික්ෂා කිරීමට එයට සිගරට් කොටවලින් පුළුස්සමින් හා යකඩ මිටිවලින් පහර දෙමිනි. අවසානයේ දී කුරිරුකම නිසා සිය සහායකයා අහිමි වූව ද, ඔගස්ට් බයර් සුෂුම්නා නිර්වින්දනයේ පරපීඩාකාර පියා ලෙස විරුදාවලිය ලැබුවේ ය.
5). තමාගේ ම නහර කපා ගත් හෙන්රි හෙඩ්
බ්‍රිතාන්‍ය ජාතික ස්නායු වෛද්‍යවරයකු වූ ශ්‍රීමත් හෙන්රි හෙඩ් පෙළූ දැවැන්ත ම ගැටලුව වූයේ මිනිස් සිරුරේ වේදනාව හටගන්නේ කෙසේ ද යන්න අනාවරණය කර ගැනීමට ය. වසර ගණනාවක් පුරා රෝගීන් සම්මුඛ පරීක්ෂණයන්ට ලක්කොට වුව ද සෑහෙන තරමේ තරමේ විසඳුමක් ලබා ගැනීමට අපොහොසත් වූ කල්හි හෙන්රි හෙඩ් සිය මිත්‍ර ශල්‍ය වෛද්‍යවරයකුගේ සහාය පැතී ය.
ඒ තමාගේ ස්නායුවකින් කොටසක් ඉවත් කරවා ගැනීමට ය. සැත්කමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට චාලක හැකියා කිහිපයක් ම අහිමි වුව ද, ඉන් නොපසුබටවූ හෙඩ්, වේදනාව සම්බන්ධ පර්යේෂණ රාශියක් තමා මත ම සිදු කළේ ඒ පිළිබඳ ලිපි ලේඛන රාශියක් සකස් කරමිනි. ඒ වෙනුවෙන් පසු කලෙක දී ඔහුට නයිට් පදවියක් සේම නොබෙල් සම්මාන නාම යෝජනා රාශියක් ම සඳහා ද නම් විය.
6). නිරාහාරව හිඳ දුෂ්කර ක්‍රියා කළ එල්සි විඩෝසන්
යුද සමයක දී කවර රටක් වුව ද ආර්ථික වශයෙන් මුහුණ දෙන්නේ අතිශයින් ම දරුණු අර්බුදකාරි වාතාවරණයකට ය. දෙවන ලෝක යුද්ධයේ ආරම්භය බ්‍රිතාන්‍යයට ද උදා කළේ අගහිඟකම්වලින් පිරුණු පීඩාකාරි සමයකි. ආහාර සීමාසහිත වීම නිසා රටවැසියන් හාමත් ව සිටිද්දී, මන්දපෝෂණය ගැන බියක් ද රට වෙළා ගත්තේ ය. එකල විසූ පෝෂණවේදිනියක සේ ම ඖෂධවේදිනියක ද වූ එල්සි විඩෝසන්, රටවැසියන්ගේ දෛනික ආහාර අවශ්‍යතාව නිවැරදි ව ගණනය කිරීමට ගත් උත්සාහය කෙළවරවූයේ ඇය තමා ම නිරාහාර ව තැබීමෙනි.
විවිධාකාරයේ අවම ආහාර ප්‍රමාණවලින් යුතු ආහාර වේල් අත්හදා බැලූ විඩෝසන්, මාස කිහිපයක් පුරා ම ආහාරයට ගත්තේ පාන්, ගෝවා, හා අර්තපල් කුඩා ප්‍රමාණයකින් යුතු, අතිශයින් ම සීමාසහිත ආහාර වේලකි. එවැනි අවම ආහාර ප්‍රමාණයකින් ඕනෑම ආකාරයේ වෙහෙසකර වූ ජීවන රටාවක් පවත්වා ගත හැකි බව ඔප්පු කිරීමට ඇය දිනපතා කඳු නගිමින් ද, ඇවිදිමින් ද, දුෂ්කර වූ ව්‍යායාමවල ද නිරත වූවා ය. බ්‍රිතාන්‍යය මුහුණ දුන් යුද සමයට උචිත සීමාසහිත, එහෙත් පෝෂණයෙන් නොඅඩු ආහාර රටාවක් ඇය පිළියෙළ කර දුන්නේ එලෙස තමා ම දුෂ්කර ක්‍රියාවන්ට ලක් කිරීමෙනි.
7). රෝගීන්ගේ වමනය තම තුවාල මත අතුල්ලා ගත් ස්ටබින්ස් ෆර්ත්
විද්‍යාවේ නාමයෙන් තමන්ට ම දරුණු වදහිංසා පමුණුවා ගන්නා ඇතැම් විද්‍යෘඥයන්ට දෛවයේ හාස්කමකට මෙන් කිසිදු අනතුරක් සිදුවුයේ නැති අවස්ථා ද ඉතිහාසයෙන් වාර්තා වී තිබේ. ක්‍රිස්තු වර්ෂ 1793 දී ලෝකය වෙළා ගත්, කහ උණ වසංගතයේ දී මැලේරියා රෝගය පිළිබඳ ව පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය ස්ටබින්ස් ෆර්ත් යනු එවැනි වාසනාවන්තයෙකි. මැලේරියාව බෝවන රෝගයක් නොවන බවට වන අහේතුක විශ්වාසයක එල්බ ගත් ස්ටබින්ස් සිය මතය ඔප්පු කිරීමට මැලේරියා රෝගීන්ගෙන් ලබා ගත් වමනය සිය දෑස්වලත්, තුවාල මතත් අතුල්ලා ගත්තේ දෙවරක් නොසිතා ය.
වමනය පමණක් නොව රෝගීන්ගේ මුත්‍ර හා රුධිර සාම්පල ද ඔහු එලෙස සිරුරේ ස්පර්ශ කර ගත් නමුත් වාසනාවකට මෙන් (ස්ටබින්ස් සිතුවේ ද එය ඔහුගේ වාසනාව කියා ය) ඉන් ඔහුට මැලේරියාව වැලඳුණේ හෝ වෙනත් කිසිදු උපද්‍රවයක් සිදුවුයේ හෝ නැත. මැලේරියාව යනු පහසුවෙන් ම පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවන රෝගයක් බව වර්තමානයේ ප්‍රකට කරුණකි. එසේ නම් ස්ටබින්ස් සිය අත්හදා බැලීම්වලින් ඒ සා අන්තයකට ගිය ද ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් පහළ නොවුනේ මන්ද? ඇතමුන් සිතන්නේ ස්ටබින්ස් ලබාගත් ස්‍රාව සාම්පල, රෝගය බෝවන මට්ටමට පත්ව නැති රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගැනීම ඊට හේතු වන්නට ඇති බව යි. නමුත් ඒ කවර හේතුවක් නිසා වුව ද ස්ටබින්ස් විද්‍යාවේ නාමයෙන් සිය ජීවිතය අවදානමට හෙළීමට ගත් උත්සාහය නම් අවතක්සේරු කළ නොහැක.
8). විද්‍යාවේ නාමයෙන් සිරුර යාන්ත්‍රීකරණයට ලක් කළ කෙවින් වෝර්වික්
විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් ජීවිතයත් මරණයත් අතර දෝලනය වන පර්යේෂණවල නියැළි විද්‍යාඥයන් ගැන වාර්තා වන්නේ අතීතයෙන් ම පමණක් නොවේ. විද්‍යාවේ නාමයෙන් සිය සිරුර යාන්ත්‍රීකරණයට ලක් කිරීමට තරම් නිර්භය වූ නූතන යුගයේ විද්‍යාඥයකු සේම, මහාචාර්යවරයකු ද වන්නේ බ්‍රිතාන්‍ය ජාතික කෙවින් වෝර්වික් ය. රොබෝ විද්‍යෘවට බෙහෙවින් ම ඇළුම් කරන හෙතෙම, එහි ප්‍රගමනය අඩාල වී ඇතැයි යන බියකින් පෙළීමේ ප්‍රතිඵලය වූයේ තමා ම රොබෝවකු බවට පරිවර්තනය කර ගැනීමට උත්සාහ කිරීම යි.
1998 දී RFID චිපයක් සිය අතකට බද්ධ කර ගනිමින්, පරිඝණක, විදුලි පහන් හා ඉලෙක්ට්‍රොනික දොරවල් ආදිය ස්පර්ශ කිරිමකින් තොර ව ක්‍රියාත්මක කිරිමට ඔහු සමත්වූයේ ලොව ප්‍රථම ‘සත්‍යාන්ත්‍රිකයා‘ බවට පත්වෙමිනි. 2002 වන විට සත්‍යාන්ත්‍රික රොබෝ විද්‍යාවේ පරතෙරට ම ළඟා වී සිටි වෝර්වික්, ඉලෙක්ට්‍රොනික උපාංග, සැත්කම් හා තමාගේ ම එඩිතරත්වයේ සංකලනයකින් යුතු ව සිය ස්නායු පද්ධතිය කෘත්‍රිම අතුරුමුහුණතක් හා ඒකාබද්ධ කළ හැකි ද යන්නට තමා ම අත්හදා බැලීමකට ලක් කළේය. ඉන්ද නොනැවතුණු හෙතෙම තමා වැනි ම සත්‍යාන්ත්‍රිකයකු වූ සිය බිරිය සමඟ ඉලෙක්ට්‍රොනික ව හැඟීම් දැනීම් හුවමාරු කරගත හැකි ද යන්න ගැන පවා පර්යේෂණවල නියැළී සිටින්නේ ය.
පර්යේෂණ හා අත්හදාබැලීම් බොහෝවිට අවධානම් සහගත බව සැබෑවකි. නමුත් වෝර්වික් වැන්නවුන් අපට පෙන්වා දෙන්නේ යම් විද්‍යාත්මක න්‍යායයක් ඔප්පුකිරීම වෙනුවෙන් ජීවිතය පවා අවදානමකට හෙළීමට තරම් සීමාව ඉක්මවා ලූ අන්තයකට යෑමට නොපැකිලෙන විද්‍යාඥයන් අදට ද ලොව සිටින බව ය.