මුලතිව් කැලයේ පුරාණ වාරි විස්කම්

මන්නාරම, කිලිනොච්චි, වවුනියා සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක හතරට සහ ඉන්දියන් සාගරයට මායිම් ව ඇති මුලතිව් දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 2,617 ක භූමි ප්‍රදේශයක පැතිර තිබෙනවා. සමස්තයක් ලෙස තැනිතලාවකින් යුත් මේ ප්‍රදේශයේ වියළි හා අර්ධ ශුෂ්ක දේශගුණය නිසා දැඩි උණුසුමක් පවතිනවා. 

මේ වියළි කාලගුණය ජයගෙන ගොවිතැන් කිරීමට පුරාතනයන් භාවිත කළ වාරිමාර්ග අමුණුවල නටබුන් සහ වැව් රාශියක් මෙහි පැතිර තිබෙනවා. ඒ අමුණු කිහිපයක් ම අදත් දැක ගත හැක්කේ වනාන්තර මැද යි. වැඩිදෙනෙක් අවධානය යොමු නොකරන මුලතිව් ජල තාක්ෂණය සොයා ගමන් කරමු.

මුලතිව් වනයේ බෞද්ධ නටබුන්- කුරුන්ද විහාරය – archaeologyceylon.weebly.com

පුරාණ මුලතිව්

පාලි වංශකථාවලට අනුව, පුරාණ කාලයේ මුලතිව් නොහොත් මුල්ලේ-දූව ලෙස හැඳින්වනු ලැබූ මුලතිව්හි ඉතිහාසය අනුරාධපුර මුල් කාලය දක්වා ඇති යන බවට පුරාවිද්‍යා සාධක හමු වී තිබෙනවා. සරාටිකුලම් සහ පරංගියන්ආරු ඇතුළු ස්ථාන කිහිපයකින් හමු වූ ප්‍රාග් ඓතිහාසික ගල්මෙවලම්වලින් පැහැදිලි වන්නේ මධ්‍ය ශිලා යුගයේ පවා මෙහි ජනාවාස පැවති බව යි. ඉන්පසුව පූර්ව ඓතිහාසික යුගයට අයත් ගල්සොහොන් සිඕවැව, ජනකපුර වැනි ස්ථාන කිහිපයකින් හමු වී තිබෙනවා. කෙසේ වුවත් මේවා කැණීම් කර කාලනිර්ණය කර නැහැ.

 අනුරාධපුර යුගයේ මුලදි මුලතිව් අවට වනාන්තර ජනාවාස ව පැවති බව හෙළි කරන වනගත නටබුන් රාශියක් හමුවෙනවා. දැඩි වියළි කාලගුණයක් සහිත මේ ප්‍රදේශයේ ජලවහනය සපයන්නේ මනල් ආරු, පේරාරු, නකගරායන් ආරු, පරංගියන් ආරු, චූරියන් ආරු, පාලි ආරු, හා මාඔය ආරු යන ඔය මාර්ගවලින්. අදත් මෙහි ජලය යොදා ගෙන වී වගාව සිදුවෙනවා. පුරාණ වැව් රාශියක් ද මුලතිව්වල පිහිටා තිබෙනවා.

වැව් පිටියේ ගල්පුවරු – පෞරාණික ස්ථාන සහ ස්මාරක-  මුලතිව් දිස්ත්‍රික්කය කෘතියෙනි.

තන්නිමුරුප්පුකුලම  හෙවත් පුරාණ කුරුන්දන්කුලම වැව

තන්නිමුරුප්පුකුලම (තන්නිමුරුප්පුකුලම්) වැව මුලතිව් දිස්ත්‍රික්කයේ පවතින විශාලත ම වැව් කිහිපයකින් එකක්. නටබුන් ව පැවති එය ඉංග්‍රීසි පාලන සමයේ ප්‍රතිසංස්කරණය කර ඇති අතර අදත් භාවිත කරනවා.  අතීත කුරුන්දාශෝක විහාර භූමිය ඇත්තේ ද මෙම වැවට කිලෝමීටරයක් පමණ නුදුරින්. අප ඒ ගැන ලිපියක් ද පළ කළා. මෙම ස්ථානයට යාමට නැදුන්කේනි සිට මුල්ලියාවෙලි පාරේ ඉදිරියට ගොස් මුල්ලියාවෙලි නාම පුවරුව අසලින් දකුණට ඇති පාරේ යා යුතු යි. 

1895 දී ප්‍රකාශිත ජේ.පී. ලුවිස්ගේ වන්නි දිස්ත්‍රික්කයේ අත්පොත (Manual of the Vanni District by J Penry Lewis) ග්‍රන්ථයේ මෙම වැව සමීපයේ වූ පෙණ පහක් සහිත ශෛලමය නාග රූප කැටයමක් හා ඒ ආසන්නයේම වූ බෞද්ධ විහාරස්ථානයක් පිළිබඳ ව වාර්තා කරනවා. වැව පුරාණයේ කුරුන්දන්කුලම නමින් එකල හඳුන්වා තිබෙනවා. පළමුවන අග්බෝ රජු (575-608) කරවූ කුරුඳු වැව මෙය බවට මත පළ වී තිබෙනවා.

පුරාණ නාග රූපය- පෞරාණික ස්ථාන සහ ස්මාරක-  මුලතිව් දිස්ත්‍රික්කය කෘතියෙනි

තුන්වන මිහිඳු රජුගේ (801-804) කාලයේ දී වැවේ ජලය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් රජු විසඳා තම බිරිය හා දියණිය සමඟ මෙම ස්ථානයට පැමිණ ශිලා ලිපියක් ස්ථාපනය කොට ඇති බව සඳහන් වෙනවා. එම ලිපියෙහි සඳහන් වන අයුරින් කුරුන්ගම නැමැති නගරයක් පිළිබඳ ව සෙල් ලිපියෙහි සඳහන්. එහි අක්ෂර දෝෂ ඇති නම් නිවැරදි නොකරන ලෙසටත් නියෝගයක් නිකුත් කරමින් ශිලා ලිපිය මෙහි සිටුවා තිබෙනවා. ලුවිස් මෙම ස්ථානය සොයා ගන්නා විට දී මෙම ලිපිය කැබලි 4කට කැඩී තිබූ බව සඳහන් කරන අතර අද වනවිට එම ශිලා ලිපිය දැකගත නොහැකි යි. 

ආර්. එල්. බ්‍රොහියර් 1900 මුල් කාලයේ වැව පැවති ආකාරය ලක්දිව පුරාතන වාරිමාර්ග පොතේ මෙසේ සඳහන් කරනවා:

‘‘ නයිආරු මිටියාවතේ සිතියම්වල තන්තිමුරුප්පුකුලම් නමින් සඳහන් කර තිබෙන පාළුවට ගොස් නටබුන් වී තිබෙන ඉතා ලක්ෂණ වැවක් ඇත්තේ ය. මෙම ශක්තිමත් කර්මාන්තයෙහි බැම්ම උතුරු දකුණු දෙසට පිහිටා තිබේ. …දැනට වැව් බැම්ම සහ පුරාණ කුඹුරුත් ඇතුළුව වැව පිහිටි බිම ඝන කැලෑවකින් වැසී තිබේ. මෙයාකාරයෙනන් පුරාණ වටිනා දේපලක් නොපෙනී සැඟව තිබුණු බව පෙනේ‘‘ ( ලක්දිව පුරාතන වාරිමාර්ග ( 2 කොටස) –  පරි. එල්. පියසේන,  පිට 22).

වර්තමාන සොරොව්ව

වැව් බැම්මේ උතුරු දෙසින් වර්තමාන සොරොව්ව දැකගත හැකි යි. මේ අසල වැව් ඉස්මත්තේ යම් ක්‍රමයකට සකසා තිබුණු බව සැක කළ හැකි විශාල ගල් පුවරු සමූහයක් තැන තැන පැතිර තිබෙනවා.  එම ගල්පුවරු එකිනෙකට වැද්දීම සඳහා කුඩුම්බි සිදුරුවලින් ද ගල් මුහුණතට යෙදූ කැපුම්වලින්ද යුක්ත යි.  මෙම වැවේ නැඟෙනහිරට දිශානුගත ව තවත් පුරාණ අමුණක නටබුන් පිහිටා තිබෙනවා. මේ ආසන්නයේ පෙණ 5ක් සහිත ශිලාමය නාග රුවක් ද  දැක ගත හැකි යි. එම රුව මැත අතීතයේ දී  සිමෙන්තියෙන් පිළිසකර කර නැවත සිටුවා තිබෙනවා.

අමුණේ ගල්පුවරු- amazing lanka.com 

වෙඩිවෙට්ටුකල්ලු

මුලතිව් වෙඩිවෙට්ටුකල්ලු ප්‍රදේශයට වවුනියාවේ සිට කිලෝමීටර 35ක් පමණ ද, පදවියේ සිට කිලෝමීටර 25ක් පමණ ද දුර යි. මෙම මාර්ග ද්විත්වය ම වැටී ඇත්තේ දුෂ්කර ගම්මාන, බොරළු මාර්ග හා ඝන වනාන්තරය හරහා යි. මෙම ස්ථානයට  වව්නියාවේ සිට ළඟා වීමට ඇටඹගස්කඩ මාමඩුව හරහා කිලෝමීටර් 35 ක් පමණ ගමන් කළ යුතු යි. පදවිය දිශාවෙන් ගමන් ගන්නවා නම් වැලිඔය දක්වා ගමන් කොට, වැලිඔය මා ඔය හරහා ඇති පාලම පසුකොට නැදුන්කේනි දිශාවට හරවා එම මාර්ගයෙන් 623වන බල සේනා මූලස්ථානය දිශාවට ඇති වෙඩිවෙට්ටුකල්ලු  දක්වා දිවෙන බොරළු මාර්ගය ඔස්සේ කිලෝමීටර 9ක් පමණ ගමන් කළ යුතු යි. 

වෙඩිවෙට්ටුකල්ලු හා වැලිඔය මාර්ගයට යාබද ව වනය තුළ සැඟ වී ඇති මෙම අමුණ කිවුල් ඔයෙහි අතු ඔයක් හරස් කර බැඳි විශාල ප්‍රමාණයේ අමුණක්. භූමිය මතුපිට සිට මීටර 1.5 ක් පමණ උසින් යුත් මෙම අමුණ දිගින් මීටර් 40ක් ද, පළලින් මීටර 8ක් පමණ ද වෙනවා. එක ස්ථානයක ගල් කුට්ටි උඩින් ගඩොල් ඉදිකිරීමක් හෝ පැතිරීමක් සිදු කර ඇති බව දක්නට ලැබෙන බැවින් මෙය පාලමක් ලෙස ද එකල භාවිත වූ බව සැලකිය හැකි යි.  මෙහි කණු පාදම් වළක් ද දක්නට ලැබෙනවා.  

 

ගල්කුට්ටිවලින් තැනූ අමුණ- amazing lanka.com 

පෙරාරු අමුණ

පෙරාරු යන නමින් හැඳින්වෙන ඔය වවුනියා දිස්ත්‍රික්කයේ නැඟෙනහිර ප්‍රදේශයෙන් ආරම්භ වී මුලතිව්හි නන්දිකඩාල් කළපුවෙන් මුහුදට එක්වෙනවා. එම ඔය හරස් කර තැනූ අමුණක් නිසා පෙරාරු අමුණ නමින් හැඳින්වෙනවා. මෙම නටබුන්  පිහිටා ඇත්තේ  ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මුතියන්කට්ටුව  ග්‍රාම නිලධාරී වසමේ යි.

ඔඩ්ඩුසුඩාන් පුදුකුඩඉරිප්පු මාර්ගයේ කිලෝ මීටර් 12.5ක්  පමණ ගමන් කර 641 හමුදා මූලස්ථානය අසලින් වටම හැරී කිලෝ මීටර් 15ක් ගමන් කළ පසු මුතියන්කට්ටුව හන්දිය හමුවෙනවා. එතැන සිට ඔඩ්ඩුසුඩාන් පාරේ කිලෝ මීටර් 2ක දුරින් අමුණ පිහිටා තිබෙනවා. 

වනගත අමුණේ බැම්ම -amazing lanka.com 

   අමුණ සෑදීමට භාවිත කළ ශිලා පුවරුවල ඇති ගල්කටු සිදුරුවල හැඩය අනුව මෙය අනුරාධපුර යුගයේ නිර්මාණයක් බව පැහැදිලි යි. අමුණේ ඉවුරු දෙකෙන් එක් ඉවුරක් බොරදම් හා ගල් කුට්ටි භාවිතයෙන් ක්‍රමානුකූලව සකස් කර තිබෙන බව පේනවා. ස්වභාවික ගල් තලාව උපයෝගී කරගෙන අවශ්‍ය ස්ථානවලට පමණක් බැමි යොදා දෙවන බැම්ම සකසා තිබෙනවා.

දිය පහර හරහා බැඳී අමුණේ ගල් මෑතක දී ගරා වැටිලා. ස්වභාවික ගල්තලාවක් පිහිටා තිබීම නිසා පෙරාරු ඔය පළලින් අඩුවී පටු වන ස්ථානය වන මෙම ගල්තලාව පිහිටි තැන අමුණ නිර්මාණය කිරීමට පුරාතන වාරි ශිල්පීන් තෝරා ගත් බව පැහැදිලි වෙනවා.  

 වන්නඩි අමුණ

වන්නඩි අමුණ තිබෙන්නේ මුලතිවු දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වැලිඔය ග්‍රාමයේයි. මෙය මහ කැලයක් තුළින් ගලාබස්නා  දියපහරක් හරස් කරමින් කළුගල් යොදාගෙන ඉදි කර තිබෙන්නක්.  මෙම ස්ථානයට ළඟාවීම සඳහා පදවිය පරාක්‍රමපුර සිට වැලිඔය මාර්ගයේ ගමන් කර  වැලිඔය පාලම පසුකර මීටර් 500 පමණ ඉදිරියට ගමන් කළ යුතුයි. එහිදී   මාර්ගයෙන් වම් පසට හැරී තවත් කිලෝ මීටර් 1 .5 ක් පමණ ගමන් කර විට   පුරාවිද්‍යා සාධක සහිත ස්ථානයට ළඟාවීමට පුළුවන්.

7 වන්නඩි අමුණ – amazing lanka.com 

 අමුණ ගොඩනැඟීමට  ගත් ගල් කුට්ටි මත ඇති ගල්කටු සලකුණුවලින් පෙනෙන්නේ මෙම අමුණත් අනුරාධපුර යුගයට අයත් බව යි. වන්නති පාලම, වන්නඩි පාලම යන නම්වලින් ද හඳුන්වන මෙය තනා ඇත්තේ කිවුල් ඔය හරස් කිරීමෙන්. අමුණ දිගින් මීටර 200ක් ද පළලින් මීටර 9ක් හා උසින් මිටර 2.5කින් යුක්ත යි. මෙහි එක් ගල් කුට්ටියක් සෙන්ටිමීටර 60ක් පමණ පළල සහ මීටර 1.8 ක පමණ දිගකින් යුක්ත යි. 

 විශාල ගල්කුට්ටි

 විශාල ගල්කුට්ටි භාවිතයෙන් ඉදිකළ අමුණේ උතුරු අන්තයේ ගල්කුට්ටිවලට ඉහළින් ගඩොල් යොදා තිබුණු බවට සාධක හමු වෙනවා. ඔය හරහා ගමන් කිරීමට අමුණ පාලමක් සේ භාවිත කළ බව ද පෙනෙනවා.  

පදවිය වැවේ එක්රැස් වන අමතර ජලය ගලා යන්නේ මා ඔය ඔස්සේ යි.  මා ඔය කෝකිලායි කළපුවෙන් මුහුදට එක් වෙනවා. මෙම ජලපහර හරස් කොට සෑදූ අමුණෙන් ජලය එතැන් සිට වැලි ඇල ඔස්සේ පහළ පිහිටි නික වැව, කිරිඉබ්බන් වැව, ආදී වැව් පෝෂණයට යොදා ගෙන තිබෙනවා. 

මුලතිව් පැරණි වැව් මෑතකදී  ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවක් -dinamina.lk

අමුණට කළුගල් සැපයූ ස්ථානය ලෙස සලකන්නේ ඊට කිලෝ මීටරයක් ඈතින් පරාක්‍රමපුර සිට වැලිඔය මාර්ගය අසබඩ වැලිඔය පුරාණ විහාරයේ ලෙනට පිටුපසින් ඇති පුරාණ ගල් කොරිය යි. එතැන කුට්ටි කළ නමුත් ප්‍රයෝජනයට නොගත් ගල් කුට්ටි කිහිපයක් ද දැකගත හැකි යි. ඒවා වන්නඩි අමුණේ ගල් හා සමාන යි. මෙහි ජලය පිට කිරීමට සෑදූ දොරටු දෙකක නටබුන් අදත් දක්නට ලැබෙනවා.දැනට ස්ථාන තුනකින් අමුණේ  ගල් කඩාවැටී  තිබෙනවා.  

දැනට ගල්වංගුව ලෙස හඳුන්වන ප්‍රදේශය හරහා වැටී තිබුණු පුරාණ ගමන් මාර්ගයක් මේ පාලම හරහා ගිය බව ජනප්‍රවාදයේ පැවසෙනවා.  අමුණ අවසන් වන ස්ථානයේ ස්ථුපයක නටබුන්ද පිහිටා තිබෙනවා. මෙම මහා වාරිවික්‍රමය කළේ කවුරුන්දැයි කිසිම ඓතිහාසික සාධකයක් නම් තව ම හමු වී නැහැ.   

කවරයේ ඡායාරූපය- වන මැද පිහිටි වන්නඩි අමුණ - amazing lanka.com
මූලාශ්‍ර:
amazing lanka.com
පෞරාණික ස්ථාන සහ ස්මාරක- මුලතිව් දිස්ත්‍රික්කය - කල්ප අසංග, අයි. පී. එස්. නිශාන්ත, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ලක්දිව පුරාතන වාරිමාර්ග- ආර්. එල්. බ්‍රොහියර්, පරි. එල්. පියසේන

Related Articles

Exit mobile version