විහාර බිමකට පිය නගන ඔබ, බෝ මළුවේ තැනින් තැන විවිධ වර්ණැති මල් සමග බුලත් කොළ මත තබා දල්වන ලද පහන් අනන්තවත් දැක තිබෙන බවට සැකයක් නැහැ. මේවා බොහෝමයක් නවග්‍රහ අපල දුරු කර ගැනීමේ අරමුණෙන් දල්වන ලද ඒවා යි. බෝධීන් වහන්සේගේ අතු අග එල්ලා ඇති නොයෙක් වැකි ලියන ලද කොඩි වැල් එයට සාක්ෂි සපයනවා.
‘නවග්‍රහ අපල’ සංකල්පය බුදු දහමට ඇතුළු වන්නේ හින්දු දහමේ අභාෂයෙන්. වේද ග්‍රන්ථ මතින් ගොඩ නැගුණු හින්දු ජ්‍යෝතිෂ ශාස්ත්‍රය අනුව ග්‍රහයන් නව දෙනෙකුගේ පිහිටීම සහ ඔවුන්ගේ බලපෑම, ලෝකය සහ එහි වාසීන්ගේ කටයුතු සඳහා බලපානවා. ඒ අනුව හින්දු භක්තිකයන්ගේ විශ්වාසය වුණේ යම් අයෙක් උපන් මොහොතේ නවග්‍රහයින් පිහිටන ආකාරය සහ ඒවායේ වෙනස් වීම මත ඔහුගේ ජීවිතයේ වැදගත් සිදුවීම් තීරණය වන බව යි. මේ නිසා සෑම විට ම නවග්‍රහයින් සහ ඒවාට අධිපති දෙවිවරුන් මිත්‍රශීලි ව තබා ගැනීමට කෙරෙහි ඔවුන් අවධානය යොමු කර තිබෙනවා.
ග්‍රහයන් නිසා නම් ලද දෙවිවරු
10 වැනි සියවසට අයත් නවග්‍රහයින් දැක්වෙන කැටයමක්
හින්දු භක්තිකයන් අතීත කර්මයන් සහ උපතේ දී ඇති වූ දෝෂයන් හේතුවෙන් හට ගන්නා අවාසනාවන්ත තත්ත්වයන් මග හරවා වාසනාව ළඟා කර ගැනීමේ අරමුණෙන් නවග්‍රහයින් සඳහා පුද පූජා පවත්වනවා. මේ සඳහා නවග්‍රහයින් වෙනුවෙන් වෙන් කළ දේවාල පවතින අතර ඒවා බොහෝමයක නවග්‍රහයින් නිරූපණය කරන දේව රූප දැක ගත හැකි යි. මෙයින් දෙවිවරු හත් දෙනෙකු සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අනුව නම් කර තිබෙන අතර ඔවුන් හින්දු දින දර්ශනයේ දැක්වෙන දින හත සමග ද අනුරූප වෙනවා.
අනෙකුත් දෙවිවරු දෙදෙනා වන රාහු සහ කේතු සත්‍ය වශයෙන් ම දෙවිවරු නොව ප්‍රෝඩාවන් මගින් දේව මණ්ඩලයේ ස්ථානයක් ලබා ගැනීමට සමත් වූ යක්ෂයින් දෙපළක්. ඔවුන් ව නිරූපණය කිරීමට වර්තමානයේ දී යොදා ගන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අඳුරු සහ දුරස්ථ ග්‍රහයින් වන නෙප්චූන් සහ ප්ලූටෝ යි. රාහු සහ කේතු ග්‍රහ පද්ධතියේ පිහිටා ඇති ස්ථානය සහ ඔවුන් අනෙකුත් ග්‍රහ දෙවිවරුන් සමග සම්බන්ධතා පවත්වන ආකාරය අනුව කිසියම් අවස්ථාවක ශුභ සහ අශුභ බව තීරණය වෙනවා.
1. සූර්ය
සූර්ය හෙවත් හිරු දෙවිඳුන්, රවි යන නාමයෙන් ද හඳුන්වනවා. අනෙකුත් ග්‍රහයින් සමග නිරූපණය කිරීමේ දී සියලු දෙනා මධ්‍යයේ නැගෙනහිර දෙසට හිස හරවාගෙන සිටින ආකාරයට දක්වා ඇති රවි, බොහෝ විට අසුන් සත් දෙනෙකු විසින් පදවාගෙන යන තනි රෝදයක් සහිත රියක අසුන්ගෙන සිටිනවා. එම අසුන් සත් දෙනා මගින් සංකේතවත් කරන්නේ සූර්යාලෝකයේ ඇති සත් වර්ණ සහ සතියේ දින හත යි. ඉරිදා දිනට අධිපති රවි, ග්‍රීක මිථ්‍යාවන් හි සඳහන් හීලියෝස් දෙවිඳුන්ට සමානකමක් දක්වනවා.
2. චන්ද්‍ර
සඳෙ හි පුර පක්ෂය සහ අව පක්ෂය නිරූපණය කරමින්, කිසිම විටෙක සම්පූර්ණ පුද්ගලයෙකු ලෙස නොදක්වන චන්ද්‍ර හෙවත් සෝම, සඳුදාට අධිපති දෙවියා යි. නවග්‍රහ මණ්ඩලයේ ඊශාන දිශාවට වන්නට දෑතින් නෙළුම් මල් දෙකක් දරා සිටින අසුන් දස දෙනෙකු පදවාගෙන යන රියක නැගී සිටින පුරුෂයෙකුගේ උඩුකය සිතුවමක් ලෙස චන්ද්‍ර ව නිරූපණය කරනවා.
3. මංගල
බැටළුවෙකු පිට නැගී ගමන් කරන මංගල හෙවත් අංගාරක, අඟහරුවාදාට අධිපති දෙවියා යි. අත් හතරක් සහිත බිහිසුණු දෙවි කෙනෙකු වන ඔහු, අත් දෙකකින් අත් මුගුරක් සහ හෙල්ලක් දරා සිටින අතර අනෙක් අත් දෙක අභය සහ වරද මුද්‍රාවන් නිරූපණය වන ආකාරයට පිහිටුවාගෙන සිටිනවා. අඟහරු හෙවත් රතු ග්‍රහයාට අධිපති වීම නිසාවෙන් ඇතැම් විටක නවග්‍රහ මණ්ඩලයේ නැගෙනහිර දෙසට වන්නට ස්ථානගත වී සිටින මංගල ව, ලෝහිත් ලෙස ද හඳුන්වනවා.
4. බුධ
බදාදාට අධිපති, බුධ දෙවිඳුන් ස්ථානගත වී සිටින්නේ නවග්‍රහ මණ්ඩලයේ වයඹ දෙසට වන්නට යි. මංගල මෙන් ම අත් සතරක් හිමි ඔහු, අත් ත්‍රිත්වයකින් කඩුවක්, පලිහක් සහ අත් මුගුරක් දරා සිටිනවා. ඔහුගේ අනෙක් අතින් වරද මුද්‍රාව නිරූපණය කරනවා. ඇතැම් විටෙක සඳුගේ පුත්‍රයා යන අරුතෙන් සෞම්‍ය ලෙස හඳුන්වන ඔහු සුදු පැහැ සිංහයෙකු විසින් පදවන රියක නැගී ගමන් කරනවා.
5. ගුරු
දෙවිවරුන්ගේ ගුරුවරයා ලෙස ඍග් වේදයේ ඉමහත් පැසසුමට ලක් කර ඇති ගුරු හෙවත් බ්‍රහස්පති, අසුන් අට දෙනෙකු විසින් පදවාගෙන යන රියක නැගී ගමන් කරනවා. හින්දු සාහිත්‍යයට අනුව එම අසුන් අට දෙනා මගින් දැනුමේ ශාඛාවන් අට නිරූපණය වෙනවා. ගුරු ස්ථානගත වී සිටින්නේ නවග්‍රහ මණ්ඩලයේ බටහිර දෙසට වන්නට යි.
6. ශුක්‍ර
සිකුරු ග්‍රහයා මගින් නිරූපණය කරන සිකුරාදාට අධිපති ශුක්‍ර සැලකෙන්නේ යක්ෂයින්ගේ ගුරුවරයා ලෙස යි. ශුක්‍ර නීති නම් ග්‍රන්ථයේ කතුවරයා ලෙස සැලකෙන ඔහු, නවග්‍රහ මණ්ඩලයේ උතුරු දෙසින් ස්ථානගත වී සිටිනවා. අත් සතරක් හිමි ශුක්‍ර, ඒවායින් යෂ්ටියක් ද නවගුණ වැලක් ද රනින් තැනූ බඳුනක් ද දරාගෙන සිටින අතර ඔහු ගමන් කරන්නේ අසුන් අට දෙනෙකු පදවාගෙන යන රන්වන් හෝ රිදීවන් රථයක යි.
7. ශනි
නවග්‍රහ මණ්ඩලයේ සිටින කලබලකාරීම සහ කරදර ගෙන දෙස දෙවි කෙනෙකු වන ශනි, සෑම විටම අශුභ ඵල ගෙනෙන බව හින්දු විශ්වාසය යි. ඔහු බොහෝ විට කුළු හරකෙකු විසින් පදවාගෙන යන රථයක හෝ ගිජුලිහිණියෙකුගේ පිට මත ගමන් කරනවා. අත් හතරක් සහිත සෙනසුරාදාට අධිපති ශනි, එක් අතකින් වරද මුද්‍රාව දක්වන අතර අනෙක් අත්වලින් ඊතලයක්, දුන්නක් සහ හෙල්ලක් දරා සිටිනවා. නවග්‍රහ මණ්ඩලයේ ශනිට හිමි දිශාව වන්නේ දකුණ යි.
8. රාහු
පෙනුමක් තරමක් දුරට බුධට සමාන වන රාහු ගමන් කරන්නේ අඳුරු නිල් හෝ කළු පැහැ සිංහයෙකු මත යි. නවග්‍රහ මණ්ඩලයේ බොහෝ දෙවිවරුන් මෙන් ම ඔහු ද අත් හතරකින් යුතු වන අතර එක් අතකින් වරද මුද්‍රාව ද අනෙක් අත්වලින් කඩුවක්, හෙල්ලක් සහ පලිහක් දරා සිටිනවා. රාහු සහ කේතු යන දෙදෙනා ම සැලකෙන්නේ සත්‍ය ග්‍රහයින් ලෙස නොව සෙවණැලි ග්‍රහයින් ලෙස යි. නවග්‍රහ මණ්ඩලයේ රාහුට හිමි ස්ථානය වන්නේ ගිනිකොන දිශාව යි.
9. කේතු
නවග්‍රහ මණ්ඩලයේ නිරිතදිගට වන්නට ස්ථානගත වී සිටින කේතු පැරණි සාහිත්‍යයේ ඇතැම් අවස්ථාවල දී ධූම කේතු ලෙස ද හඳුන්වා තිබෙනවා. එයට හේතු වන්නේ අතීතයේ දී කේතු ව දැක්වීම සඳහා ධූම කේතුවක් හෙවත් වල්ගා තරුවක් යොදාගෙන තිබීම යි. සාමාන්‍ය යෙන් කේතු ව දැක්වීම සඳහා ඔහුගේ සිරුරට සර්ප වල්ගයක් එක් කර තිබෙනවා. අත් මුගුරක් දරා සිටින කේතු ගමන් කරන්නේ ගිජුලිහිණියෙකුගේ පිටේ යි.
කවරයේ පින්තූරය : (© Bharath Joshi)