
කාන්තාරයක් ලෙස හැඳින්වෙන්නේ ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භූමියකි. මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 250 ට වඩා අඩු වේ. එලෙස ලැබෙන සුළු වර්ෂාපතනයෙන් එකතු වන ජලයද දැඩි හිරු රශ්මිය හේතුවෙන් වාෂ්පීකරණය වේ. කාන්තාර වල ශාක හා සතුන්ගේ විවධත්වය අඩු මට්ටමක පවතින්නේ බොහෝ විට ඒවාට අවශ්‍ය පාරිසරික සාධක හරිහැටි නොලැබීම හේතුවෙනි. ලෝකයේ ශීත කාන්තාර, කඳුකර කාන්තාර, ධ්‍රැවීය කාන්තාර, මධ්‍ය අක්ෂාංශිය ආදී ලෙස කාන්තාර වර්ග බොහොමයක් පවතී. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ කාන්තර වලට පොදු වූ ඉහත ලක්ෂණ සහිත කලහාරි කාන්තරය පිළිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.
පිහිටීම හා භෞතික ලක්ෂණ

worldatlas.com
කලහාරි කාන්තාරය පැතිරී ඇත්තේ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා හා නැම්බියා යන රටවල් අතර වේ. තෙතමයක් නොමැති සානු භූමියක් වන මෙය ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 259 000ක් පමණ වේ. මෙහි බොහෝ විට දැකිය හැක්කේ රතු පැහැයට හුරු වැලි වේ. මෙම පසේ කාබනික ද්‍රව්‍ය එතරම් ප්‍රමාණයක් අඩංගු නොවේ. කලහාරි කාන්තාරයේ ඇති වැලි අධික වියළි තත්වයකින් යුතු වන අතර දැඩි ලවණතාවයකින් යුතු වීම නිසා ඇතැම් ගස් කොළන් සඳහා මෙම වැලි විෂ සහිත වේ.
කාලගුණය

tourismkit.com
කලහාරි කාන්තාරයේ නිරිත දිග කොටස වඩාත් වියළි බවින් යුතු වේ. එහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 250 ට වඩා අඩු වන අතර ජලය වාෂ්පීකරණ වේගය වර්ෂාපතන වේගය මෙන් දෙගුණයක් වේ. නමුත් කාන්තාරයේ ඊසාන කොටසට සැලකිය යුතු ප්‍රමාණයක වර්ෂාපතනයක් ලැබෙන අතර එම ප්‍රදේශය කාලගුණික සාධක පදනම් කර ගනිමින් කාන්තාරයක් ලෙස අර්ථ දැක්වීම අපහසු වේ. නමුත් බැලූ බැල්මට ඊසාන කොටසත් ඉතා වියළි වැලි පසක් ඇති ප්‍රදේශයක් ලෙස පෙනී යන්නේ වර්ෂාව ලැබී අවසන් වූ විගස මතු පිට ඇති ජලය ගැඹුරට ගිලා බැසීම නිසාවෙනි. කලහාරි කාන්තරය සඳහා ලැබෙන වර්ෂාවෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ග්‍රීෂ්ම අකුණු කුණාටු වලිනි. ශීත කාලයෙදී මෙම කාන්තාරය අධික වියළි බවින් යුතු වේ. ඇතැම් විට මාස 6 ත් 8 ත් අතර කාලයක් වර්ෂාපතනය නොලැබේ. කලහාරි කාන්තාරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ත් 46 ත් අතර පවතී. ශිත කාලයේදී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක -12 ක් දක්වා පහත බසී.
ශාක හා සත්ව ප්‍රජාව

discoverafrica.com
කලහාරි කාන්තාරයේ ප්‍රධාන වශයෙන් දැකිය හැක්කේ තෘණ වර්ග හා කුඩා පඳුරු ශාකයි. තෙතනමයක් සහිත ඊසාන දිග ප්‍රදේශයේ කුඩා දැව වනාන්තර දක්නට ලැබේ. මෙම වනාන්තර වල දැකිය හැකි ප්‍රධාන ශාකය වන්නේ camelthorn ශාකයයි. මෙම ශාකය කලහාරි කාන්තාරයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී ඇත්තේ මෙම ශාකයේ සීමාව වටා අනෙකුත් ශාක වැඩීමට අවශ්‍ය පෝෂණ කොටස් මෙය මඟින් නිපදවීමත්, බොහෝ සතුන් සෙවණ සොයා මෙම ගස් යටට පැමිණීමත් යන කරුණු දෙක නිසාවෙනි. මීට අමතරව මෙම ප්‍රදේශයේ වැවෙන අනෙකුත් ශාක ලෙස shepherd’s ශාකය, blackthron, silver cluster-leaf දැක්විය හැක.
කලහාරි කාන්තාරයේ දැකිය හැකි සතුන් ලෙස අප්‍රිකානු කැලෑ බල්ලා, කැලෑ ගව වර්ග, springbok වැනි සතුන් දැක්විය හැක. පරපෝෂිතයින් වන කලහාරි සිංහයින්, දිවියන්, නරියන් වැනි සතුන්ද මෙහි දැකිය හැක. මෙහි සිටින උරගයින් වන්නේ සර්පයින් වර්ගයි. මෙහි සිටින සතුන් බොහොමයක් සංක්‍රමණික සතුන් ලෙස දැක්විය හැක. විශේෂයෙන්ම කුරුළු වර්ග මෙම කාන්තාරයේ වසරෙන් කොටසක් පමණක් ජිවත් වී වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වේ. මෙහි සිටින කුරුළු වර්ග කීපයක් ලෙස උකුස්සා, බකමූණා, ලිහිණියන් දැක්විය හැක.
අතීතයේ මෙහි මිනිසුන් ජිවත් වුණි ද?

kalaharidesert.net
වසර දහස් ගණනකට පෙර කලහාරි කාන්තාරයේ මිනිසුන් ජීවත් වූ බවට සැලකේ. ඒ වන විට මෙහි ජලය පිරුණු විල් හා පොකුණු සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු බව පැවසේ. වර්තමානය වනවිට එම විල් තිබුණු ස්ථාන වල ලුණු ස්තර ඉතිරි වී තිබේ. උදාහරණයක් ලෙස එකල පැවති makgadikgadi නම් විශාල විල ආශ්‍රිතව වර්තමානයේ විශාල ලුණු ස්තර දැකිය හැක.
1885 වසරේ Guille නමැති ගවේශකයා කලහාරි කාන්තාරයේ පිහිටා ඇති ගල් නිර්මාණය වීම පිළිබඳ කෘතියක් පළ කරන ලදී. ඔහුගේ මතයට අනුව එම ගල් සහිත ස්ථානයේ එකල නගරයක් පිහිටා තිබෙන්නට ඇත. නමුත් වෙනත් කිසිදු ගවේෂකයෙකුගේ මතය අනුව ඒවා නගරයක නටබුන් නොවන අතර හුදෙක්ම ස්වභාවිකව කාන්තාරයේ නිර්මාණය වූ ගල් පමණි.
පිහිටා ඇති ස්වභාවික සම්පත්

safari365.com
කලහාරි කාන්තාරය තුළ විශාල ගල් අඟුරු, තඹ, නිකල්, හා යුරේනියම් නිධි පිහිටා තිබේ. මීට අමතරව ලෝකයේ පිහිටා ඇති විශාලම දියමන්ති පතලක් කලහාරි කාන්තාරයේ ඊසාන ප්‍රදේශයේ ඇති makgadikgadi වල පිහිටා තිබේ. කාන්තාරය අවසාන කෙළවරේ ඇති pomfret වල යටි පසේ ඇස්බැස්ටෝස් ඇති බව සොයාගෙන ඇත.
වර්තමානයේ ජිවත් වන මිනිසුන්
කලහාරි කාන්තාරයේ ජීවත් වීම තරමක අභියෝගාත්මක කරුණක් වුවත් මෙහි ගෝත්‍රික ජන කොටස් කීපයක්ම ජිවත් වේ. මෙම ජන කණ්ඩායම් ලෙස San bushmen, Kung, khomani, khios, nama,griqua දැක්විය හැක. San bushmen වරුන් කලහාරි කාන්තාරයේ ජිවත් වීම ආරම්භ වී ඇත්තේ මීට වසර 25 000 කට පමණ පෙර සිටයි. මෙම ජන කොට්ඨාසයේ මිනිසුන් අතලොස්සක් තවමත් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ක්‍රමයන් අනුගමනය කරමින් දඩයම් කරුවන් ලෙස ජිවත් වේ. kung ජන කොට්ඨාසය ද San bushmen ජන කොට්ඨාසය මෙන් පාරම්පරික දඩයම් කරුවන් වේ.
කවරයේ පින්තුරය – audleytravel.com