Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Final Destination චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා

මහා මාර්ගයේ ගමන් කරන අවස්ථාවක තමා ඉදිරියෙන් දැව ප්‍රවාහනය කරන විශාල ට්‍රක් රථයක් ඇස ගැටුණොත්, කිසියම් චිත්‍රපටයක දර්ශනයක් ඔබට නිතැනින් ම සිහිවෙනවා ද?

ඔබේ අනුමානය බොහෝ දුරට Final Destination චිත්‍රපට මාලාවේ එන දර්ශනයක් සමඟ සමපාත වෙනවා ඇති. අධිවේගී මාර්ගයක ගමන් කරන ට්‍රක් රථයක් නිසා සිදු වන බිහිසුණු අනතුරක් ඉතා තාත්ත්වික අන්දමින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට Final Destination හි නිර්මාණකරුවන් සමත් වුණා. එය අදටත් අධි අස්වාභාවිකත්වය සමඟ කැටි ව එන ත්‍රාසජනක කාණ්ඩයේ චිත්‍රපට නැරඹීමට ආසා කරන බොහෝ දෙනකුගේ මතකයේ තිබෙන දර්ශනයක්. 

අදටත් මතකයේ රැඳෙන බිහිසුණු දර්ශනයක් Final Destination දෙවැනි චිත්‍රපටයේ අඩංගු යි – screenrant.com 

නැවුම් සංකල්පයක්

Final Destination යනු ත්‍රාසය නවමු මානයකින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ චිත්‍රපට මාලාවක්. එහි බිය කැඳවා ගෙන එන භීෂකයා වන්නේ සොබාදහම යි. චිත්‍රපට මාලාවෙන් දිග හැරෙන කතාවේ හරයට අනුව මරණයට සැලසුමක් තිබෙනවා. මිනිසෙක් මරණයට පත් වන මොහොත සහ මරණයට පත් විය යුතු ආකාරය එම සැලසුමේ අඩංගු වන අතර, ලෝකයේ සමතුලිත බව රැකෙන්නට නම් සැලසුම ක්‍රියාත්මක විය යුතු ම යි.

 අධි අස්වාභාවික ක්‍රියාවලියක් හේතුවෙන් මේ සැලසුම් කලින් හෙළිදරව් කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඇතැම් මිනිසුන්ට හිමි වෙනවා. ඔවුන් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තමා සහ තමා අවට සිටින පිරිස ගේ දිවි ගලවා ගන්නා බැවින්, මරණයේ සැලසුම අසාර්ථක වෙනවා. සොබාදහමේ සමතුලිත බවත් ඉන් බිඳ වැටෙනවා. මේ වරද නිවැරදි කිරීම සඳහා මරණය අදාළ පුද්ගලයන් පසුපස හඹායෑමේ ප්‍රතිඵලයක් ලෙස සොබාදහම ඉතා දරුණු අන්දමින් ඒ මිනිසුන් සමඟ අන්තර්ක්‍රියා කරන්නට පටන් ගන්නවා.

මේ දක්වා Final Destination චිත්‍රපට පහක් නිර්මාණය කර තිබෙනවා – www.gbhbl.com 

මෙය ත්‍රාසජනක චිත්‍රපටයක් වෙනුවෙන් ගෙන ආ නවමු සංකල්පයක් ලෙස හැඳින්විය හැකි යි. ඒ නිසා ම Final Destination චිත්‍රපට මාලාව අතිශයින් ජනප්‍රිය වූ අතර, චිත්‍රපට පහක් නිර්මාණය කිරීමට තරම් වාණිජ වශයෙන් සාර්ථක වුණා. චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය නිකුත් වුණේ 2011 වසරේ දී යි. අවසාන චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ හය වැනි අදියර ගැන කතිකාවතක් ඇති වුණත්, දශකයක් ඉක්මයන තුරු එය යතාර්ථයක් වුණේ නැහැ. නවතම වාර්තාවලට අනුව හයවැනි අදියර Reboot චිත්‍රපටයක් ලෙස පැමිණීමට ඉඩ තිබෙනවා. හයවැනි අදියර අනෙකුත් චිත්‍රපට පහට වඩා වෙනස් ආකෘතියක් ගන්නා බව යි පැවසෙන්නේ.

 චිත්‍රපට මාලාවේ අනාගතය අවිනිශ්චිත වුවත්, මෙතෙක් පැමිණි චිත්‍රපටවල තිරය පිටුපස කතා බොහොම යි. ඉන් ප්‍රධාන කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කිරීමට යි මේ සූදානම් වන්නේ.

Tacoma Narrows පාලමේ කඩා වැටීම – www.asce.org 

මිතුරා ගේ අවවාදය

Final Destination හි තිර පිටපත නිර්මාණය වුණේ ඒ චිත්‍රපට මාලාව සඳහා ම නොවෙයි. සත්‍ය වශයෙන් ම එය The X-Files හි කථාංගයක් සඳහා නිර්මාණය කරන ලද්දක්. තිර පිටපත රචනා කළ ජෙෆ්රි රෙඩික්, The X-Files ටෙලි කතා මාලාවේ රසිකයෙක් වූ අතර, ඔහු ටෙලි කතා මාලාවේ රචකයෙක් ලෙස රැකියාවක් ලබා ගැනීමේ අභිලාෂයෙන් සිටියා. The X-Files කියන්නේ සෑම විට ම අද්විතීය තේමා සහ අදහස් ගවේෂණය කිරීම සඳහා ඉඩ හසර ලබා දුන් නිර්මාණයක්. ඒ අනුව ජෙෆ්රි රෙඩික් ගේ පිටපතටත් පැහැදිලි වැදගත්කමක් ලැබීමේ හැකියාව තිබුණා.

 කතාව පාදක වන්නේ ස්කලී ගේ සහෝදරයා වන චාල්ස් වටා යි. තමා ගමන් ගන්නා ගුවන් යානය අනතුරට පත් වන බව කිසියම් අස්වාභාවික සංසිද්ධියක් හරහා ඔහු කලින් ම දැන ගන්නා අතර, කාර්ය මණ්ඩලයට අනතුරු ඇඟවීමට චාල්ස් ක්‍රියා කරනවා. ඔහුගේ අනතුරු ඇඟවීම කාර්ය මණ්ඩලය පිළිගන්නේ නැහැ. අනාවැකිය හමුවේ මගීන් කිහිප දෙනෙක් බිය වී ගුවන් යාන‍යෙන් බැස යන නිසා චාල්ස් ගුවන් යානයෙන් ඉවත් කිරීමට කාර්ය මණ්ඩලයට සිදු වෙනවා.

දෙවැනි චිත්‍රපටයේ එන අධිවේගී මාර්ග අනතුර සැබෑ සිදුවීමක් පාදක කර ගනිමින් නිර්මාණය කර තිබෙනවා – billingsgazette.com 

ඔහු කල් තියාම දුටු ගුවන් අනතුර සැබෑවක් වන අතර, චාල්ස් ගේ අනතුරු ඇඟවීම පිළිගෙන ගුවන් යානයෙන් ඉවත් වූ මගී පිරිස මාස කිහිපයකට පසු අබිරහස් අන්දමින් මිය යෑම ඇරඹෙනවා. මෝල්ඩර් සහ ස්කලී සිතන්නේ මෙය මිනී මැරුම් දාමයක් බව යි. ඉතිරි ව සිටින පිරිස ආරක්ෂා කිරීමට උත්සහ දරන අතරතුර මිනීමරුවා සොයා ගැනීමේ පරීක්ෂණත් ඔවුන් ගෙන යනවා.

“නිව් ලයින් සිනමා” ආයතනයේ සේවය කළ ජෙෆ්රි රෙඩික් ගේ මිතුරෙක් මෙම තිර පිටපතේ තිබෙන අද්විතීය බව හඳුනා ගන්නවා. තිර පිටපත X-Files හි එක් කථාංගයක් උදෙසා ලඝු නොකොට, එය චිත්‍රපටයක් දක්වා වර්ධනය කිරීමේ වැදගත්කම ජෙෆ්රිට පෙන්වා දෙන්නට ඒ මිතුරා උත්සුක වුණා. “නිව් ලයින් සිනමා” හි නිෂ්පාදකවරුන් පවා ජෙෆ්රි රෙඩික් ගේ නිර්මාණයේ වටිනාකම තේරුම් ගත් අතර, ඉන් චිත්‍රපටයක් නිපදවීමට පසුව තීරණය වුණා.

Final Destination හි තිර පිටපත නිර්මාණය වුණේ ඒ චිත්‍රපට මාලාව සඳහා ම නොවෙයි. එය The X-Files හි කථාංගයක් සඳහා නිර්මාණය කරන ලද්දක් – screenrant.com 

සැබෑ සිදුවීම් පදනම් වූ පෙර නිමිති

සෑම Final Destination චිත්‍රපටයක් ම පදනම් වන්නේ සැබෑ වන පෙරනිමිත්තක් මත යි. උක්ත සඳහන් කළ ට්‍රක් රථය නිසා සිදුවන බිහිසුණු අනතුරත්, දෙවැනි චිත්‍රපටයේ දී හමුවන පෙරනිමිත්තක්. 2011 දී ජෙෆ්රි රෙඩික් සහභාගී වූ එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී මෙම සංකල්පය ඔහුගේ සිතට පැමිණි අන්දම පැහැදිලි කර තිබුණා.

“කෙන්ටකි වෙත පියාසර කරමින් සිටින අතරතුරේ දී හවායිවල නිවාඩුවක් ගත කරමින් සිටි එක්තරා කාන්තාවක් පැවසූ කතාවක් මට කියවන්න ලැබුණා. ඇයගේ මව ඇයට හදිසියේ ම කතා කරලා හෙට නියමිත ගුවන් යානයට නඟින්න එපා කියලා කිව්වා. නිවාඩුව ගත කරමින් සිටි කාන්තාවගේ මවට ඒ ගැන යම් නරක හැඟීමක් තිබුණා. ඉතින් ඇය වෙනත් ගුවන් වාරයකට මාරු වුණා. ඒ අතර පෙර කී ගුවන් යානය අනතුරට පත් වුණා. ඒක හරි භයානක අත්දැකීමක් කියලා මට හිතුණා. ඇය එම ගුවන් අනතුරෙන් මිය යෑමට නියමිත ව තිබුණා නම් මොනවා වේවි ද?”

ජෙෆ්රි රෙඩික්, මේ අනගි සිනමා කර්තව්‍යයට අදාළ තිර පිටපත නිර්මාණය කළේ ඒ අත්දැකීම අනුව යි. Final Destination චිත්‍රපටයේ අනතුරු ලෙස පෙන්වන ඇතැම් පෙර නිමිති පාදක වී ඇත්තේත් සත්‍ය සිදුවීම් ආශ්‍රය කර ගෙන බව පැවසෙනවා.

 Le Mans Motor Racing  අනතුර – www.nytimes.com 

 උදාහරණ ලෙස Final Destination දෙවැනි කොටසේ පෙන්වන අධිවේගී මාර්ග අනතුර, එක්සත් ජනපදයට අයත් ජෝර්ජියා ප්‍රාන්තයේ Ringgold ප්‍රදේශයේ සිදු වූ මාර්ග අනතුරක් මත පදනම් වී තිබෙනවා. Final Destination සිව්වන කොටසේ එන ධාවන පථ අනතුර 1955 දී සිදු වූ “Le Mans Motor Racing” අනතුර ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති අතර, අවසානයට නිකුත් වූ චිත්‍රපටයේ අනතුර “Tacoma Narrows” පාලමේ කඩා වැටීම පාදක කර ගනිමින් ගොඩ නඟා තිබුණා.

මරණයේ සැලසුම අසාර්ථක කළ අය ඉදිරියේ සොබාදහම හැසිරෙන්නේ ඉතා දරුණු අන්දමින් – www.ladbible.com 

180 අංකයේ වැදගත්කම

“New Line Cinema” ආයතනය ආරම්භයේ දී මෙහි පළමු චිත්‍රපටය Flight 180 ලෙස නම් කිරීමට අදහස් කර තිබුණා. නමුත්, එකල ගුවන් යානා පාදක කර ගත් චිත්‍රපට බහුල ව නිපදවෙන වාතාවරණයක් තිබූ නිසා චිත්‍රපටයට වඩා වෙනස් අනන්‍යතාවක් ලබාදීමේ වැදගත්කම ඉස්මතු වුණා. පළමු චිත්‍රපටය සඳහා “Final Destination” යන නම යෝජනා වුණේ ඒ අනුව යි. කෙසේ නමුත්, “අංක 180” චිත්‍රපටයේ කිහිප තැනක තිබෙන නිසා මුල් නාමයේ පැවැත්ම චිත්‍රපටය පුරා දැක ගත හැකි යි. එම ස්ථාන හඳුනා ගැනීම සඳහා චිත්‍රපටය ඉතා අවධානයෙන් නැරඹිය යුතු වෙනවා. පළමු චිත්‍රපටයේ අවසාන ජවනිකාව නැරඹුවොත් අංක 180 වැදගත්කම ඔබට තවත් වැටහේවි.  

චරිත නාමවල විශේෂත්වය

Final Destination චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයේ එන චරිත නම් කිරීමේ දී විශේෂ පිළිවෙතක් අනුගමනය කර තිබෙනවා. බොහෝ චරිත නාම ත්‍රාසජනක චිත්‍රපට නිර්මාණය කිරීමෙන් ප්‍රකට වූ සිනමා අධ්‍යක්ෂකවරුන් සහ එවැනි චිත්‍රපටවල රඟපෑ නළුවන් ගේ නම් අනුසාරයෙන් ගොඩ නඟා තිබෙනවා. මෙවැනි පිළිවෙතක් අනුගමනය කර ඇත්තේ ඒ නිර්මාණකරුවන්ට සිදු කරන උපහාරයක් ලෙසට යි.

උදාහරණයක් ලෙස පළමු චිත්‍රපටයේ එන ඇලෙක්ස් බ්‍රවුනින්ග්, බිලී හිට්ච්කොක්, ලැරී මුර්නෝ, බ්ලැක් ඩ්‍රෙයර් යන චරිත පිළිවෙළින් ටොඩ් බ්‍රවුනින්ග්, ඇල්ෆ්‍රඩ් හිට්ච්කොක්, එෆ්. ඩබ්ලිව්. මුර්නෝ, කාල් තියඩෝර් ඩ්‍රයර්, යන අධ්‍යක්ෂකවරුන්ට උපහාරයක් ලෙස නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම, ටෙරී චැනී, ඒජන්ට් ශ්‍රෙක් සහ වැලේරී ලුව්ටන් යන චරිත නාම පිළිවෙළින් ලොන් චැනී, මැක්ස් ශ්‍රෙක් සහ වැල් ලුව්ටන් යන නළුවන් සහ නිෂ්පාදකයන් සිහි කිරීම පිණිස ගොඩ නඟා තිබෙනවා.

ටෝබි සහ කර්ස්ටන් පෙනී සිටින “ස්පයිඩර් මෑන්” චිත්‍රපටයේ ජවනිකාවක් – www.ladbible.com 

මඟ හැරුණු ස්පයිඩර් මෑන්

පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වන ඇලෙක්ස් බ්‍රවුනින්ග් සහ ක්ලියර් රිවර්ස් ගේ චරිත රඟ දක්වූවේ පිළිවෙළින් ඩෙවෝන් සාවා සහ ඇලී ලාටර් යන දෙදෙනා යි. ඔවුන් මෙම චරිත හරහා විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත්තා. එසේ වුවද, මෙම චරිත දෙක වෙනුවෙන් මුලින් ම තෝරාගත් නළු නිළි දෙපළ වන්නේ ටෝබි මැග්වයර් සහ කර්ස්ටන් ඩන්ස්ට්. ඒ වනවිට ඔවුන් සෑම් රයිමි අධ්‍යක්ෂණය කරන “ස්පයිඩර් මෑන්” චිත්‍රපට මාලාවේ වැඩ කටයුතු සඳහා සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් පසු වූ බැවින්, Final Destination චිත්‍රපටයෙන් ලැබුණු අවස්ථාව මඟ හැරුණා. සමහර විට ඔවුන් තම සිනමා දිවියේ ලබාගත් හොඳ ම තීරණයත් එය වන්නට ඇති. ස්පයිඩර් මෑන් චිත්‍රපටි කොතෙක් බිහි වුණත්, එම චරිතයේ නිල නොවන හිමිකරු ලෙස අදටත් ටෝබි මැග්වයර්ට ගරුත්වය ලබාදීමට රසිකයන් උත්සුක වෙනවා.

අධිවේගී මාර්ග අනතුරේ දර්ශනය පදනම් කරගත් මෙවැනි Memes සමාජ මාධ්‍යයේ සුලබ යි – imgflip.com 

Final Destination චිත්‍රපට මාලාවේ තවත් කොටසක් අනාගතයේ නිකුත් වුවහොත්, එය සාර්ථක වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. අනෙකුත් ත්‍රාසජනක සහ අධි අස්වාභාවික කතා තේමාවලට වඩා Final Destination හි වඩාත් ආවේණික කතා වස්තුවක් තිබීම ඊට හේතුව යි. මරණය සැබැවින් ම ක්‍රියාත්මක වන්නේ සැලැස්මක් අනුව ද කියා සිතෙන තරමට ම චිත්‍රපට මාලාවේ කතාව ස්වභාවික අයුරින් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට දරා ඇති ප්‍රයත්නයත් විශිෂ්ට යි.

 කවරයේ ඡායාරූපය: ත්‍රාසය වෙනත් මානයකින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ නිර්මාණයක් තමයි Final Destination-www.amazon.com

මූලාශ්‍ර:

collider.com

screenrant.com

www.horrorgeeklife.com

www.cbr.com

Related Articles