නත්තල් අසිරියයි – තේවත්ත බැසිලිකාවයි

මේ දවස්වල ශ්‍රී ලංකාව පුරා කතෝලික දේවස්ථාන මෙන් තේවත්ත ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවද නත්තලට සැරසෙන බව එහි ගිය අපට දැකගන්නට ලැබුනා. කුඩා දරුවන් පිරිසක් බැසිලිකා පරිශ්‍රයේ  ගවලෙනක් ඉදිකිරීමට සැලසුම් කරන අතරේ තවත් පිරිසක් නත්තල් දිනයේ දුප්පතුන්ට තෑගි බෙදාදීමේ කටයුතු සංවිධානය කරනවා. මේ කටයුතුවල පෙරමුණ ගන්නා තේවත්ත පල්ලිය නමින් රටපුරා කිතුනුවන් අතර පමණක් නොව වෙනත් ආගමිකයන් අතරද ප්‍රචලිත මෙම බැසිලිකාව ඉදිවුණු අන්දම රසබර කතාවක්.

බැසිලිකාවේ ඉතිහාසය

බැසිලිකාව ඉදිරිපසින්

බැසිලිකාව ඉදිරිපසින්

ඒ 1940 දශකයි. එකල තේවත්ත පල්ලිය පිහිටි භූමියේ ඔරේන්ජ්හිල් නම් වතුයායක් තිබුණා. මුලින්ම තේ වගා කර තිබුණු එහි වගාව නිසරු වූයේ දේශගුණය නොගැළපෙන නිසයි. ඊට පසු එහි රබර් වගා කළා. අදත් පල්ලියට අයත් ඉඩම්වල මේ රබර් දකින්න පුලුවන්. මේ අතර දෙවැනි ලෝක යුද්ධය උණුසුම් වෙමින් පැවතුනු අතර මිත්‍ර පාර්ශ්වයට අයත් රටක් වූ ශ්‍රී ලංකාවටද ජපනුන් බෝම්බ දමන බවට ආරංචි පැතිර ගියා. කොළඹ වාසය කරන ජනතාව දුර බැහැර නවාතැන් සොයා ගියා. පාසල්ද අගනුවරින් ඉවත්කර ගත්තා. මේ සියල්ල අතරේ 1941 නත්තල ගෙවී යන්නේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් තොරවයි.

එවකට කොළඹ අග-රදගුරු වූයේ ජෝන් මේරි ටැසොන් හිමිපාණන්. උන්වහන්සේ 1942 පෙබරවාරි 02 දා යුද රකුසාගෙන් ශ්‍රී ලංකාව බේරාදෙන ලෙස දේව මෑණියන්ගෙන් ඉල්ලා එයට තුති පිණිස දෙව්මැඳුරක් ඉදිකරන බවට බාරයක් වුණා. උන්වහන්සේ ඒ බව එවකට තේවත්ත ලුර්දු දේවස්ථානයේ දී ජනතාවට ප්‍රකාශ කර මේ ප්‍රාතිහාර්ය ඉටුකර දෙන මෙන් මරිය මවුන් යදින්නැයි ඉල්ලා සිටියා.

යුද්ධය 1945 අගෝස්තු 6 දා නිමාවට පත් වුණා. ශ්‍රී ලංකාවටද ජපනුන් බෝම්බ හෙළුවත් විශාල හානියක් නම් සිදුවුණේ නැහැ. තමන් වූ බාරය ඔප්පු කිරීමට ටැසෝන් රදගුරුතුමා සූදානම් වුණත් උන්වහන්සේ 1947 ජූලි 29 දා හදිසියේම ස්වර්ගස්ථ වුණා.

ඊට පසු ඒ කටයුතුවලට උර දුන්නේ අගරදගුරු තෝමස් කුරේ හිමිපාණන්. රාගම අමරසේකර පවුලට අයත් ඔරේන්ජ්හිල් රබර් වතුයාය අගරදගුරු හිමිපාණන්ගේ නමට මිලදී ගත්තේ ඒ සඳහායි. ඒ 1950 ජූනි 22දායි. ඉඩමේ විශාලත්වය අක්කර 5 ½ක්. ඒ වනවිටත් තේවත්ත පැරණි ලුර්දු පල්ලිය පැවතුණා. 1917දී එම දේවස්ථානයේ ලුර්දු ගුහාවක් ඉදිවූ අතර ඔරේන්ජ්හිල් වත්ත තිබුණේ ඊට යාබදවයි.

රබර් ගසින්ද තවත් රූස්ස ගස්වලින්ද පිරී පැවති කඳුගැටයක් වැනි ඉඩම නිස්කලංක සුන්දර වටපිටාවකින් යුක්ත වුණා. තෝමස් කුරේ කාදිනල් හිමිපාණන් 1950 ජූලි 15 දා ප්‍රථම පස්පිඩැල්ල කැපුවා. ඊට පසු භූමිය එළිපෙහෙළි කර සැලැස්ම සකස් කළා.

1951 පෙබරවාරි 4 දා මෙම දේවස්ථානයට මුල්ගල තැබීම සිදුවූ අතර ඉන්දීය පැරැණි සිද්ධස්ථානවල අංගෝපාංග ඇතුළත් කර සැලැස්ම සකස් කළේ ස්පාඤ්ඤ ජාතික හේරස් ජේ.නි. පියතුමා විසින්.  එහි පැරුණි බෞද්ධ ගුහා විහාරවල අංග ලක්ෂණද තිබුණා.

පින්තුරය බැසිලිකාවේ දේව මෙහෙයක්

පින්තුරය බැසිලිකාවේ දේව මෙහෙයක්

මෙය බැසිලිකා දෙවස්ථානයක්. ඉතාලියේ රෝමයේ පිහිටි බැසිලිකා දෙව්මැදුර කිතුනු ආගමික පිළිවෙතේ මධ්‍යස්ථානය වශයෙන් සැළකෙනවා. ශුද්ධෝත්තම පාප් වහන්සේ වැඩ වසන්නේ එහිය. එහි සිට දෙසැම්බර් 24 දින රාත්‍රී 12.00ට පැවැත්වෙන විශේෂ දිව්‍ය පූජා සහ නත්තල් දින දේව මෙහෙය ලොව පුරා ප්‍රචාරය කරනවා. තේවත්ත බැසිලිකාවේද නත්තල් දින උදේ 9.00ට සිංහල දිව්‍ය පූජාවක් පැවැත්වෙන අතර, දහවල් 12.00ට දෙමළ දේව මෙහෙය පැවැත්වෙනවා.

බැසිලිකා කියන්නේ කුමක්ද?

කතෝලික දේවස්ථාන අතර බැසිලිකා යන්නෙහි අර්ථය කුමක්දැයි අපට පැනයක්. එම වචනයේ අරැත ග්‍රීක් බසින් රජගෙදර යන්නයි. දේවස්ථානයක් බැසිලිකාවක් බවට පත්වීමට ඓතිහාසික වටිනාකම, ගොඩනැගිල්ලේ ගාම්භීරත්වය, කලා හා වාස්තු විද්‍යාත්මක වැදගත්කමද බලපානවා. ඒ සඳහා රෝමයේ වතිකානුවෙන් අවසරයක්ද ලබාගත යුතුයි. ලොව පුරා පිහිටි බැසිලිකා දෙව්මැඳුරු 1580 අතරට අපගේ ජාතික බැසිලිකාවද අයත් වෙනවා.

ඉදිකිරීම

ඔරෙන්ජ් හිල් ඉඩම විශාල කළුගලකින් යුක්ත වුණා. එම ගල කැඩීමෙන්  දෙව්මැඳුර ඉදිකිරීමට අවශ්‍ය කළුගල් ලබාගත්තා. කළුගල් කැඩූ ස්ථානයේ පිහිටි පර්වතයක් පාදක කරගෙන අලුත් ලුර්දු ගුහාවක්ද සකස්කළා. එය බැසිලිකා කඳුගැටය පාමුල වනවදුල සහිත පෙදෙසක පිහිටා තිබෙනවා.

වසර කිහිපයකට පෙර බැසිලිකා භූමියට පෙම්වතුන් විශාල වශයෙන් ඇදී ආවද අද වනවිට ඔවුන්ගේ පැමිණීම වළක්වා තිබෙන්නේ ශුද්ධ භූමියේ ගෞරවයට ඉන් හානියක් වන නිසයි.

කලුගල් කුලුනු හයක් මත ඉදිකළ දෙව්මැදුර

කලුගල් කුලුනු හයක් මත ඉදිකළ දෙව්මැදුර

අප හරිත මංපෙත ඔස්සේ ඇවිද ගොස් ගොඩවැදුණේ මීසම් ගෘහයටයි.  බැසිලිකාව භාර වික්ටර් ජයමාන්න පියතුමා සිටින්නේ එහිය. මේ පියතුමා දැක්වූ අදහස් වලින් බිඳක්-

බැසිලිකාව ඉදිරිපස විශාල කුලුනු දෙකක් ඉදිකර තිබෙනවා. දෙව් මැඳුරක තිබෙන මේ කුලුනු දෙකෙන් සංකේතවත් වන්නේ ක්‍රිස්තියානි ධර්මයේ ප්‍රධාන පනත් දෙකක් වන දෙවියන් වහන්සේට වන්දනා කරන්න සහ ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න  යන කාරණායි. මෙහි ඉදිරිපස මණ්ඩපය කැටයම් සහිත කළුගල් කුලුනු හයකින් යුක්තයි. එයින් දෙවැනි ලෝක යුද්ධ සමයේ ශ්‍රී ලංකාවේ පැවති කතෝලික රදගුරු වසම් හය වන කොළඹ, හලාවත, ගාල්ල, මහනුවර, යාපනය හා ත්‍රිකුණාමලය නිරෑපණය කරනවා.

කුලුනු හයට ඉහළින් අර්ධ ගෝලාකාර ශිඛරයේ විශාල කුරුසියක් පිහිටා තිබෙනවා. එහි ජේසුස් වහන්සේගේ රුව තනා ඇත්තේ පිත්තලෙන්. එහි මුහුණ මියුරින්හි ඇති සිරිසලුවේ මුහුණට සමාන ලෙස නිර්මාණය කර තිබෙනවා. ඒ මූර්ති ශිල්පිනී ලීලා පීරිස් විසින් කළ නිර්මාණයක්.

බැසිලිකා ගොඩනැගිල්ල දිගින් අඩි 310ක්. ඇතුළත පළල අඩි 58ක් වන අතර. උස අඩි 125ක්. දෙපැත්තේ දිග අඩි 149ක්. එහි මුදුනේ සුදු යකඩින් තැනූ අඩි 24ක කුරුසියක් තිබෙනවා. එය සම්ප්‍රදායික ග්‍රීක කුරුසියක ආකාරයට තිරස් දඬු තුනක් සහිතයි.

බැසිලිකාව ඉදිකිරීමට මුල් වූ මැසොන් අගරදගුරු හිමිපාණන්ගේ සහ එහි ඉදිකිරීම් නිමකළ තෝමස් කුරේ කාදිනල් හිමිපාණන්ගේ ප්‍රතිමාද බැසිලිකාව ඉදිරිපස දී අපට දැකගත හැකියි.

බැසිලිකාවේ වහළ නිල් පැහැතියි. අර්ධ ගෝලාකාරයි. ඇතුළත අල්තාර තුනක් පිහිටා තිබෙනවා. දේවස්ථානයේ පිටත බිත්තිය සරසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කිතුනු ඉතිහාසය දැක්වෙන අර්ධෝන්නත මූර්තිවලින්. මෙහි පොළොව යටද දිව්‍ය සත්ප්‍රසාද කුටියක් තනා තිබෙනවා. තෝමස් කුරේ කාදිනල් හිමිපාණන්ගේ දේහය තැන්පත් කර තිබෙන්නේ එහි පසෙකයි.

සොඳුරු පරිසරය

අපි දේවස්ථානයෙන් නික්ම ලුර්දු ගුහාව දෙසට පියමං කළා. බුරුත, නැදුන්, මහෝගනී, තේක්ක, කොස්, මැයිමාර, කැටකෑල ආදී ශාකවල වියනින් අවට සෙවණ වෙලා. දේව මෙහෙයන්වලට අවශ්‍ය කට්ටකුමංජල් නිපදවීමට ඉන්දියාවෙන් ගෙනවිත් රෝපණය කළ කට්ටකුමංජල් පැල දැන් දැවැන්ත ගස් බවට පත්වෙලා. පසෙක පිහිටි රබර්වත්ත කාදිනල් කුරේ හිමිපාණන් විසින් රෝපණය කරවන ලද්දක්. අද එහි රබර් ෂීට් නිපදවීමද සිදු වෙනවා. රබර්වත්තට සීමාවෙමින් ඇදී යන මඟ දෙපස දක්නට ලැබෙන්නේ නාගස් වැටියක්.

ස්වභාවික ජල උල්පතක් පදනම් කරගෙන තැනූ වැව ජලයෙන් පිරී ඇති අතර වැවෙන් නික්මෙන ජලය සොරොව්වක් හරහා තටාකවලට ලබාදී වන්දනාකරුවන්ට ස්නානය කිරීමට පහසුව ලබා දෙනවා. මෙම වැව කාදිනල් කුරේ වැව ලෙස නම්කර තිබෙනවා.

පැරණි ලුර්දු දේවස්ථානයට යාබදව පිහිටි නොසිඳෙන ළිඳේ ජලයේ රෝගීන් සුවපත් කිරීමේ ගුණයෙන් යුක්ත බව කිතුනුවෝ අදහනවා.

බැසිලිකාව අනෙකුත් දේවස්ථානවලින් වෙන්වයි පරිපාලනය වන්නේ. මම පරිපාලක පියතුමා ලෙසත් මීසම භාර පියතුමා ලෙසත් කටයුතු කරනවා. කාදිනල්තුමා යටතේ තමයි මෙම දේවස්ථානය පරිපාලනය වන්නේ. අගෝස්තුවේ පැවැත්වෙන රෝගීන් ආසිරි ගැන්වීමේ මංගල්‍යය වගේම අලුත් අවුරුද්දේ පැවැත්වෙන වාහන ආසිරි ගැන්වීමේ මංගල්‍යයන් මෙහි විශේෂ උත්සවයි. වික්ටර් ජයමාන්න පියතුමා අපට පැවසුවා.

අල්තාරය අසල

අල්තාරය අසල

කතෝලික ඉතිහාස කෞතුකාගාරය, රෝසේරියන් කන්‍යාරාමය, දිළිඳු ක්ලාරා කන්‍යාරාමය, දේවාරක්ෂාවේ කන්‍යාරාමය, විශ්‍රාමික පියවරුන් සඳහා පිය සෙවණ, නිර්මල මරිය නිකාය, ජපමාල තාපසිකාරාමය ආදී ආයතනද මෙම පරිශ්‍රයේ පිහිටා තිබෙනවා. ඉතින් රාගම පැත්තේ යන ඔබටත් මේ දේවස්ථානය නැරඹීමට පැමිණීමට පුලුවන්.

කතෝලික නොවන විශාල පිරිසක්ද නිතර මෙය නැරඹීමට පැමිණීම මෙම පල්ලියේ විශේෂත්වයක්.

පින්තුර: archdioceseofcolombo.com, Btoptions.com, Dimuth perera.flickr

Related Articles

Exit mobile version