අපේ රටේ මධ්‍ය ශිලා යුග මානවයා ගැන සාධක රාශියක් රට තුළ පිහිටි ලෙන්වල වගේ ම එළිමහන් ස්ථාන කිහිපයකිනුත් හමු වී තිබෙනවා. ඊට පෙරත් රටේ මානවයන් ජීවත්වී සිට තිබෙන බවට සාධක වෙරළබඩ තැන් කිහිපයකින් ලැබුණා. ඒ අතරින් වැදගත් තැනක් තමයි යාල වනාන්තරයේ වෙරළබඩ තිබෙන මිනිහා ගල්කන්ද නම් ස්ථානය. අවුරුදු දෙලක්ෂ පනස් දහසක් පැරණි කලෙක මෙහි පුරාශිලා යුග මානවයන් වාසය කළ බවට හමු වන ප්‍රාථමික ස්වභාවයේ ගල් ආයුධවලින් හෙළිවී තිබෙනවා.
ඉතා සුන්දර එමෙන් ම කුතුහලය දනවන ස්ථානයක් ද වන මිනිහා ගල්කන්ද ගැන සොයා බලමු.
පිහිටීම
මේ සඳහා යාල වනෝද්‍යානයේ ගොඩේ කළපුව පිවිසුම් දොරටුවෙන් ගමන් කර මහාසීලව, බුතව හරහා මැණික් ගඟ අසලට පැමිණ ගඟ තරණය කළ යුතු යි. ඉන් පසු හමු වන තැනිතලාව පසුකර පැයක පමණ ජීප් රථ ගමනකින් මැණික් ගං මෝය හමුවෙනවා. එවිට වැලිකඳු යායක් දැක ගත හැකි යි.
නමුණුකුල කන්දෙන් ආරම්භ වන මැණීක් ගඟ කිලෝ මීටර 124ක් ගෙවා මුහුදට වැටෙන්නේ යාල වනාන්තරයේ මිනිහා ගල්කන්දට ආසන්නයෙන්. මෝය අසල සිට වෙරළ දිගේ මිනිහා ගල්කන්දට කිලෝ මීටර 9ක් පමණ තිබෙනවා. එයට පිලින්නෑව කලපුවේ සිට දුර කිලෝ මීටර 5 යි. මැණික් ගඟ මෝය අසල ඩෙල්ටාවක් ද, විල්ලුවක් ද දැකගත හැකියි. සංචාරකයන්ට නම් උස්බිමක පිහිටි මිනිහාගේ රුව ඈතදී ම දැකගන්නට ලැබෙනවා.
මයෝසීන තැන්පතුව අසල ගල්කන්දේ මිනිහා
සයුර දෙස කන්දක් උඩ සිට බලාසිටින මිනිසා ගැන පසුගිය සියවසේ දී ඉංග්‍රීසි ජාතිකයන් තම කෘතිවල ලියා තිබෙනවා. මේ අවට තිබෙන අපූරූ භූ රූප අතර මිනිහාගේ රුව කැපී පෙනෙනවා. එය නිර්මාණය වී ඇත්තේ වසර ලක්ෂ ගණනක් තිස්සේ සිදුවූ සුළං ඛාදනය නිසා පාෂාණයක් මිනිසකුගේ ස්වරූපයට හැඩ ගැනීමෙන්. යාල කලාප අංක දෙකේ අවසන් කෙළවරට ආසන්නව යි මිනිහා ගල්කන්ද පිහිටා තිබෙන්නේ.
මුහුදේ සිට වේගයෙන් හමා එන සුළඟ විඳිමින් වසර ගණනාවක් තිස්සේ ඈති දියඹට නෙත් යොමා සිටින මේ හුදෙකලා මිනිසා කාගේත් සිත් තුළ කුතුහලය ඇති කරවනවා. ලවණ මිශ්‍ර වැලි සමඟ එන සුළඟට කාලයක් තිස්සේ විවෘත වීම නිසා සෙමින් ඛාදනයට ලක්වෙමින් ගෙවී යාමෙන් මිනිස් රුවකට සමාන ව ගල් කුළ තැනී තිබෙනවා. ඒ නිසා මෙම ස්ථානයට ‘‘මිනිහා ගල්කන්ද’’ යන නාමය ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ හුදෙකලා වූ ඉතා වැදගත් මයෝසීන තැන්පතුවක් මෙහි හමුවෙනවා. මෙම හුණුගල් සැකැස්මෙහි පහළ ස්ථරය මීටර 1.5-2.00 ඝනකමකින් යුක්ත යි. ෆොසිලීකරණය නොවූ ශිලා කැටිති සහ වැලි ගල් පාදමකින් එය යුක්ත යි. ඊට ඉහළ කොටස මීටර 15ක පමණ දුඹුරු සහ කහ පැහැති වැල්ලකින් සහ මැටි තට්ටුවකින් සමන්විත යි. පුරාවිද්‍යාඥයන් මෙම වැලි තට්ටුව හඳුන්වන්නේ ඉරණමඩු සංයුතිය කියල යි.
විවෘත තැන්වල දී පස් ස්ථර පැහැදිලි ව දැකග හැකි යි. මිනිහා ගල් කන්දේ ඉහළ දී හමු වන වැලි සහ මැටි ස්ථර අතර ෆොසිලීකරණයට ලක් වූ ගැස්ට්රොපෝඩාවන්, පසැඟිල්ලන්, දෙපියන් බෙල්ලන් වැනි සමුද්‍ර ජීවීන් හමුවෙනවා. මේ වැලි තට්ටුව තුළින් පුරාශිලා මානවයන්ගේ ගල්ආයුධත් ලැබෙනවා. දැනට මෙම ස්ථානය අධ්‍යයන කටයුතු සඳහා පමණක් වන ජීවී දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් මත නැරඹීමට අවස්ථාව හිමි වෙනවා. නමුත් යාල කලාප අංක දෙකේ වෙරළ තීරයට ගියවිට ඈතින් වර්ණවත් ව පිහිටි මයෝසීන තැන්පතුව දැකගත හැකි යි.
පර්යේෂණ
ශ්‍රී ලංකාවේ පුරා ජෛව විවිධත්ව අධ්‍යයනයේ දී මිනිහා ගල් කන්ද මයෝසීන තැන්පතු ඉතා වැදගත් තැනක් හිමිකර ගන්නවා. මේ ගැන මුලින් ම උනන්දු වුණේ ඉංග්‍රීසි ජාතිකයන්.
වර්ෂ 1923 දී මුල් වරට මෝර්ලි ඩේවිඩ් මෙම තැන්පතුවල තිබූ Gastropoda සහ Lamellibranchiaට අයත් අපෘෂ්ඨවංශී මුහුදු ජීවී ෆොසිල හඳුනා ගෙන තිබෙනවා. ඉන්පසුව ආචාර්ය පී.ඊ.පී. දැරණියගල 1960 දී echinoderms, sponges, corals සහ වෙනත් අපෘෂ්ඨවංශී ෆොසිල වාර්තා කළා. මෙහි හමුවන පුරාශිලා මෙවලම් ගැනත් ඔහු විශේෂ අවධානයක් යොමු කළ අතර ඒ ගැන පර්යේෂණ ලිපිත් පළ කර තිබෙනවා. ඒවා ජාත්‍යන්තර වශයෙන් ද අවධානයය ලක්වුණා. සුදු, රතු, තැඹිලි කහ ආදී විවිධ වර්ණවලින් යුක්ත පාෂාණ මෙතැන දී දැක ගත හැකි යි. තද රතු පැහැති පස් කඳුවලින් ද මේ අවට පෙදෙස සමන්විත යි.
පුරාශිලා මානවයන් කවු ද?
පුරාශිලා නැති නම් පැලියෝලිතික කියන වදනේ අරුත ‘පැරණි ම ගල් යුගය‘ යන්න යි. මානවයා ගල් මෙවලම් තමා ගේ විවිධ කාර්යයන් උදෙසා භාවිත කිරීම මුල්වරට පටන් ගන්නේ මෙම යුගයේ දී යි. මානවයාගේ අතීතය පිළිබඳ කතාවේ දීර්ඝත ම කාලපරිච්ඡේදයක් නියෝජනය කරන්නේ පුරා ශිලා යුගය යි. ලංකාවේ මානවයාගේ අතීතය තුළ පුරා ශිලා යුගය අදින් වසර 70,000-250,000 කාලය තුළ පැවතුණු බව පැහැදිලි වී තිබෙනවා.
දැනට අනාවරණය වෙමින් පවතින සාධක සමඟ මෙහි ඈත කාලය අදින් වසර ලක්ෂ 16 දක්වා දුරකට ගමන් කිරීමේ හැකියාවක් ඇති බව පෙනී යනවා. මෙම මානවයන් ගැන සාධක ලෙස අප රටේ දී හමු වන්නේ ගල් මෙවලම් පමණ යි. ලංකාවේ පවතින නිවර්තන දේශගුණය නිසා අනෙකුත් සාධක විනාශ වෙලා. මිනිහා ගල්කන්දේ සාධක අනුව ඒ මානවයන් අවුරුදු ලක්ෂ තුනකට එහා කාලෙකට අයත් කළ හැකි බව යි පුරාවිදාඥයන් සඳහන් කරන්නේ. තවම මේ ගැන නිශ්චිත පර්යේෂණ නම් සිදුවී නැහැ.
මෙම යුගයේ ජීවත් වූ මානව වර්ගයා හෝමෝ සේපියන්ස් හෙවත් නූතන මිනිසා බව යි අනුමාන කෙරෙන්නේ. මෙම කාල සීමාවේ දී ලංකාවේ දකුණු දිග වියළි කලාපයේ නැඟෙනහිර ප්‍රදේශයේ ජනගහනය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 1.5 ත් 0.8 ත් අතර සංඛ්‍යාවක් බවයි පුරාවිද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ. පහත රට තෙත් කලාපයේ ජන ගණත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 0.1 හෝ ඊට අඩු වන්නට ඇතැයි පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා.
ඉරණමඩු සංයුතිය
ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ වෙරළබඩ වැලි වැටිය හෙවත් බොරළු තට්ටුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාධක අනාවරණය කරන ස්ථාන අතුරින් විශේෂ වැදගත්කමක් හිමි කර ගන්නවා. මෙම තැන්පතු භූගත ජීර්ණයට ලක් වී තද රතු පැහැයේ සිට හුඹස් මැටි රතු පැහැයට හැරී තිබෙනවා.
විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම තැන්පතුව ඊ.ජේ. වේලන්ඞ් ප්‍රථමයෙන් ම ‘ප්ලැටෝ ඩිපොසිට්’ යනුවෙන් හඳුනා ගත් අතර පසු ව ඉරණමඩු පාංශු තැන්පතුව යනුවෙන් නම් කෙරුණා. මේ පස් තැන්පතුව හඳුන්වන්නේ ‛‛ඉරණමඩු පස් සැකැස්ම හෙවත් ඉරණමඩු සංයුතිය කියල යි. ඉරණමඩු ප්‍රදේශයේ දක්නට ලැබෙන මෙම පස් තැන්පතුව ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල එයට සමාන පස් තැන්පතු හැඳින්වීමේ දී ද ඒ නමින් ම හඳුන්වනවා.
එ නිසා ලංකාවේ ශිලා යුගයේ පැරණි ම මානව ජනාවාස රටා හඳුනා ගැනීමට සාධක සපයන්නේ මේ පස් සැකැස්ම යි. ඉරණමඩු පස් සැකසුම් ලංකාවෙ උතුරු දිග ප්‍රදේශයේ මාන්කුලම් හා ඉරණමඩුවල සිට වයඹ දිග විල්පත්තුව අවට එළුවන්කුලම, කල්පිටිය ඇතුළු කලාඔය හා මෝදරගම් ආරු අතර වෙරළ තීරයේත්, දකුණු පළාතේ බූන්දල පතිරාජවෙල හා මිනිහා ගල්කන්ද ඇතුළත් යාල ජාතික වනෝද්‍යානය අවට කලාපයේත් පැතිර තිබෙනවා.
සිරාන් දැරණියගලගේ පර්යේෂණ
ක්‍රිස්තු වර්ෂ 1972 දී ආචාර්ය සිරාන් දැරණියගල ඉරණමඩු පාංශු සංකීර්ණයේ පැරණි බව තිරණය කිරිමේ පර්යේෂණ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කළා. මේ අනුව රට වටා පිහිටි ඉරණමඩු පාංශු සංකීර්ණය ගවේෂණයට ලක් කෙරුණා. ලංකාව වටා පිහිටි ස්ථාන පනහක් එසේ විශේෂ අවධානයට ලක් කොට අධ්‍යයනයට භාජනය කෙරුණා. ඒ අතරින් යාල මිනිහා ගල්කන්ද විශාල වැදගත්කමක් උසුලනවා. නමුත් මෙහි කැණීමක් නම් සිදුවුණේ නැහැ. ගවේෂණ පමණයි සිදු කළේ. පුරා ශිලා මානව සාධක සොයා ගැන කැණීමක් සිදුවුණේ බුන්දල පතිරාජවෙල යි.
මෙම ගවේෂණ හා අධ්‍යයන මඟින් අනාවරණය වූ පුරාවිද්‍යාත්මක සාධක තාප සංදීප්තතා ක්‍රමය අනුව කාල නිර්ණය කළ අතර එහි ප්‍රතිඵල අනුව අවුරුදු 125,000ක ට පමණ පෙර ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස නිශ්චිතව පැවැති බවට සැකයකින් තොර ව ඔප්පු වුණා.
මෙහි විසූ මානවයන් නූතන මිනිසාගේ ආදි ම ස්වරූපය නියෝජනය කරන පිරිසක්. ඔවුන් පැලියෝලිතික (පුරා ශිලා) තාක්‍ෂණික යුගයට අයත් සේ සැලකෙන තිරුවාන සහ චර්ට් ගල්වලින් කළ ගල් මෙවලම් හමු වී තිබෙනවා. මෙම වැලි හා බොරළු තට්ටුවේ කාලය ඉදිරි පර්යේෂණ අනුව වසර 250,000/500,000 දක්වා ඉදිරියට යනු ඇතැයි අපේක්‍ෂා කෙරනවා.