නිලාර් එන් කාසිම් සමඟ කතාබහක්

සිංහල – හින්දු අලුත් අවුරුදු උත්සවයේත්, වෙසක් උත්සවයේත් නිමාව අප සමාජය දුටුවේ පසුගිය දා ය. බේධයකින් තොරව සමාජයක් ලෙස සියල්ලන් මෙම උත්සවයන්ට සූදානම් වූ අයුරු අපි දුටුවෙමු. සැබවින්ම සෑම සංස්කෘතියකම කොතරම් විචිත්‍රවත් දේවල් තිබෙන්නේ ද? ඒ සියල්ලම මුසු වූ පසු නැගෙන විචිත්‍රත්වය කොයි තරම් නම් සුන්දර ද? ලෝකය වඩාත් ලස්සන වන්නේ විවිධත්වයෙන් යුක්ත වූ විට යි.

අප මේ විචිත්‍රත්වය ගැන වගේම, වෙසක් උත්සවය, ලාංකීය බොදු බැති ගීය, ඉස්ලාමීය ඉගැන්වීම් සහ සිතුම් පැතුම් ආදිය පිළිබඳව වෙසක් උදාවන්නටත් පෙරම සාහිත්‍යකරුවෙකු සමග සාකච්ඡා කළා. පහත පළවන්නේ එම සංලාපය යි.

ප‍්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදී නිලාර් එන් කාසිම්

බෞද්ධ ආගමික බැතිමතුන්ට විශේෂිත උත්සවයක් වන වෙසක් උත්සවය සඳහා බෞද්ධයින් සූදානම් වෙන මොහොතක තමයි අපි මේ සාකච්ඡාව කරන්නෙ. ඔබ ඉස්ලාම් භක්තිකයෙක්. මේ වෙසක් උත්සවය සහ බෞද්ධයන්ට විශේෂිත වූ උත්සව පිළිබඳව ඉස්ලාමීය කියවීම සම්බන්ධයෙන් ඔබේ විග‍්‍රහය මොකක්ද?

ඉස්ලාමීය බැතිමතුන් විදියට අපේ ධර්මය තුළ අපිට උගන්වලා තියෙන්නෙ අනෙක් ආගම් වලට, ජාතිකත්වයන් වලට, සංස්කෘතීන් වලට, ඒ අනන්‍යතාවලට ගරු කරන්න කියන එක. ඒක තුළ හිඳිමින් තමයි ලංකාවෙ මුස්ලිම් ජනතාව වෙසක් උත්සවය ගැන සහ අනෙකුත් බෞද්ධ උත්සව පිළිබඳව දකින්නෙ. එතකොට අපි ලාංකිකයෝ විදියට අපේ රටේ තිබෙන අවුරුදු උත්සවය වෙසක් උත්සවය, පොසොන් උත්සවය කියන දේවල් අපිට අපේ උත්සවම තමයි. ඒ නිසා මේවා බෞද්ධයන්ට පමණක් උරුම වෙච්ච උත්සව කියනවාට වඩා ශ‍්‍රී ලාංකීය සංස්කෘතියත් එක්ක බෞද්ධ ආගම අත්වැල් බැඳ ගැනීමේ උපන් සංස්කෘතික අංග විදියට තමයි අපි දකින්නෙ. ශී‍්‍ර ලාංකීය කියන කොටස තුළට අපි හිතනවා අපිටත් උරුමයක් අයිතියක් තිබෙනවා. මේ බුදු තෙමඟුල් උත්සවය තුළ ආමිස පූජාවල් හැටියට අපි යම් යම් සංදර්ශනාත්මක දේවල් දකිනවනෙ. සමහරු කියනවා ප‍්‍රතිපත්ති පූජාවට පමණක් සීමා විය යුතුයි කියලා. නමුත් ආමිස පූජාව තුළත් අපේ රටේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච යම් යම් දේවල් අපි දකිනවා. සමහර විට නූර්ති නාඩගම්  එක්ක. සාහිත්‍ය එක්ක. චිත‍්‍ර ශිල්පයත් එක්ක. තොරණ, සංස්කෘතික සංදර්ශන, බොදු බැති ගී උළෙලවල් පැවැත්වෙනවා. උදාහරණයක් විදියට පොසොන් උත්සවය කියන්නෙ අපේ රටට බෞද්ධ ආගම ගෙනාපු විශේෂ අවස්තාවක්. ඒ විතරක් නෙමෙයි මිහිඳු සංස්කෘතියෙන් ශ‍්‍රී ලාංකීය ශිෂ්ඨාචාරය ශිෂ්ඨවත් වූ සංධිස්ථානයක්. එතකොට මේ උත්සවය බෞද්ධ උත්සවයක් විදියට පමණක් අගන්තුකව දකිනවාට වඩා, ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන් විදියට අපේ රටේ සංස්කෘතියේ විශේෂ අවස්ථාවක් විදියට තමයි දකින්නෙ. අවසාන විග‍්‍රහයෙදි ලාංකීය මුස්ලිම්වරයෙක් විදියට සිංහල අවුරුදු උත්සවය, වෙසක් උත්සවය, පොසොන් උත්සවය කියන දේවල් අපේම රටේ අපේම උත්සව කියන හැඟීම මට දැනෙනවා .

 

ලෝකයේ අනෙකුත් රටවල් වල ජීවත් වන මුස්ලිම් ජනතාව සහ ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව අතර ඔබ වෙනස්කමක් දකිනව ද?

ලෝකයේ දැනට මුස්ලිම් ජනතාව කෝටි එකසිය විස්සක් විතර ජීවත් වෙනවා. ඒ අතරින් ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන් කියන්නෙ වෙනම අනන්‍යතාවයක් තිබෙන පිරිසක්. එතකොට ලංකාවේ මුස්ලිම්වරුන්ට අනිත් රටවල් වල මුස්ලිම්වරුන්ට වඩා විශේෂ වූ අනන්‍ය වූ ලක්ෂණ තිබෙනවා. ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය කියන එක පෝෂණය වෙලා තිබෙන්නෙ සිංහල සහ බෞද්ධ සංස්කෘතියෙන්. එතකොට අපි ශ‍්‍රී ලාංකීය සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච මුස්ලිම් ජනතාවක් හැටියට තමයි මේ රටේ ජීවත් වෙන්නෙ.

ආගම්වාදය නිසා ඇති වී තිබෙන බෙදීම් මානව සංහතිය ඛේදවාචකයකට ඇද දමා තිබෙනවා. නමුත් ආගමික වල ශාස්තෘවරුන් පොදුවේ ගත්තාම ලෝකයට දීලා තිබෙන්නෙ එකම පණිවුඩයක්. මම කතා කරන්නෙ හරය ගැන. එතකොට මෙන්න මේ ආගමික සමානකම ඔබ කොහොමද දකින්නෙ?

ආගමික ශාස්තෘවරුන් අතරින් අවසාන වරට මේ ලෝකෙට පහළ වුණේ නබි නායක තුමා. ලෝකයේ විවිධ කාල වකවාණු වල විවිධ ශාස්තෘන් වහන්සේලා මේ ලෝකයට පැමිණ තිබෙන්නෙ මිනිසුන් යහමග යැවීම සඳහා. ඉතිහාසයේ විවිධ කාල පරිච්‍ඡේද වල අතිශය දුර්දාන්ත තත්ත්වයන් ඇති වෙලා තිබෙනවා. එවැනි අවස්ථාවල මිනිසුන්ව දුර්දාන්තයන්ගෙන් ගලවාගෙන ඔවුන්ට යහමග පෙන්වීම සඳහා විවිධ ශාස්තෘන් වහන්සේලා ලෝකයට පැමිණ තිබෙනවා. එයින් ආපු අවසාන ශාස්තෘන් වහන්සේ මොහොමඩ් නබිතුමා කියන එක තමයි ඉස්ලාමීය ඉතිහාසය තුළ අපිට උගන්වන්නෙ.

මේ ඉගැන්වීමට අනුව ගත්තත් අපිට තේරෙන දෙයක් තමයි ජේසුස් වහන්සේ මෙළොවට පහළ වීම, බුදුන් වහන්සේ මෙලොවට පහළ වීම, උන්වහන්සේ බුද්ධත්වයට පත්වීම ආදී මේ සෑම දෙයක්ම සිද්ධ වුණේ සමාජය අතිශය දුර්දාන්ත තත්ත්වයට පත්වෙලා මිනිසුන් නොමිනිසුන් වෙලා තිබිච්ච කාල වකවාණුවල, මිනිසුන්ව එයින් මුදවා ගැනීම සඳහා කියන එක. එතකොට මේ සියළුම ශාස්තෘන් වහන්සේලා ලෝකයට ප‍්‍රකාශ කරපු ආගම්වල අවසාන හරය ගත්තොත් ඒ තුළ තියෙන්නෙ පොදු සමාන ධර්මතාවක්. නමුත් අවසාන ඉලක්කය කරා යාමේ මාර්ග සමහර විට එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ ආගම්වලට අනන්‍ය ක‍්‍රමවේද තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් සෑම ආගමක්ම වඩාත් ගැඹුරට අපි හැදෑරුවොත් ධම්මපදය හරි බයිබලය හරි කුරානයේ හරි තියෙන සාමාන්‍ය වාක්‍යක මතු පිට අර්ථයට වඩා එයින් විශ්ලේෂනය කරන දේ වඩාත් ගැඹුරු චින්තාවකින් අරගෙන විමසලා බැලුවොත් අපිට පේන දේ තමයි මේ සියලු ආගම් අවසාන වශයෙන් ඉලක්ක කරගෙන තිබෙන්නෙ පොදු ධර්මතාවක් කියන එක.

ඒක මනුෂ්‍ය සමාජය වඩාත් යහපත් කිරීම සඳහා ලබා දුන්නු මාර්ගයක්. ඒක හරියට වටහා ගත්තු පුද්ගලයකුට අනිත් ආගම් කෙරෙහි උරණ වෙන්නට කිසිම හේතුවක් නැහැ. අද වෙනකොට අපි ආගම් පාවිච්චි කරන්නෙ එකිනෙකාගෙන් වෙන් වෙන්න. නමුත් ඇත්තටම ආගම් තියෙන්නෙ එකිනෙකා එක්කාසු කරන්න. එකිනෙකා සමගි කරවන්න.

ලංකාවෙ බොදු බැති ගී ගැන කතා කළොත් ඇත්තටම එහි ප‍්‍රධාන ධාරාව නියෝජනය කරන්නෙ මුස්ලිම්වරුන්. විශේෂයෙන්ම ඒ.ජේ කරීම් සහ මොහිදීන් බෙග් කියන දෙදෙනා. මේ තත්ත්වය ගැන ඔබේ කියවීම මොකක්ද?

ඔබ කියපු නම් දෙකට එහා ගියොත් ඒ අයි. එම්. ඉබ්රාහිම්, අහමඩ් මොහිදීන්, ඒ. එම්. යූ. රාජ් වගේ දීර්ඝ නාමාවලියක් ගන්න පුළුවන්. විවියන් බොරලැස්ස ගායිකාව අවසාන කාලයේ කරපු පුවත් පත් සාකච්ඡාවක දී කියලා තිබුණා ඒගොල්ලො සංගීත ක්ෂේත‍්‍රයට ආපු කාලයේ පවා ලංකාවෙ බොදු බැති ගී වැඩිම ප‍්‍රමාණයක් ගායනා කර තිබුණෙ මුස්ලිම් ගායකයො කියලා. එතකොට අපේ ගීත ඉතිහාසය ගත්තොත් තවමත් තිබෙන්නෙ එබඳු තත්ත්වයක්. අපිට ඒක ග‍්‍රැමර්ෆෝන් යුගයේ ඉඳලා මෙපිටට සමස්ත ගීත ගැන හොයලා බැලුවොත් පේන්න තිබෙනවා. හැබැයි මේක තුළ මම ඉතාමත් සාධනීය තත්ත්වයක් දකිනවා. මොකද? වර්තමානයේ අපි හරි අකමැතියිනෙ අනෙකාගේ ආගම අගයන්න. නමුත් අපේ රටේ මුස්ලිම් ගායකයන්ට පුළුවන් වෙලා තිබෙනවා අනෙකාගේ ආගම අගයන්න.

මුස්ලිම් ගායකයන් මේ විදියට අනෙකාගේ ආගම අගයද්දි ඊට මුස්ලිම් සමාජයෙන් විරෝධයක් එල්ල වුණේ නැද්ද? ඒ ප්‍රශ්නය ඇසීමට ඔබත් සුදුස්සෙක්. මොකද ඔබත් සිංහල ගීත රචකයෙක් නිසා.

ඔවු. අපි මේක තුළ ටිකක් ගැඹුරට විමසලා බැලුවොත් කොහොමද මුස්ලිම් ගායකයෝ මේ තරමට බෞද්ධ සංස්කෘතිය, චින්තාවන්, ධර්මතාවන් අගය කළේ? එහෙම කරද්දි මුස්ලිම් සමාජය ඇයි විරුද්ධ නොවුණෙ? ඇයි මුස්ලිම් සමාජය මේක අනුමත කළේ? කියන කාරණාව මම හිතන්නෙ ගැඹුරින් විමසලා බලන්න ඕනෙ. ඒක තුළ පේනවා ලංකාවෙ මුස්ලිම් ජනතාවගේ සිතුම් පැතුම් වල ස්වරූපය. ලංකාවේ ඉස්ලාම් භක්තිකයින් නිතරම හිටියෙ සංහිඳියාව, සහජීවනය කියන කාරණය තුළ මිසක් ඊට එරෙහිව නෙමෙයි.

ගීත රචකයෙක් විදියට මම සිංහල භාෂාව පිළිබඳව හදාරන ගමන්, බෞද්ධ සංස්කෘතිය තුළත් නිතර කටයුතු කරනවා. නමුත් මට ඒ පිළිබඳව මුස්ලිම් සමාජයෙන් ආශිර්වාදයක් මිසක් ඊට එරෙහි ප‍්‍රතිචාරයක් අද වෙනකල් ලැබිලා නැහැ. ඒ කියන්නෙ ඔවුන් ඒක අනුමත කරනවා. මුස්ලිම් සමාජයට එබිලා මේ සාධනීය තත්ත්වය බලන්න කියලා මම මගේ සිංහල බෞද්ධ සහෝදරත්වයට ආරාධනා කරනවා. මොකද? මේ වගේ සාධක සෑහෙන්න වැදගත් මුස්ලිම් සමාජයේ ස්වරූපය මොකක්ද කියන එක හඳුනගන්න.

බොදු බැති ගී ගායනා කරන්න තරම් මුස්ලිම් ගායකයන් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙතරම් බද්ධ වුණේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

මෙහෙමයි. ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව සෙසු මුස්ලිම් ජනතාවට වඩා තමන්ට ආවේණික ගති ලක්ෂණ තිබෙන කොටසක්. ලංකාවේ මුස්ලිම් ජනතාවගේ විකාශය ගත්තොත් පිය පාර්ශ්වයෙන් අරාබි හෝ මොරොක්කෝ හෝ ඉන්දියා හෝ ඉන්දුනීසියානු හෝ මොකක් හෝ ප‍්‍රභවයක් තිබුණට මව් පාර්ශ්වයෙන් සිංහල උරුමයක් තමයි තිබෙන්නෙ. මුස්ලිම් පිරිමි ලංකාවට ආවෙ වෙළෙන්දො විදියට. ඔවුන් ලංකාවෙ කාන්තාවන්ව සරණ පාවා ගත්තා. මෙන්න මේ සම්මිශ‍්‍රණයෙන් තමයි ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව බිහි වෙන්නෙ. එතකොට ඔවුන්ට ලේ උරුමයක් තියෙනවා සිංහලකම පිළිබඳව සහ ශ‍්‍රී ලාංකීයත්වය පිළිබඳව. ඒකත් එක්ක තමයි ඔබ ඔය කියන ආධ්‍යාත්මික ගුණය වර්ධනය වෙන්නෙ. මේක අපි විශ්ලේෂණය කළ යුතු හරි විචිත‍්‍ර තත්ත්වයක්.

ලංකාවෙ ගීත සාහිත්‍ය ගත්තොත් මොහිදීන් බෙග් ගායනා කරන ගීත තුළ ආගන්තුක දහමක පණිවුඩයක්ය තිබෙන්නෙ කියන කාරණයට වඩා ඒවා ඔහු තමන්ගේ ජීවිතයට ආදේශ කරගෙන බෞද්ධ ස්තෝත‍්‍ර විදියට බුද්ධාලම්භන ප‍්‍රීතිය ඇති කරවන තැනට තමන්ගෙ කටහඬින් ගීතය අරගෙන එනවා. මොහිදීන් බෙග් උපතින් ලාංකිකයෙක් නෙමෙයි. හැබැයි ඔහු මෙරටට ආවට පස්සෙ ලාංකිකයෙක් බවට පත්වෙනවා. ලාංකීය විදියට හිතන්න පතන්න පෙළඹෙනවා. එතකොට ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ චින්තාවන් සකස් වෙලා තිබෙන්නෙ ශ‍්‍රී ලාංකීය හැඩරුවට කියන කාරණය මේ ඔස්සේ අපට වඩාත් හොඳින් අවබෝධ කර ගන්න පුළුවන් කමක් තියෙනවා.

ඒ එක්කම මම නැවතත් කියනවා මේ දශක පහකට හයකට අධික කාලයක් තිස්සේ මෙච්චර බොදු බැති ගීය ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන් පෝෂණය කරද්දි සමස්ත බහුතර මුස්ලිම් ජනතාව මේකට ආශිර්වාද කළා. එතකොට මේක ගායකයන්ට විතරක් සීමාවෙච්ච තත්ත්වයක් නෙමෙයි. ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරු සමස්තයම මේ තුළ බොහොම ආශිර්වාදාත්මකව සහ ඒවත් එක්ක මේ විදියටම හුස්ම ගනිමින් හෘද ස්ඵන්දනය තේරුම් ගනිමින් හිටියා කියන කරණයත් අපි තේරුම් ගන්න  ඕනෙ.

ඉස්ලාම් ප‍්‍රජාව බෞද්ධ සංස්කෘතිය අගයන තැනට ආවා. සිංහල ප්‍රජාව සලාම් කියා ගෙට එන, සඳ මුවා වෙලා, මරතෝණ්ඩිය රටා මැවේ වැනි ගීත හරහා ඉස්ලාමීය කතුන් මුහුණ දෙන පීඩනය ගැන කතා කළා තමයි. නමුත් ඉස්ලාම් ආගමේ, මුස්ලිම් සංස්කෘතියේ විචිත‍්‍ර දේවල් අගයන සුළු නිර්මාණ සිංහල ගීත සාහිත්‍යය තුළ නැහැ. මෙන්න මේකට හේතුව විදියට ගීත රචකයකු ලෙස ඔබ දකින්නෙ මොකක්ද?

ඒකට හේතුව අපිට අන්‍යෝනය සංස්කෘතිය පිළිබඳව තිබෙන අවබෝධය ඉතාම අල්පයි. ලංකාවේ මුස්ලිම් ජනතාව චිරාත් කාලයක් තිස්සේ සිංහල බහුතරයත් එක්ක ජීවත් වෙලා තිබෙනවා. නමුත් ලංකාවේ මුස්ලිම් සංස්කෘතිය විදියට අපි තේරුම් අරන් තියෙන්නෙ වටලප්පනුයි බුරියානියි විතරයි. නමුත් ඉන් එහාට ලංකාවේ මුස්ලිම් සංස්කෘතිය සතු ඉතාමත්ම විචිත‍්‍ර ලක්ෂණ රැුසක් තියෙනවා. ලංකාවෙ මුස්ලිම්වරුන්ගේ ගෘහනිර්මාණ ශිල්පය, ඔවුන්ගේ චාරු ලේඛණ කලාව, මරතෝණ්ඩිය රටාවන් එක්ක එන යම් යම් සංස්කෘතික ගති ලක්ෂණ. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් රටාව, ආහාර සංස්කෘතිය. මෙහෙම කතා කරන්න පුළුවන් සංස්කෘතික පද්ධතියක් මුස්ලිම් සංස්කෘතිය සතුයි. අපි සියවස් ගණනාවක් සිංහල ජනතාවත් එක්ක ජීවත් වුණාට ඔවුන්ට මේවා පිළිබඳව කොයිතරම් අවබෝධයක් තිබෙනවාද කියන ප‍්‍රශ්නය තිබෙනවා. මේකට එක පැත්තකින් මුස්ලිම්වරුන් වැරදිකරුවන් වෙනවා. සිංහල ජනතාවත් වැරදිකරුවන් වෙනවා. ඔය කියන දේවල් එක්ක තමයි නිර්මාණ සාහිත්‍ය තුළත් මුස්ලිම් සංස්කෘතිය දකින්නට තිබෙන පෙළඹවීම අඩු වුණේ. සංගීත කලාව තුළ ඔබ කියපු විදියට දේවල් ප‍්‍රාමාණිකව ගොඩ නැගුණෙ නැහැ. මෑතකදි නිශ්ශංක විජේමාන්න ලියපු හඳ පළුව තනි තරුව වගේ කෘතියක ඔහු උත්සාහ අරගෙන තිබුණා මුස්ලිම් සංස්කෘතිය විනිවිද දකින්න. එහෙම තැනින් තැන මතු වෙච්ච ලක්ෂණ තිබෙනවා. ඔබ කියපු ගීත වලට වඩා වෙනස් ගීතයක් මම ලිව්වා අල්ලා සරණයි අල්ලා කියලා ගීතයක්. ඒක ගායනා කළේ සිහ ශක්ති සංගීත කණ්ඩායම. එතකොට සිංහල බෞද්ධ වාද්‍ය ශිල්පීන්ගෙන් සමන්විත සිහශක්ති සංගීත කණ්ඩායම ඒ මුස්ලිම් සංස්කෘතික ඉස්ලාම් ආගමේ හරය කියවෙන ගීතයක් ඉතාම සතුටින් ගායනා කළා. එහෙම යම් යම් දේවල් ගොඩ නැගෙමින් තිබෙන කාලවකවාණුවක් තමයි මේක.

හැබැයි ඔබේ ප‍්‍රශ්නය ඉතාම වැදගත්. මොකද ඔබ ඔය දකින හිඩැස වහාම පිරවිය යුතු තැනකට අපි එන්නට  ඕන කියන කාරණය බොහොම විවෘතව සාකච්ඡා කළ යුතුයි.

මේ කතාබහේ අවසන් කාරණාව විදියට මට හිතුනා මෙවැනි දෙයක් ඔබෙන් අහන්න. ලංකාවෙ මිනිස්සු හිතන්නෙ සිංහල – දෙමළ- මුස්ලිම් විදියට. එහෙම නැත්නම් බෞද්ධ – ක‍්‍රිස්තියානි – ඉස්ලාම් විදියට. මේ තත්ත්වය නිසා අපිට රටක් විදියට ඉදිරියට යන්න බැරි වෙලා තිබෙනවා. කෑලි කෑලි වලට බෙදුනු රටක් බවට අප පත්වී සිටිනවා. ඇත්තටම අපි මේ තත්ත්වයෙන් එහාට ගිහිල්ලා ශ‍්‍රී ලාංකීය විදියට හිතන්න සමාජයක් විදියට වෙනස් වෙන්න ඕන කොතනින්ද කියන කාරණයට ඔබේ ප්‍රතිචාරය මොකක්ද?

ඇත්තටම අපි ඔය හතලිස් අටේ දිනා ගත්තා යැයි කියන නිදහස, ඒ නිදහස් අරගලය කියන තැන ඉඳලාම අපි  ඕක දකිනවා. උදාහරණයක් විදියට ඉන්දියානු නිදහස් අරගලය තුළ ඔවුන් ඉන්දියානු රටක් ඉන්දියානු සංස්කෘතියක් ඉන්දියානු සමාජයක් ඉන්දියානු ස්වාධිපත්‍යයක් වෙනුවෙන් තමයි අරගල කළේ. නමුත් අපේ රටේ අරගලය එහෙම අරගලයක් වුණේ නැහැ. අපිට ශ‍්‍රී ලාංකීය කියන සිතුවිල්ලකට එන්න බැරි වුණා. එතන ඉඳලාම ලැබුණා යැයි කියන නිදහස සහ ඉන් මෙපිට ගොඩ නැගුණ ශ‍්‍රී ලාංකීය දේශපාලනය තුළ මේක වර්ධනය වෙන්නෙම හුදෙක් වර්ග කේන්ද්‍රීය විදියට. දේශපාලන පක්ෂ නිර්මාණය වෙන්නෙ පාසැල් නිර්මාණය වෙන්නෙ සහ මේ සියල්ලම නිර්මාණය වෙන්නෙ වර්ග කේන්ද්‍රීය විදියට. හැබැයි මම හිතන්නෙ මේ දේශපාලන සංස්කෘතිය තුළ ප‍්‍රබල විදියට මේ කතිකාව ගොඩ නැගිය යුතුයි. අපි පොදු මහත් ශ‍්‍රී ලාංකීය ජාතියක් විදියට කොහොමද පෙනී සිටින්නේ කියන කාරණය පිළිබඳව. සමාජ සංවාදයන් ඒ පිළිබඳව ඇති කළ යුතුයි. සාහිත්‍ය ඔස්සේ ඒවා ගොඩ නැගිය යුතුයි.

සමහර දේවල් තිබෙනවා සාධනීය දේවල්. උදාහරණයක් විදියට ලංකාවෙ මුස්ලිම්වරුන් ඈත අවධියේදී කටයුතු කරළා තිබෙන්නෙ දෙමළ භාෂාවෙන්. අද වෙනකොට එයින් සැලකිය යුතු කොටසක් සිංහල භාෂාවෙන් කටයුතු කරනවා. අද වෙනකොට ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ප‍්‍රජාව  භාෂාව නිසා සිංහල ජනතාවගෙන් හෝ දෙමළ ජනතාවගෙන් විතැන් වෙච්ච ජනතාවක් විදියට හිතනවාට වඩා ඔවුන් ඒ දෙකම තමන්ගේ බවට අත්පත් කරගෙන ඉන්නවා. ඉතින් මේවා සාධනීය ලක්ෂණ.

අපි සමාජයක් විදියට ශ‍්‍රී ලාංකීය කියන තැනට පැමිණීම සඳහා වූ සංගායනාවක් ඇති විය යුතුයි. මේක ඉතා හදිසි අවශ්‍යතාවක්. එවැනි ආකල්පමේය වැඩපිළිවෙලක් තුළ විතරයි මේ වර්ග කේන්ද්‍රීය බෙදීම සහ ඇන කොටා ගැනීම් නවත්වන්න පුලුවන් වෙන්නෙ. නමුත් මේක සුළු පටු දෙයක් නෙමෙයි. එක රැයින් කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. කොටින්ම ඔබත් මාත් කරන මේ සංවාදය ඒ සඳහා වූ එක පිය සටහනක් විදියටයි මම දකින්නෙ.

Related Articles

Exit mobile version