Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කල්ලන් ඉදිරියේ සුද්දන් අසරණ වුණු ටෙස්ට් තරගාවලිය

1969 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් එංගලන්ත බිමේ පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසින් පරාජයට පත්වුණා. නමුත් එම පරාජයෙන් පසුව වසර 15 ඇතුලත එංගලන්ත බිමේ පැවති සෑම ටෙස්ට් තරගාවලියක්ම ජයග්‍රහණය කිරීමට කොදෙව්වන්ට හැකිවුණා. එලෙස එංගලන්තය හමුවේ ටෙස්ට් තරගවල දී රඳවාගෙන සිටි අපරාජිත වාර්තාව රැකගැනීමේ අරමුණෙන් 1984 වසරේ මැද භාගයේ දී කොදෙව්වන් නැවතත් එංගලන්තයට පැමිණෙනවා. ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ප්‍රබල කොදෙව් කණ්ඩායම  තරගාවලිය 5-0ක් ලෙස ජයග්‍රහණය කළ නිසා එම සිදුවීම Blackwash ලෙසින් හඳුන්වනවා. 

ගානර්ගේ සුපිරි පන්දු යැවීම නිසා කොදෙව්වන් පළමු තරගය ජයගනියි 

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 4ම ලකුණු 49ක් තුළ දැවීගියත් බොතම් ලබාගත් වේගවත් ලකුණු 64 නිසා එංගලන්ත පළමු ඉනිම ලකුණු 191කට සීමාවුණා. අනතුරුව පන්දුවට පහරදුන් කොදෙව්වන් වෙනුවෙන් 3 වැනි කඩුල්ල සඳහා විව් රිචඩ්ස් සහ ලැරී ගෝමස් අගනා ලකුණු 206ක සබඳතාවයක් ගොඩනැගුවා. එහිදී ගෝමස් ලකුණු 143ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් රිචඩ්ස් වේගවත් ලකුණු 117ක් ලබාගත්තා.

ගෝමස් සහ විනිසුරු ඩිකී බර්ඩ් (gettyimages)

එලෙස දෙවන දිනයේ දී තරගයේ පාලනය අතට ගත් කොදෙව්වන් තෙවන දිනයේ දී තවත් ලකුණු 185ක් ලකුණු පුවරුවට එකතු කරගත්තේ පළමු ඉනිම සඳහා ලකුණු 606ක් ලබාගනිමින්. එහිදී 9 වැනි කඩුල්ල වෙනුවෙන් බැප්ටිස්ට් සහ හෝල්ඩිං ගොඩනැගූ ලකුණු 150ක සබඳතාවය සුවිශේෂී එකක් වුණා. කොදෙව්වන්ට වඩා ලකුණු 415ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩවුන්ටවුන් ලකුණු 56ක් ලබාගත්තත් ගානර් ලකුණු 55කට කඩුලු 5ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 235කට සීමාවුණේ කොදෙව්වන්ට ඉනිමක සහ ලකුණු 180ක ජයක් උරුමකර දෙමින්.

ගානර් පන්දු යවමින් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම – 191/10 (59.3), (බොතම් -64, ගානර් – 53/4)

කොදෙව් පළමු ඉනිම – 606/10 (143), (ගෝමස් -143, රිචඩ්ස් – 117, ප්‍රිංගල් – 108/5)

එංගලන්ත දෙවන ඉනිම – 235/10 (76.5), (ඩවුන්ටවුන් – 56, ගානර් – 55/5)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ඉනිමක සහ ලකුණු 180ක ජයක් 

තරගයේ වීරයා – ලැරී ගෝමස් 

ග්‍රිනිජ්ගේ ද්විත්ව ශතකය කොදෙව්වන්ට නොසිතූ ජයක් උරුමකර දෙයි 

ලෝඩ්ස් පිටියේ දී පැවති දෙවන ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 286ක් ලබාගත්තේ ආරම්භක පිතිකරු ග්‍රැහැම් ෆවුලර් ලබාගත් අගනා ලකුණු 106 නිසා යි. ෆවුලර් එලෙස පිත්තෙන් දස්කම් දක්වන විට කොදෙව්වන් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මාෂල් ලකුණු 85කට දවාගත් කඩුලු ප්‍රමාණය 6ක්. ඉන් පසුව සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් එක් අවස්ථාවක 138/3 ලෙස ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු බොතම් ලකුණු 103කට කඩුලු 8ක් දවාගත්තේ කොදෙව් ඉනිම ලකුණු 245කට සීමා කරමින්.

බොතම් පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages)

ලකුණු 41ක වාසියක් සමගින් දෙවන ඉනිම ඇරඹූ එංගලන්තය වෙනුවෙන් බොතම් ලකුණු 81ක් ලබාගන්නා විට ලෑම්බ් නොදැවී ලබාගත් ලකුණු 109 නිසා සිව්වන දිනය නිමාවන විට එංගලන්ත ඉනිම සටහන් වුණේ 287/7 ලෙසින්. එම අවස්ථාව වන විට ලකුණු 328ක් ඉදිරියෙන් සිටි එංගලන්ත කණ්ඩායම පස්වන දිනයේ උදෑසන 300/9 ලෙසින් ඉනිම අත්හිටවූයේ කොදෙව්වන්ට ලකුණු 342ක ඉලක්කයක් ලබාදෙමින්. ඉන් පසුව ලකුණු 342ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් හේන්ස් දැවීගියේ කොදෙව් ලකුණු පුවරුවේ ලකුණු 57ක් සටහන්ව තිබිය දී යි. හේන්ස්ගේ නික්මයාමත් සමගින් පිටියට පිවිසි ගෝමස් සමග එක්වුණු ග්‍රිනිජ් එංගලන්ත පන්දු යවන්නන්ට එළව එළවා පහරදීමට පටන්ගත්තා. එදා කොදෙව්වන්ගේ ප්‍රහාරය නැවැත්වීමට කිසිදු එංගලන්ත පන්දු යවන්නෙකුට නොහැකිවුණු නිසාම ඔවුන් පන්දුවාර 66.1ක් තුළ කඩුලු 1ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහිදී ග්‍රිනිජ් පන්දු 242කින් නොදැවී ලකුණු 214ක් ලබාගනිමින් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් ගෝමස් ලකුණු 92ක් ලබාගත්තා. 

ග්‍රිනිජ්ගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකයේ  අවස්ථාවක් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම – 286/10 (105.5), (ෆවුලර් -106, මාෂල් – 85/6)

කොදෙව් පළමු ඉනිම – 245/10 (65.4), (රිචඩ්ස්  -72 , බොතම් – 103/8)

එංගලන්ත දෙවන ඉනිම – 300/9 (98.3), (ලෑම්බ්  – 110, ස්මෝල් – 40/3)

කොදෙව් දෙවන ඉනිම – 344/1 (66.1), (ග්‍රිනිජ් – 214*, ගෝමස් – 92*)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 9ක ජයක් 

තරගයේ වීරයන් – ගෝර්ඩන් ග්‍රිනිජ් සහ ඉයන් බොතම් 

මාෂල් සහ ගෝමස්ගේ සුපිරි දස්කම් නිසා කොදෙව්වන්ට තවත් ජයක් 

හෙඩිංලි පිටියේ දී පැවති තෙවන ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 270ක් ලබාගත්තේ ලෑම්බ්ගේ සටන්කාමී ශතකය නිසා යි. ඉන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 7ම ලකුණු 206ක් තුළ දැවීගියා. නමුත් එම අවස්ථාවේ ලැරී ගෝමස්ට එකතු වුණු හෝල්ඩිං හයේ පහර 5ක් සමගින් ලබාගත් වේගවත් ලකුණු 59 නිසා කොදෙව් ලකුණු පුවරුව 288/7 බවට පත්වුණා. එලෙස කොදෙව් ඉනිම ස්ථාවර තත්ත්වයට පත්වෙමින් සිටි අවස්ථාවේ කොදෙව් ලකුණු පුවරුව 290/9 බවට පත්වුණේ ගෝමස්ව එක් අන්තයක තනි කරමින්. එම අවස්ථාවේ ගෝමස් සිය ශතකයට ආසන්න වෙමින් ලකුණු 96ක් ලබා සිටියත් ඔහුට ශතකය ලබාගැනීමට සහයට පිතිකරුවෙකු නොමැති වුණේ මාෂල් වම් අතේ ඇඟිල්ලක ආබාධයකට ගොදුරුව සිටි නිසා යි. නමුත් ඒ මොහොතේ සියලුදෙනාම මවිත කරමින් පිටියට පිවිසි මාෂල් තනි අතින් පන්දුවට පහරදුන්නේ ගෝමස්ට ශතකය ලබාගැනීමට සහය වෙමින්. 

මාෂල් තනි අතින් පන්දුවට පහරදුන් ආකාරය (gettyimages)

ගෝමස් ලබාගත් ලකුණු 104 නිසා පළමු ඉනිමේ ලකුණු 32ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තය 104/2 ලෙසින් ස්ථාවර තත්ත්වයකට පත්වුණා. නමුත් ආබාධයකට ලක්ව සිටි මාෂල් මනරම් පන්දු යැවීමක නිරතවෙමින් එංගලන්ත ඉනිම ලකුණු 159කට සීමාකළේ ලකුණු 53කට කඩුලු 7ක් ලබාගනිමින්. අනතුරුව ලකුණු 128ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව්වන් තරගය ජයග්‍රහණය කළේ කඩුලු 8කින්.

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම – 270/10 (97.2), (ලෑම්බ් -100, හෝල්ඩිං – 70/4)

කොදෙව් පළමු ඉනිම – 302/10 (73.5), (ගෝමස් – 104* , ඇලට්  – 61/6)

එංගලන්ත දෙවන ඉනිම – 159/10 (65), (ෆවුලර් – 50, මාෂල් – 53/7)

කොදෙව් දෙවන ඉනිම – 131/2 (32.3), (ග්‍රිනිජ් – 49)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයන්  – ලැරී ගෝමස් 

ග්‍රිනිජ්ගේ ද්විත්ව ශතකය නැවතත් කොදෙව්වන්ට පිහිට වෙයි 

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවැත්වුණු සිව්වන ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව්වන්ගේ මුල් කඩුලු 4ම ලකුණු 70ක් තුළ දැවීගියා. එම අවස්ථාවේ දී ග්‍රිනිජ් සහ ඩූ ජෝන් ගොඩනැගූ ලකුණු 197ක සබඳතාවය නිසා කොදෙව්වන් පළමු ඉනිමට ලකුණු 500ක් ලබාගත්තා. එහිදී ග්‍රිනිජ් ලකුණු 223ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් ඩූ ජෝන් ලබාගත් ලකුණු ප්‍රමාණය 101ක්.  ඉන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ එංගලන්තය වෙනුවෙන් ලෑම්බ් නැවතත් ශතකයක් ලබාගත්තත් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 280කට සීමාවුණා. 

ග්‍රිනිජ්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 220ක් පිටුපසින් සිටි එංගලන්තයට පිට පිටම දෙවන වරටත් පන්දුවට පහරදීමට සිදුවුණා. එහිදී රොජර් හාපර් 57/6ක් ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා එංගලන්ත දෙවන ඉනිම ලකුණු 156කට සීමාවුණේ කොදෙව්වන්ට ඉනිමක සහ ලකුණු 64ක ජයක් උරුමකර දෙමින්.

කෙටි ලකුණු පුවරුව 

කොදෙව් පළමු ඉනිම – 500/10 (160.3), (ග්‍රිනිජ් -223, ඩූ ජෝන් – 101, පෝකොක්-121/4)

එංගලන්ත පළමු ඉනිම – 280/10 (105.2), (ලෑම්බ් -100 , ගානර් -51/4)

එංගලන්ත දෙවන ඉනිම – 156/10 (66.4), (ගවර් – 57*, හාපර් -57/6)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ඉනිමක සහ ලකුණු 64ක ජයක්  

තරගයේ වීරයා  – ගෝර්ඩන් ග්‍රිනිජ් 

හේන්ස්ගේ සටන්කාමී ශතකය නිසා කොදෙව්වන්ට ඉතිහාසගත තරගාවලි ජයක් 

ඕවල් පිටියේ පැවති අවසන් ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව්වන්ගේ පළමු ඉනිම ලකුණු 190කට සීමාවුණේ බොතම් ලකුණු 72කට දවාගත් කඩුලු 5 නිසා යි. ඉන් පසුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමත් මාෂල් 35/5 ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම ඉදිරියේ ලකුණු 162කට දැවීගියා. නමුත් පිතිකරුවන්ට අසීරු වුණු එම තණතීරුව පිළිබඳව හොඳින්ම වටහාගත් හේන්ස් සීරුවෙන් පන්දුවට පහරදෙමින් ලබාගත් ලකුණු 125 නිසා කොදෙව්වන්ට දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 346ක් ලබාගැනීමට හැකිවුණා. හේන්ස්ගේ එම මනරම් ඉනිම නිසාම එංගලන්තයට සිව්වන ඉනිමේ දී ලකුණු 375ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට සිදුවුණා. තරගාවලිය පුරාවටම කොදෙව් වේග පන්දු යවන්නන්ට අසීරුවෙන් මුහුණ දී හෙම්බත්ව සිටි එංගලන්ත පිතිකරුවන් හෝල්ඩිං-ගානර් සුසංයෝගය ඉදිරියේ අසරණ වුණු නිසාම ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 202කට සීමාවුණේ කොදෙව්වන්ට ලකුණු 172ක ජයක් උරුමකර දෙමින්. 

හේන්ස්ගේ සටන්කාමී ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

කොදෙව් පළමු ඉනිම – 190/10 (70), (ලොයිඩ් – 60, බොතම් – 72/5)

එංගලන්ත පළමු ඉනිම – 162/10 (61.5), (ෆවුලර් -31 , මාෂල් -35/5)

කොදෙව් දෙවන ඉනිම – 346/10 (96.3), (හේන්ස් – 125, එලිසන්  -60/3)

එංගලන්ත දෙවන ඉනිම – 2012/10 (69.4), (ගවර් – 57*, හෝල්ඩිං 43/5, ගානර් – 51/4)

එංගලන්තයට ලකුණු 172ක ජයක් 

තරගයේ වීරයා – ඩෙස්මන්ඩ් හේන්ස් 

තරගාවලියේ වීරයා – ගෝඩ්න් ග්‍රිනිජ් 

කවරයේ ඡායාරූපය - ලෝඩ්ස් ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ග්‍රිනිජ් සහ ගෝමස් (gettyimages)

Related Articles